අපරාධවලින් මිදීම!

පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී සිදුවූ පංච පුද්ගල ඝාතන සිද්ධිය, මේ රටේ සියලුම ශිෂ්ට ජනතාව තුළ ඉමහත් කම්පනයක්‌ ඇති කළ බව ඔබ දන්නෙහිය. බෞද්ධයන් වන අපට එය වඩාත් දුක්‌මුසු පුවතක්‌ වනු ඇත. ඒ සැහැසි ක්‍රියාව ඇසූ ඇතැම්හු මේ බුදුන්ගේ දේශයද? මෙහි බෞද්ධයෝත් වෙත්ද? යනාදී වශයෙන් අපේක්‍ෂා භංගත්වයද පල කර සිටියහ.

සැබෑවකි. බෞද්ධයන්ගේ මග අවිහිංසාවාදයයි. බෞද්ධයන්ගේ මූලික පිළිවෙතක්‌ සේ අනුමත පංචශීල ප්‍රතිපදාවෙහිද මුලින්ම එන්නේ පරපණ නැසීමෙන් වැළකීම සුරකින බවය. එහෙත් එය කඩවන අයුරු, බිඳෙන අයුරු අපි අනන්තවත් දකිමු. එය බෞද්ධ දර්ශනයේ වරදක්‌ද? නැත. එය බෞද්ධයන්ගේම වරදකි.

පන්සිල් සමාදන් වෙමින්ද සෙත් පිරිත් වඩමින්ද මෙත් සිත් පතුරවමින්ද යන බොදු සමාජයක අපරාධ වර්ධනය යනු කිසිසේත් යහපත් දෙයක්‌ නම් නොවේ. එහෙත් අපරාධ නැති සමාජයක්‌ ලොව කොතැන හෝ තිබේද? ඉතිහාසයේ හැම යුගයකම අපරාධ, මිනිස්‌ ඝාතන සිදුවී තිබේ.

බුදුන් වහන්සේ වැඩ සිටි සමයේදීත් මොනතරම් සැහැසිකම්, අපරාධ සිදු වූවාදැයි සිතා බලන්න. ශාක්‍යවරු හා කෝලියවරු වරක්‌ රෝහිණී නදියේ ජලය නිසා යුද්ධයකට සූදානම් වූහ. බුදුන් වහන්සේ ඒ දෙපිරිස අතරට වැඩ, ඇසූවේ "වඩා වටින්නේ ජලයද නැත්නම් මිනිස්‌ ජීවිතද?" යනුවෙනි. ඒ දෙපිරිසට තමන් පත්aව සිටි මුළාව වැටහුණේ ඉන් පසුවය.

ඒ විතරක්‌ද බුදුන් වහන්සේ විනාශ කරවීමට දෙව්දතුන් විසින් කරන ලද දුෂ්ට ක්‍රියා ඔබ දෙන්නෙහිය. බුදුන් වහන්සේ නම් ඒ සියල්ල ජයගත්තේ මෛත්‍රී සිතින් බවද අපි දනිමු. මෛත්‍රියෙන් වෛරය ජයගන්නා ආකාරය පෙන්වා දෙන කතා බෞද්ධ සාහිත්‍යයේ ඕනෑ තරම් හමුවේ. ක්‍ෂාන්තිවාදී ජාතකයේ එන බෝසතුනගේ ඉවසීම පුදුම සහගත නේද? ඒ විදිහට ඒ තරමට ඉවසීමට අප වැනි පුහුදුන් අයට බැරි බවද ඇත්තය. ඒවා පෙරුම් දම් පුරන බෝසතුන්ගේම විස්‌කම් ක්‍රියා බවද ඇත්තය.

මේ අපරාධ, සැහැසිකම් මෙලෙස සිදු වන්නේත් සමාජය තුළ පැතිර තිබෙන විසම අදහස්‌ නිසාමය. මුලින් කී අපරාධය වූයේ රෑ නිදි පැදුරේදීය. ඒ සැහැසියාට ඒ කිසිම ජීවිතයක අගයක්‌ නොවූ හැටි, මොනතරම් බිහිසුණුද? කිසිදු වරදක්‌ නොකළ අහිංසකයන් පස්‌ දෙනකුට මරු කැඳවූ ඝාතකයාට දැන් තමන් විසින් කරන ලද අපරාධයේ තරම දැනී තිබිය යුතුය.

අපරාධකරුවකුට සැඟවී සිටිය හැකි තැනක්‌ කොතැනකවත් නැතැයි බුදුහු වදාළහ. හිස්‌ අවකාශයක, මහා සාගරයක මැද, පර්වතයක්‌ විද එහි ගුහාවක යනාදී කවර රහස්‌ තැනක සිටියත් අපරාධකරුවකුට ගැලවීමක්‌ නැති බව ධම්මපදයේ සඳහන් වේ.

අපරාධ නැති සමාජයක්‌ අපට ප්‍රාර්ථනා කළ හැකිය, එහෙත් ඊට වඩා ප්‍රායෝගික වන්නේ අපරාධ අඩු සමාජයක්‌ ප්‍රාර්ථනා කිරීමය. අපරාධ අඩුවීම නිසා සමාජයක බිය අඩුවේ. බිය යනු පුද්ගලයා මුළුගන්වන දෙයකි. බිය දනවන හේතු රැසකි. ඒ සියලු බිය අතර මරණ බිය ප්‍රබලව දැනේ.

බුද්ධ වචනය වූයේ ඝාතනයෙන් හිංසාවෙන් මිදීම යහපත් බවය. තමන් උපමා කර ඝාතනය, හිංසාව නතර කරන ලෙස බෞද්ධයාට උපදෙස්‌ දී ඇත. බිය යනු සියලු සතුන්ට පොදු දෙයකි. එහි ජාති, ආගම්, යනාදි කිසිදු භේදයක්‌ද නැත. දේශ සීමාද නැත.

අපරාධකරුවන්ට රැකවරණය දෙන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සමාජයක්‌ද බිහිසුණුය. මේ බොහෝ අපරාධවලට මුල ලැඡ්ජා, බිය හෙවත් හිරි ඔතප් නොමැති වීමය. අපරාධකරුවන් පිළිගන්නා සමාජයක ලැඡ්ජා බියද නැත. එනිසා බියෙන් මිදීමට අපරාධවලින් මිදිය යුතුය. අපරාධවලින් මිදීමට තෘෂ්ණාවෙන් හෙවත් ආශාවන්ගෙන් මිදිය යුතුය. අනුන්ගේ දේවල් ගැනීමට, ඒවා බලහත්කාරයෙන් හෝ ගැනීමට ඇතිවන සිතිවිල්ල අවසානයේ විනාශයට මුල්වන බව මේ සියලු දේ තුළින් අපට පසක්‌ කර දෙනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.