නිවැරැදිව අර්ථ නිරූපණය කරගත යුතු
පුබ්බන්තෙ ඥානය සහ අපරන්තෙ ඥානය

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු.

පටිච්ච සමුප්පාදය අද තිබෙන විදියට අර්ථ දැක්‌වීමේ ඊළ`ග දෝෂය තමයි නිවන් ම`ග එතන නැති වීම. ඇයි ඒ?

අවිද්‍යාව, සංඛාරය (කර්මය) පෙරයි. විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන්නෙ මේ පංච උපාදානස්‌කන්ධය හටගත්ත (වර්තමාන) තැනයි කියලයි මෙතන විස්‌තර කරන්නෙ.

පෙර ජීවිතයෙ කර්මයට තමයි මේ (වර්තමාන) පංච උපාදානස්‌කන්ධය හටගන්නෙ කිව්වම, අද තණ්‌හාව විතරයි නැති කරන්න පුළුවන්, රහත් වුණත් පංච උපාදානස්‌කන්ධයක්‌ තමයි පරිහරණය කරන්න වෙන්නෙ, එහෙම වුණොත් ජරා මරණ දුකෙන් අද මිදෙන්න බෑ, මිදෙන්න වෙන්නෙ පස්‌සෙයි (ඊළ`ග ජීවිතයෙ) කියන උත්තරයකට එනව.

ඒ කියන්නෙ අද ජරා මරණයෙන් මිදෙන එක අතහැරිල කියන එකයි.

ඒ කියන්නෙ වර්තමානය පංච උපාදානස්‌කන්ධ වුණොත් තණ්‌හාව නැති කළ හැකියි. නමුත් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාස, සංකිත්තෙන පංච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා කිව්ව එකෙන් මිදෙන්න පුළුවන් ද? බැහැ.

ඒ හින්ද අද ශාසනයේ උත්තරය තියෙන්නෙ කොහොම ද දන්නව ද? අද තණ්‌හාව නැති කරන්න පුළුවන්. තණ්‌හාව නැති කළොත් අනාගතේ දි ජරා මරණ දුකින් මිදෙන්න පුළුවන් කියන තැනකයි අද ශාසනේ තියෙන්නෙ.

අපේ ජීවිතය ම පංච උපාදානස්‌කන්ධය නම්, පංච උපාදානස්‌කන්ධය ජාති, ජරා, මරණ, සෝක, පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාසයක්‌ නම්, කෙලෙස්‌ ටික නැති කෙරුවහැකි. පංච උපාදාන ස්‌කන්ධයෙන් මිදෙන්න පුළුවන් ද? ඒ කියන්නෙ අද දුකින් මිදෙන්න පුළුවන් ද? බැහැ. අද හේතුව නැති කරල අනාගතයෙ දියි ඵලය ලැබෙන්නෙ.

එහෙම වුණොත් මේ ශාසනයට කියන්න පුළුවන් ද සන්දිට්‌ඨ§කයි, අකාලිකයි, ඒහිපස්‌සිකයි කියල? බැහැ.

මේක ලොකු වරදක්‌. හැබැයි වැරැද්ද පෙළේ (අභිධර්ම පිටකයේ) නෙමෙයි. පෙළ හරි. ගිනි පුපුර හරි. අපි අරගෙන තියෙන අර්ථයයි වැරැදි. ඒ වැරැද්ද තිබුණොත් මාර්ගඵල ලැබුවා නම් තමයි පුදුමය. පරියත්තිය වැරැදිලා ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි පුදුමය.

පරියත්තිය හරි ගියොත් තමයි ප්‍රතිපත්තිය හරියන්නෙ. ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි ප්‍රතිවේදය නැත්නම් ඵලය ලැබෙන්නෙ.

එක එක්‌කෙනා එක එක විදියට හාල් ගරල, බත් උයල, මුට්‌ටි මාරු කර කර, හාල් මාරු කර කර බත් උයන්න හදනව වගේ ක්‍රමයක්‌ අද ශාසනේ තියෙන්නෙ. වැරැද්ද මුට්‌ටියේ, හාල් ටිකේ නෙමෙයි. ගින්දර නැති එකයි. ප්‍රතිපත්තිය නැති එකයි. මේ ගිනි පුපුරට ම පිඹල උපදව ගත්තොත් මිසක ඊට මෙහා කිසි විදියකට බැහැ. එහෙම නම් සම්මා සම්බුද්ධයි වෙන්න ඕන. නැත්නම් පච්චෙක බුද්ධ වෙන්න ඕන.

මේ ගිනි පුපුරට ම පිඹල ගන්න කෙනෙක්‌ සම්මා සම්බුද්ධ හරි පච්චෙක බුද්ධ හරි වෙන්නෙ නෑ. විශේෂ ඥානයක්‌ විතරයි. හැබැයි එය ද බුදු වදන්මයි. බුද්ධ ශාසනය මයි.

දැන් අපි බලමු මෙතන ඇත්තට ම තියෙන ධර්මතාව මොකක්‌ ද කියල. මම මේ කියන කාරණාව හොඳට බලන්න.

විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නෙ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසට බැසගත්තට පස්‌සෙ නාම රූප කියන්නෙ මහා භුතයන් ගෙන් යුත් මේ කය සවිඥානික වෙච්ච හැටි. ඒ නිසා ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ආයතන ටික හැදිච්ච හැටි. ආයතන නිසා ස්‌පර්ශ ඇති වන හැටි - චක්‌ඛු සම්පස්‌ස, සෝත සම්පස්‌ස, ඝාන සම්පස්‌ස...ඒ නිසා වේදනාව එන හැටි - චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා...

කෙටියෙන් සැලකුවොත්, ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන විතරක්‌ ගන්න. ඔන්න ඕක තමයි ජීවිතය.

බුදුරජාණන් වහන්සෙ අවිද්‍යා සංඛාර පෙරයි කිව්වෙ මේකට හේතු පෙන්නන්න නෙමෙයි. මහණෙනි, පෙර අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි තණ්‌හා උපාදාන වෙලා නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල සඳහනක්‌ බුදුරජාණන් වහන්සෙ කරනව. (පුබ්බන්තෙ ඥානය)

එහෙම කියල, අදත් මේ විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම

රැස්‌ කරගත්තොත් නුඹලට අනාගතය කියල තැනකට යන්න වෙනවා කියල එක පෙන්නනව. (අපරන්තෙ ඥානය).

අතීත හේතු පෙන්නන එකක්‌ නෙමෙයි මෙතන තියෙන්නෙ. මෙන්න මේ කාරණාව හොඳට ගන්න.

පෙර ජීවිතයෙ දිත් විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික නුඹලට හම්බ වෙද්දි එතැන ඇත්ත නො දැන, කර්ම හදාගෙන ඒකෙ තණ්‌හා උපාදාන වෙච්ච නිසයි නුඹලට මෙතෙන්ට එන්න වුණේ කියල කියන්නයි මේක පෙන්නන්නෙ මිසක, පුබ්බන්තෙ ඥානං කියන එකෙන් කියන්නෙ පෙර අවිද්‍යා කර්ම නිසා වර්තමානය හටගත්තා කියන එක නෙමෙයි.

පුබ්බන්තෙ ඥානය එහෙම පෙන්නල අදත් මේ ඇහැට රූපයක්‌ පෙනිල, කණට ශබ්දයක්‌ ඇහෙන තැනක අදත් ඇත්ත නො දැන අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කර ගත්තොත් ආයෙත් තණ්‌හා උපාදාන වෙලා නුඹල අනාගතේට යනවා කියල අපරන්තෙ ඥානය පෙන්නනව.

පෙර වැරැද්ද නිසයි වර්තමානය. වර්තමානය වරද්දගත්තොත් අනාගතයට යනව කියන දෙපැත්ත පෙන්නල වර්තමානයක අවිද්‍යා සංඛාරය වෙන හැටි, ඒකට විපාක හදාගන්න හැටි, ඒකට තණ්‌හා උපාදාන වෙන හැටි, මතු භවය හදාගන්න හැටි පෙන්නන්නයි මේ ටික කියන්නෙ.

මේ චක්‍රයෙ අවිද්‍යා සංඛාර අතීත හේතුයි කියල පෙන්නපු එක වැරැදි නැහැ. ඒක වර්තමානයට හේතුව ලෙස සෘජු ව ගත්ත එකයි වැරැදි. ඒකෙන් පෙන්නුවෙ මේ වගේ විපාකයක්‌ නුඹලට පෙර හම්බ වෙද්දිත් අවිද්‍යාවෙන් කර්ම රැස්‌ කරගත්ත නිසයි මෙතෙන්ට එන්න වුණේ කියල මෙතෙන්ට එන්න මුල් හේතුව පෙන්නුව. ඒක කළේ වර්තමානය හදාගන්න ඇහැ යොමු කරන්නයි.

ඒ කාරණාව පැහැදිලියි නෙ.

හැම වෙලේ ම ප්‍රතිසන්ධිය ලබා දෙන තැන තියෙන්නෙ තණ්‌හා, උපාදාන, භව. තෘෂ්ණාව නමැති වඩුවයි මේ ගේ හැදුවෙ. කර්මය නෙමෙයි.

මෙතෙන් දි පළමුවැනි අදියර විදියට මට ඕන කළේ අවිද්‍යා සංඛාරය අතීතයට දමන වැරැද්ද අතහරවන්නයි.

දැන් ආපහු හොඳට මනස යොමු කරන්න. මේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන තැන මම කිව්ව අපේ වර්තමාන ජීවිතය කියල. ඔතන තියෙනව පොඩි ගැටලුවක්‌. මේ ලෝකෙට හොයාගන්න බැරි ඔන්න ඔය සිද්ධියයි. ඔය ටික පෙර කර්මයන්ට උපාදාන වෙල තණ්‌හාවෙන් හටගත්ත ස්‌කන්ධ ටිකක්‌ කියල දෙයකුත් තියෙනව. ඕක ම කර්ම වෙන න්‍යායකුත් තියෙනව.

උදාහරණයකට මේ ජංගම දුරකථනයක්‌ ගත්තොත් මේකට ඇමතුම් එන පැත්තකුත් තියෙනව ඇමතුම් ගන්න පැත්තකුත් තියෙනව. ඉන්කමින් අවුට්‌ගොයින් කියල දෙකක්‌ තියෙනව. මේ ස්‌කන්ධ පංචකයෙත් ඔය ටික තියෙනව. අපි ඉස්‌සරවෙලා බලමු ''ඉන්කමින්'' එක. (අද බණ කියන්න වෙලා තියෙන්නෙත් ඩිජිටල් ක්‍රමයටෘ වෙන ක්‍රමයකට කිව්වොත් තේරෙන්නෙ නැහැ නෙ).

ඇහැට රූපයක්‌ පෙනෙන අවස්‌ථාව ගන්න. ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන තියෙනව විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියල.

චක්‌ඛු සම්පස්‌සයත් චක්‌ඛු සම්පස්‌සයෙන් උපන් වේදනාවත්. මෙතන තියෙන්නෙ පිරිසිදු ස්‌කන්ධ ටිකක්‌. අනාත්ම වූ ස්‌කන්ධ ටිකක්‌. මේ ටික හේතූන් ගෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත, ප්‍රත්‍යයන් ගෙන් හටගත්ත ධර්මතා ටිකක්‌.

ඇහැ ද කන බොන ආහාරය නිසා. මේ පෙනෙන රූපය ද කන බොන ආහාරය නිසා. මෙතන තියෙන්නෙ සතර මහා ධාතූන් ගෙ උපාදාය රූපයක්‌. ඒක ධර්මතාවක්‌.

මේ ඇහැත් රූපයත් කියන තැනක හිත උපන්නා. ඒ ස්‌පර්ශය නිසා වේදනා සංඥා පහළ වුණා කියන ටික ගත්තහම මෙතන තියෙන්නෙ හොඳට බලන්න ඇහැට පෙනෙනව කියන තැනක, දකින්න පෙර නො තිබුණු දැක්‌කට පස්‌සෙ නො තිබෙන ඒ අවස්‌ථාවටත් නො තිබෙන ඒ වෙලාවට විතරක්‌ හේතු නිසා හදාගත්ත දර්ශනයක්‌ අපට මේ පෙනෙන්නෙ.

මේ රූපෙ නිසයි ඇහැ හැදෙන්නෙ. ඇහැ නිසයි රූපෙ හැදෙන්නෙ. මේ දෙන්න ම නිසයි චක්‌ඛු විඤ්ඤාණය හැදෙන්නෙ. ඔවුනොවුන්ට උපකාරීවයි තියෙන්නෙ. මිරි`ගුව කියෙන තැනක ඇහැ නිසයි ජලය වගේ සටහන පෙනෙන්නෙ. ජලය වගේ සටහන නිසයි ඇහැ කියල එකක්‌ උපදින්නෙ. ඒ දෙන්න නිසයි චක්‌ඛු විඤ්ඤාණය කියල එකක්‌ උපදින්නෙ. ඔය ටිකේ එකතුව තමයි වතුර වගේ පෙනෙන එක.

අපි අහකට යනකොට ම වතුර වගේ පෙනෙන රූපයත් අතහැරෙනව. ඒ රූප දැක්‌ක ඇහැත් බිඳෙනව. ඒ රූපය දැකපු හිතත් නිරුද්ධ වෙනව.

අපිට පෙනෙනව කියන තැනක මෙහෙම හේතූන් ගෙන් හටගත්ත දෙයක්‌ තමයි ඇත්තට තියෙන්නෙ. නමුත් දකින්න පෙර තිබුණ, දැක්‌කයින් පස්‌සෙත් තියෙනව කියන මේ කිසි ම දෙයක්‌ නො දැන ඇහැට රූපයක්‌ පෙනෙනව කියන තැන එකක්‌. මෙතන ඇත්ත නො දන්නාකම නිසා මේ පෙනෙන රූපය හොඳට අල්ලගෙන අපි විඳිනව. විස්‌තර ඇති ව හිතනව.

මෙහෙම අල්ලගෙන වින්දහම තියෙන දෝෂය තමයි මේ ඇහැත් රූපයත් චක්‌ඛු විඤ්ඤානයත් ඉතුරු නැති ව ම නිරුද්ධ වෙලත් මේ සටහන එහෙම ම අපේ මනසෙ හිටිනව. අන්න එහෙම සටහන මනසෙ හිටින එක තමයි අවිඡ්C`ධා පච්චයා සංඛාරා.

ඒa කියන්නෙ ඇහැ ගැන දන්නෙ නෑ. රූපය ගැන දන්නෙ නෑ. චක්‌ඛු විඤ්ඤාණය ගැන දන්නේ නෑ. චක්‌ඛු සම්පස්‌සය ගැන දන්නෙ නෑ. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයෝ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනව කියන ධර්මතාව සාක්‌ෂාත් කරගෙන නැහැ. අවිද්‍යාසහගත මනසකින් අපි වින්දෙ. ඇති දෙයක්‌ හැටියට අල්ලගෙනයි අපි වින්දෙ. එහෙම වින්දම තියෙන දෝෂය තමයි වින්ද අරමුණේ විඤ්ඤාණය පිහිටනව. ඒ කියන්නෙ ඒ ටික හටගෙන නිරුද්ධ වුණත් ඇති හැටියට මනසෙ හිටිනව. දැන් අපේ මනසෙ හැඩ සටහනක්‌ තියෙනව. මේක ඇති තතු නො දන්නාකම නිසා හටගත්ත කර්ම නිමිත්තක්‌.

දෙවනුවට අනුබන්ධන චිත්ත වීථි කියල ඔය නිමිත්ත ම අරගෙන හිතෙනුත් යනව. "එයා හරි ම හොඳ කෙනෙක්‌, මගේ අප්පච්චි" කියල ආදරේ හෝ තරහ හෝ ඇති වෙන විදියට හිතේ ම තියෙන නිමිත්ත අරභයා ආපහුත් අපි හිතනව.

ඔන්න ඔය ඇහැට පෙනුණු එක කෝල් එක ආපු එක වගේ (ඉන්කමින්). ඒකෙ දෝෂයක්‌ නැහැ. ඒ සිද්ධියේ ඇත්ත නො දන්නාකම නිසා ඒක අල්ලගෙන විඳින්න ගියා ම තියෙන දෝසය තමයි ඒ ධර්මය නිරුද්ධ වෙලත් එය ඇති බවට මනසෙ හිටිය.

දැන් මේකෙ අවුට්‌ගොයින් එකකුත් තියෙනව. ඒ කිව්වෙ දැක්‌ක රූපය බලන්න කියල යනකොට සංඛාර පච්චයා විඤ්ඤාණං.

අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක්‌ සිහි කරල යැම තමයි සංඛාර පච්චයා විඤ්ඤාණං. ආපහු විඤ්ඤාණය වෙලා, නාමරූප වෙලා, ආයතන හැදිල, ආයෙත් මේ රූපය හදාගන්නව අපි. හැබැයි දැන් සංඛාරා පච්චයා විඤ්ඤාණං.




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.