ශබ්ද පූජාව හා පරිසරය

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
ගරු අනුශාසක - සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය

පරිසරයේ නිහඬතාවය, අනුන්ට කරදරයක්‌, හිංසාවක්‌ නොවන ලෙස ජීවත්වීම සහ පරිසරයේ පවිත්‍රතාවය කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක්‌ යොමු කරයි. පන්සලක පවතින නිසංසල බව මනසට සැනසිල්ලකි. එසේ වුවද ඇතැම් අවස්‌ථාවල විහාරාරාමවලින් ඇසෙන හඬ අසල්වැසියන්ට බාධාවකි. කරදරයකි. ශබ්ද වාහිනි යන්ත්‍ර යොදාගෙන පිරිත් ප්‍රචාරය කිරීම නිසා ඇතැම් විට භික්‍ෂුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කරන අවස්‌ථා තිබේ. මේ බෞද්ධ රටේ ශබ්දවාහිනි මගින් ආගමික ප්‍රචාරක කටයුතු සිදුÊකරන්නට කාගෙන්වත් අවසරයක්‌ කුමට ද? අන්‍යාගමිකයන්ට ඒ සඳහා කිසිම බාධාවක්‌ නැත යන අදහසින් නීතිය ඉක්‌මවා කටයුතු කිරීම හේතුවෙන් ඇතැම් භික්‍ෂූහු දඬුවම් ලබති. ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බව ඇත්තකි. එසේ වුවත් රටේ නීතියට පිටුපා කටයුතු කරන්නට කිසිවකුටත් අවසර නොමැත. අවට පරිසරයේ නිහඬතාව සුරැකීම හා අසල්වැසියන්ට බාධාවක්‌ නොවන ලෙස කටයුතු කිරීම පිළිබඳ නීතිමය තත්ත්වය භික්‍ෂුන් දැන සිටිය යුතුයි.

අසල්වැසියන්ට හිරිහැර වන ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 261 වගන්තියේ එන මහජන කරදරය යටතේ සඳහන් වන වරදකි. එය පැහැදිලි කර ඇත්තේ මේ අයුරිනි.

261. මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින හෝ දේපළ භුක්‌ති විඳින ජනයාට පොදු පාඩුවක්‌, අන්තරායක්‌ හෝ අප්‍රසන්නතාවක්‌ ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක්‌ භුක්‌ති විඳීමේ අවස්‌ථාවකින් ප්‍රයෝජනයක්‌ ගැනීමට සිදුවිය හැකි ජනයාට අවශ්‍යම පාඩුවක්‌, බාධාවක්‌ අන්තරායක්‌ ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීති විරෝධී නොකර හැරීමකට වරදකරු වන තැනැත්තෙක්‌ මහජන කරදරය කිරීමේ වරදට වැරැදිකාරයෙක්‌ වේ. යම් පහසුකමක්‌ හෝ ලාභයක්‌ සැලසීමේ කරුණ උඩ මහජන කරදරයට සමාව නොලැබේ.

අවට ජනයාට හිරිහැරයක්‌ වන පරිදි හේවිසි, සංගීත සංදර්ශන, ගුවන් විදුලි යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන අයට විරුද්ධව මෙම වගන්තිය යටතේ නඩු පැවැරිය හැක. අසල්වැසියන්ට හිරිහැරයක්‌ වන පරිදි නිවෙස්‌වල යාච්Cඳා කරන පුද්ගලයන්ට එරෙහිව ද මෙම නීතිය ක්‍රියාත්මක කළ හැක.

2008 සැප්තැම්බර්Êමස රාජගිරිය වැලිකඩවත්තේ භික්‍ෂුවක්‌ අත්අඩංගුවට ගත්තේ ශබ්ද දූෂණය පිළිබඳ නීතියට පිටුපා කටයුතු කිරීම හේතුවෙනි. උන්වහන්සේ කළ වරද නම් පොලිසියෙන් බලපත්‍රයක්‌ ලබා නොගෙන ශබ්ද විකාශන යන්ත්‍රයකින් පිරිත් ප්‍රචාරය කිරීම යි. උන්වහන්සේට එරෙහිව පැමිණිල්ලක්‌ ගොනු කළේ පරිසර පදනම නමැති රාජ්‍ය නොවන ආයතනයකි. රාත්‍රි 10 සිට අලුයම 6.00 දක්‌වා කාලයෙහි පොලිසියේ අවසරයක්‌ නොලැබ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කෙරෙන නීති රෙගුලාසියක්‌ පවතියි. වැලිගම ප්‍රදේශයේ ඉස්‌ලාම් ආගමික ස්‌ථාන දෙකක්‌ අතර ඇතිවුණ අර්බුදයක්‌ හේතුවෙන් මහාධිකරණය 2007 දෙසැම්බර් 10 නිකුත් කළ තීන්දුවක්‌ ඇත. උන්වහන්සේ ශබ්ද විකාශන භාවිත කළේ එම නීති රෙගුලාසි නොදැන යි. එය සමාවට කරුණක්‌ ලෙස නොසැලකෙයි. සෑම පුරවැසියකුම නීතිය දැන සිටිය යුතු ය යන පූර්ව නිගමනයක්‌ පවතියි. එසේ නැතිනම් වැරදි කරන බොහෝ දෙනකු මම ඒ නීතිය දැන සිටියේ නැතැයි කියන්නට පුළුවන. නමුත් පෙර වැරදි නැත්නම්, අනුන්ට බාධාවක්‌ කිරීමේ අදහසකින් එය නොකළ බව තහවුරු කළ හැකි නම් අධිකරණයෙන් සමාව ලැබෙන්නට ඉඩ ඇත. එය අධිකරණයේ තීරණයකි.

රාත්‍රි කාලයේ අසල්වැසියන්ට බාධා වන ලෙස හේවිසි වාදනය කරවීම වරදකි. එම නිසා 1895 අංක 16 පොලිස්‌ ආඥා පනතේ 90 වගන්තිය යටතේ භික්‍ෂුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කොට ඇත. මාර්ෂල් එදිරිව ගුණරත්න උන්නාන්සේ සහ හොලන්ඩ් එදිරිව කපුගම තෙරුන්නාන්සේ යනුවෙන් නඩු දෙකක්‌ නීති වාර්තාවල දැක්‌වේ. එහිදී භික්‍ෂූන්ට දඩ නියම කොට ඇත. පන්සල්වල සිදුකෙරෙන හේවිසි වාදනය, පිරිත් ප්‍රචාරය වැනි ආගමික කටයුතුවලට සාමාන්‍යයෙන් ජනතාව විරුද්ධ වන්නේ නැත. නමුත් ඕනෑම කෙනකුට සාධාරණ හේතු පෙන්වා එයට එරෙහි වන්නට නීති ප්‍රතිපාදන තිබෙන බව භික්‍ෂුන් වටහා ගත යුතුයි. අසල නිවෙස්‌වල සිටින රෝගීන්, පාඩම් කරන ළමුන් හා කුඩා දරුවන් සිටින විට ඔවුන්ට තැති ගැනීමක්‌, බාධාවක්‌ සිදුවන ලෙස ශබ්ද කිරීම නොගැළපෙයි. නීතියටත් වඩා මානව දයාවෙන් පිරුණ ස්‌වයං පාලනයක්‌ එවැනි පරිසරයක පැවැතිය යුතු යි.

කිසියම් ආගමික කටයුත්තක්‌ සඳහා මහා මාර්ගයේ ශබ්ද විකාශය මගින් ප්‍රචාරයන් කරන්නට අවශ්‍ය නම්, ඒ සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය පුරවා පොලිසියෙන් අවසර ගත යුතු යි. අවට වෙසෙන පිරිස එය බාධාවක්‌ ලෙස නොසලකයි නම්, පන්සල් සීමාවෙහි ශබ්ද විකාශනය කළාට කමක්‌ නැත. නමුත් ආගමික හා ජනවාර්ගික වශයෙන් සංකීර්ණ වූ නගර ආශ්‍රිතව ශබ්දවාහිනිය, බෙර දවුල් භාවිතය ගැටලු සහගතය. විශේෂයෙන් රාත්‍රි 10 න් පසු උදැසන 6.00 දක්‌වා ශබ්ද විකාශනය කළ හැක්‌කේ අවසරයකිනි. ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ 1980 ජාතික පරිසර පනත ද මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් නීති කෙටුම්පතකි. පරිසරයට හානි කරන ක්‍රියාවන් සිදු කිරීම වරදකි. ශබ්දය මනින ඩෙසිබල් ඒකක 80 ට වැඩි ශබ්ද තරංග මිනිසකුගේ ශ්‍රවනේන්ද්‍රියට හානි පමුණුවයි.

කිසියම් පුද්ගලයකුට හානියක්‌, සෞඛ්‍යයට තර්ජනයක්‌ වන පරිදි පරිසරය පවත්වා ගෙන යැම හා 1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනත හා 1946 අංක 57 ආඥා පනතට අනුව වරදකි. පරිසරය අපවිත්‍ර කරන, දුගඳ හමන අන්දමට මංමාවත් ආදියෙහි කුණු කසළ ආදිය දැමීම, අනුන්ගේ ඉඩම්වලට හා මාර්ගවලට කසළ කාණු හැරවීම තහනම් ය. කසළ නිසි පරිදි ඉවත් කළ යුතුය. පන්සල්වල කටයුතු ද එයට අදාළ වෙයි. පසුගිය කාලයේ පැවැති ඩෙංගු මර්දන කටයුතුවලදී අවට පරිසරය මහජන සෞඛ්‍යයට හානිකර පරිදි පවත්වා ගෙන යැම හේතුවෙන් පන්සල්වලට එරෙහිව ද පැමිණිලි ඉදිරිපත් විය. දණ්‌ඩ නීති සංග්‍රහයේ 262 වගන්තියට අනුව ජීවිතයට අන්තරාය ගෙන දෙන, රෝග පතු=රුවන ආකාරයට නොසැලකිලිමත් ලෙස පරිසරය තබා ගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදකි.

පීඩන ක්‍රියා ආඥා පනතේ සඳහන් නීතිමය ප්‍රතිපාදන අනුව මහජනයාට හිරිහැරයක්‌, තර්ජනයක්‌ වන ආකාරයට ගව, ඌරු, කුකුළු ගොවිපළ පවත්වා ගෙන යැම, සතුන්ගේ අපද්‍රව්‍ය මුදා හැරීම, හානිදායක කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට එරෙහිව පැමිණිලි කළ හැක. ඒ සඳහා ඉදිරිපත් වීම සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වන භික්‍ෂුන්ගේ යුතුකමකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.