සසුන සුරැකිය හැක්‌කේ
ප්‍රතිපත්ති ගරුක වීමෙන් පමණි


වැල්ලවායේ සුමනබෝධි හිමි, සිරිමංගල යෝගාශ්‍රමය,
දනව්කන්ද, කිරිකිත්ත.

මිනිසා යනු සත්වයෙකි. 'මනු උච්චෙඨානෙ සෙතීති වා මනසො උස්‌සන්නත්තා වා මනුස්‌සො" දැනීම ඥනය ඉහළ තැනෙක ඇත්තේය හෝ මනස උසස්‌ ශක්‌තිමත් යන අර්ථයෙන් මනුස්‌ස නම් වේ.

රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලුණේය දැඩිව ඇලුණේය. යන අරුතින් සත්වයා යෑයි පවසයි. "රූපෙ ඛො රාධ යො ඡන්දො යො රාගො යා නන්දි යා තන්හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති. වෙදනාය - සඤ්Æය - සංඛාරෙසු - විඤ්Æණෙ යො ඡන්දො යොරාගො යා නන්දි යා තණ්‌හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති."

සං. නි. රාධ සංයුත්තය, පඨම මාරවග්ගය,

2 - සත්ත සූත්‍රය

රාධය රූපය කෙරෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය. එහි දැඩිව ඇලුණේය. එහෙයින් 'සත්ත' යෑයි පවසයි. වේදනාවෙහි සඤ්ඤාවෙහි සංස්‌කාරයෙහි - විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය එහි දැඩිව ඇලුණේය එහෙයින් 'සත්ත' යෑයි පවසයි.

එබැවින් මනස උසස්‌ වූයේද, දැනීම ඥනය ඉහළ තැනෙක තිබුණේද රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලෙන දැඩිව ඇලෙන බැවින් මිනිසා යනු සත්වයෙකි.

"සබ්බෙ සත්තා ආහරට්‌ඨිතිකා" සියලු සත්වයෝ ආහාරයෙන් සිටිත්. ආහාර ප්‍රත්‍ය කර ජීවත් වේ යනු අර්ථයයි. එම ආහාර සතරෙකි. කබලිකාහාරය, ඵස්‌සාහාරය, මනොසඤ්ඤෙතනාහාරය, විඤ්ඤාණාහාරය යනු ඒවායි.

"ආහරතීති ආහාරො" ගෙන එන්නේ යන අරුතින් ආහාර නම් වේ. කබලිකාහාරය ඕජාව අටවැනි වූ රූපකලාප ගෙනෙයි. ථස්‌සාහාරය වේදනා තුන ගෙනෙයි. මනොසඤ්ඤෙතනාහාරය භවත්‍රයෙහි ප්‍රතිසන්ධි ගෙනෙයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධික්‍ෂණයෙහි නාම රූප ගෙනෙයි. ඒ අනුව මිනිසා යන සත්වයාද ආහාර මත ආහාර ප්‍රත්‍යකර ජීවත් වෙයි. එසේම ආහාර මත සමාජයම පවතී.

එය එසේමය. උදාහරණය ලෙස කබලීකාහාරය ගනිමු. උපන්නා වූ සත්වයාට තම දිවිය ප්‍රිය බැවින් ඔහු ජීවත් වීමට උත්සාහ ගනියි. ජීවිතය පවත්වාගෙන යැමට ආහාර අවශ්‍ය වෙයි. ආහාර ලබාගැනීමට යම් ක්‍රමයක්‌ අවශ්‍ය වෙයි. එබැවින් උපන්නා වූ සෑම මිනිසකුම තම නැණ නුවණ මෙහෙයවා කළ හැකි වෘත්තියක නිරත වෙයි. ඒ වෘත්තිය අරඹනුයේ දිවි පැවැත්ම උදෙසා නමුදු කෙලෙසුන්ගෙන් මැඩීම හේතුවෙන් අමතර අවශ්‍යතාද පැනනගී. ඒ නිලතල බලතල ආදියයි. ඉදින් සමාජයම පවතිනුයේ ආහාර මත නොවේද?

තවද යම් පුද්ගලයකුට තමාගේ වෘත්තිය ආදායම් මාර්ගයක්‌ පමණක්‌ විය හැකිය. එනමුදු එය තවකෙකුට අත්‍යවශ්‍ය සේවයක්‌ වනු නිසැකය. එබැවින් ආහාර නිසා උපන් වෘත්තිය හෝ රැකියාව යනු සමාජ පැවැත්මෙහි ප්‍රබල සාධකයකි.

විමසා බලමු. ඔබ ගොවියකු යෑයි සිතන්න. ගොවිතැන ඔබගේ රැකියාවයි, ආදායම් මාර්ගයයි. දිවි පවත්නා ක්‍රමවේදයයි. එය එසේය. නමුදු ඔබ ගොවිතැනේදී වගා කරනු ලබන භෝග පරිභෝග කරන පුද්ගලයාට ගොවිතැන යනු අත්‍යවශ්‍ය සේවාවකි.

ඔබ වෛද්‍යවරයකු යෑයි සිතන්න. වෛද්‍ය වෘත්තිය ඔබගේ රැකියාවයි. ආදායම් මාර්ගයයි. එය එසේය. නමුදු වෙදකම යනු ගිලනෙකුට අත්‍යවශ්‍ය සේවයකි. ඔබ දේශපාලනඥයකු යෑයි සිතන්න. පරිපාලන කටයුතු කරවීම ඔබගේ වෘත්තිය විය හැකි. නමුදු රටවැසියාට නිදහස්‌ව ජීවිත ගත කිරීමට නිසි පාලනය අත්‍යවශ්‍ය සේවයකි. ඔබ මාධ්‍යවේදියකු යෑයි සිතන්න. මාධ්‍ය හැසිරවීම ඔබගේ වෘත්තිය වූයේද තොරතුරු සන්නිවේදනය සමාජයට අත්‍යවශ්‍ය සේවයකි.

මේ සරල උදාහරණ කිහිපය පිළිබඳ ගැඹුරින් සිතන්න. මේ හෝ අන් වෘත්තියක නිරත වන පුද්ගලයකුගේ ප්‍රධාන අවශ්‍යතාව දිවි පැවැත්මම වන්නේය. අමතර අවශ්‍යතා පසුවය. මේ සෑම වෘත්තියක්‌ම සමාජය හා දැඩිලෙස බද්ධ වී පවතී. සමාජය නිසි මගට යොමුවීම කෙරෙහි ප්‍රබල සාධකව පවතී. එනම් ඔබගේ දිවි පැවැත්ම උදෙසා ඔබ කරන කටයුතු සමාජ පැවැත්මට සෘජුව හෝ වක්‍රව බලපායි. හේතුව ඔබ ද ජීවත්වනුයේ එම සමාජය තුළම බැවිනි.

මෙසේ සිතන්න ඔබ ගොවියකු ලෙස හෝ වෛද්‍යවරයකු ලෙස හෝ දේශපාලනඥයකු ලෙස හෝ මාධ්‍යවේදියකු ලෙස හෝ අන් කිසිවකු ලෙස හෝ දිවි රකිද්දී ඔබගේ වෘත්තිය තුළ ඔබ හැසිරෙන ආකාරය තුළින් සමාජයට වන බලපෑම කෙතරම්ද? ඔබගේ හැසිරීම තුළින් සමාජයට සිදුවන යහපත අයහපත පිළිබඳ මොහොතක්‌ හෝ සිතුවේද? නොමැතිනම් ඔබගේ බඩකට පිරවීම ගැන පමණක්‌ම සිතුවේද?

ඔබ ගොවියකු ලෙස අන්තරායකාරක කෘෂිරසායන භාවිත කරන්නකු නම් ඔබ සමාජය ගැන නොසිතන්නකු නොවේද? වෛද්‍යවරයකු ලෙස අසරණ රෝගීන් මියෙද්දී ඉල්ලීම් උදෙසා වැඩවර්ජන කරන්නකු නම් සමාජයට පිළිලයක්‌ නොවේද? දේශපාලනඥයකු ලෙස ජනතාව පෙළා තම සැප සම්පත් තරකර ගන්නකු නම් දේශද්‍රොaහී සමාජද්‍රොaහී පුද්ගලයකු නොවේද? මාධ්‍යවේදියකු ලෙස සත්‍ය දේ යහපත් දේ ගුණදම් පසෙක ලා අසභ්‍ය, අයහපත් අධම තොරතුරු සන්නිවේදනය හරහා මිනිසා විකෘති මනසක්‌ ඇත්තකු බවට පත්කරන්නකු නම් ඔබ ජාතියක්‌ ජන්මයක්‌ නැති වසලයකු නොවන්නේද? සිතන්න ඔබ මෙබදු පහත් ගති ඇත්තෙකු ද නොමැතිනම් සත්පුරුෂයකුද යන වග. ධර්මානුකූල දිවි පැවැත්මක්‌ ඇති ආර්ය පුද්ගලයකු බවට පත්වී ඇති දැයි සිතන්න. ඔබගේ කුසගිනි නිවීම උදෙසා ඔබ කරනු ලබන කටයුතු සමාජයම වෙනස්‌ කරනු ඇත.

ඔබ ඔබගේ කුසගිනි නිවීම උදෙසා අනෙකා ගැන නොසිතා කටයුතු කරන්නේ නම් අනෙකාද ඔහුගේ කුසගිනි නිවීම උදෙසා ඔබ ගැන නොසිතා කටයුතු කෙරේ නම්, දෙදෙනා එක්‌ව දෙදෙනාවම විනාශ කළා නොවේද? සැවොම එක්‌ව සැවොම වනසා ගත්තා නොවේද? එපමණකින් නැවතුනා නොව තම රට තම ජාතිය තම ආගම ද වැනසුවා නොවේද?

ඔබ කුසගින්න නිවීම උදෙසා කටයුතු කරන විට අනෙකා නැසුනා නම් ඔබ නැසුවේ ඔබගේම රටේ පුරවැසියෙකි. රටේ පුරවැසියකු නැසුවා යනු රට නැසුවා යන්නයි. අනෙකා පාගා දමා ඔහු තලා පෙළා තමා වැජඹෙන්නට උත්සාහ ගන්නකු කිසිදු විටෙක තම රට, තම ජාතිය, තම ආගම ගැන සිතන්නා වූ පරාර්ථකාමියකු නොවේමය. සැබෑ පරාර්ථකාමියා නම් තමා මහපොළොව නුහුලනා දුක්‌ ඉහිලුවේද අනෙකාට දුකක්‌ නොදෙන්නාය. නමුදු වර්තමානිකයෝ තම රට, තම ජාතිය, තම ආගම වනසා හෝ තමා සැපවත් වීමට වෙර දරයි. එබඳු පුද්ගලයන් සිටින සමාජය ධාර්මික වනුයේ කෙසේද?

ඉදින් සිතන්න ඔබ සමාජයේ ජීවත්වෙමින් ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව ක්‍රියාකරනු ලබන සෑම මොහොතකම ඔබගේ රට, ඔබගේ ජාතිය, ඔබගේ ආගම විනාශ කළ පුද්ගලයකු නොවේද? එසේ විනාශ කළ පසු අනාගත පරපුරට ඉතිරිවනුයේ කුමක්‌ද? සිතන්න ඔබගේ කය වැඩුණේ මේ හෙළ දීපයේ සාරයෙනි. ඔබගේ දැතට වෙර ලැබුණේ ඔබගේ නැණ නුවණ වැඩුණේ මේ හෙළ දිවයිනේ සාරයෙනි. එබැවින්ම ඔබ මේ හෙළ දිවයිනේ ණයකරුවෙකි. ඔබ ණය නොගෙවා මියෙන්නේ නම් ඔබ වසලයෙකි. තම රට, තම දැය, තම දහම වෙනුවෙන් තමා කළ යුතුකම ඉටුකරන්න. ආත්මාර්ථකාමියකු නොව පරාර්ථකාමියකු වන්න. අනෙකා ගැනද සිතන්න. එවිට ඔබ රට රැකි පුද්ගලයෙකි. ණය නැත්තෙකි. ජාතික වීරයෙකි.

රටට දැයට හිත දපා

මදකට දිවි ලොබ ලොපා

කළ මෙහෙයක්‌ නැති දෙපා

හෙළයකු දැකුමත් එපා

(මුනිදාස කුමාරණතුංග)

හෙළ මියෑසිය 78

මෙසේද සිතන්න. ආර්ය සංස්‌කෘතියෙන් ඔප්නැංවුණා වූ ආර්ය ජාතිය වූ සිංහලයාගේ රට සිංහලයයි. සිංහලයාගේ දහම බුදු දහමයි. එය තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පමණක්‌ නොව මේ මහා භද්‍ර කල්පයේ බුදු වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ ද දායාදයක්‌ ලෙස මේ ද්වීපයට ලැබුණෙකි. (සමන්ත පාසාදිකා විනය අටුවා) අප ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටියදී තමන් වහන්සේගේ ශාසනය හෙළ ද්වීපයේ චිරස්‌ථායී වන බව දැක සක්‌දෙව් රජුට ලක්‌දිව රැකීමට පැවරූ බව මහාවංශයෙහි දැක්‌වේ. එසේ බුදු ඇසින් දැක බලා වදාළ කරුණ වත්මනෙහි නාම මාත්‍රික සිංහල බෞද්ධයන් ශාසනය රකින්නෙමු යෑයි බඩගෝස්‌තරවාදය පෙරටු කොට කරනු ලබන්නා වූ විගඩම් මැද සක්‌දෙව් රජු කෙසේ නම් ලක්‌දිව රකින්නද? සිංහලයිනි සිතව්, සසුන රැකිය හැක්‌කේ ප්‍රතිපත්තියෙන් විනා අනෙකකින් නොවේමය. තෙපි පංච දුෂ්චරිතයෙහි හැසිරෙමින් රකිනු ලබන්නේ කවර නම් ශාසනයක්‌ද? සම්බුද්ධ ශාසනය සුරැකීම තොපට පැවරෙනා වගකීමයි. එහිලා ගත සිත යොදව්. නැගී සිටිව්. සසුන සුරකිව්.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.