ආචාරධර්ම සුරැකෙන
සමාජයක්‌ සඳහා නිර්මාණ සහ නිෂ්පාදන


වෛද්‍ය ලලිත් විඡේසිංහ,
සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී,
මහ රෝහල, මහනුවර.

කුඹුරට උදේ යමින් සිටින ගුණපාල මාමාට, ඔබ ආමන්ත්‍රණය කළ යුත්තේ, 'ගුඩ්මෝර්නිං, මිස්‌ටර් ගුණපාල' කියල යි. උදේ මිදුල අතුගාමින් සිටින ගුණවතී නැන්දාට ආමන්ත්‍රණය කළ යුත්තේ, 'ගුඩ් මෝර්නිං, ගුණවතී මැඩම්' කියලයි. ඒ ආමන්ත්‍රණය ඇහුණම ඒ අයගේ වැඩේ අමතක කරල පුදුම වෙලා ඔබ දිහා බලනවා" ඒ අය මෙහෙම හිතනවා.

'අත් දිගට දාලා, ටයි එකක්‌ දාලා, සපත්තු දාපු ලස්‌සන තරුණ මහත්තයෙක්‌ අපට මිස්‌ටර්-මැඩම් කියලා කතා කරනවා. ඒ කියන්නෙ අපි මේ මහත්තයාටත් වඩා ලොකු, වැදගත් මහත්තුරු, නෝනලා කියල නේ ද?

මේ විදිහට ඔබ මුලින්ම ඔබට හමුවන ඕනෑම කෙනෙකුට මේ වගේ වචන දාල ආමන්ත්‍රණය කරන්න ඕන.

දැන් ඒ අය ඔබ කියන ඕනෑ ම දෙයක්‌ අහන්න ලෑස්‌ති යි. ඊළඟට ඔබ අලෙවි කරන නිෂ්පාදනය ගැන විස්‌තර කිරීම පටන් ගන්න ඕන. ඔබ අලෙවි කරන භාණ්‌ඩය ඔවුන්ගේ ඇසට හොඳට ප්‍රියමනාප විදිහට පෙනෙන්න හොඳ අසුරණයක තියෙන්න ඕන. භාණ්‌ඩයට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕන.

දැන් ඒ භාණ්‌ඩය ඔවුන්ට හොඳටම පෙනෙන විදිහට, අවශ්‍ය නම් අතින් අල්ලලා බලන්නත් දීලා ඒ ගැන විස්‌තර කරන්න ඕන.

ඒ භාණ්‌ඩය හිමි කර ගැනීමේ අගය, සාඩම්බරය, ගරුත්වය ගැන කියන්න ඕන. ඒ ඒ භාණ්‌ඩය අනුව, ඒ ඒ අයට ඇති පහසුව ඒ නිසා කාර්යයවල ඇතිවන වෙනස, ප්‍රයෝජනය ගැන කියන්න ඕන. ඉවුම්-පිහුම් කරන භාණ්‌ඩයක්‌ නම් එහි ඉක්‌මන් ක්‍රියාකාරීත්වය, එහි පිසෙන කෑමවල ප්‍රනීත බව, සංගීත භාණ්‌ඩයක්‌ නම් ඉන් ඇසෙන සංගීතයේ මියුරු බව, සුවඳවිළවුන් වැනි දෙයක්‌ නම් එහි ආකර්ෂණිය, වෙනස්‌ සුවඳ, ශරීර සුව පහසුව හදන එකක්‌ නම් ඉන් ලැබෙන සැපය වගේ දේවල් ගැන කියන්න ඕන.

ඔබ කථාවෙහි දක්‍ෂයෙකු නම් මේ වන විට ඒ අය ඉතා උනන්දුවෙන් ඔබට සවන් දෙනවා. ඔබ දක්‍ෂ වෙළඳ නියෝජිතයෙකු නම් දැන් ඔවුන් ඔබේ භාණ්‌ඩය ගැනීමට තීරණය කරලා ඉවර යි.

මතක තියා ගතයුතු වැදගත් ම දේ, පාරිභෝගිකයාට ඔබේ භාණ්‌ඩය වුවමනා ද නැති ද යන්න නොවෙයි. ඔබේ භාණ්‌ඩය ඔවුන්ට අවශ්‍යම භාණ්‌ඩයක්‌ බව ඔවුන්ට කොයිතරම් ඒත්තු ගැන්විය හැකි ද යන්න යි. ඔබ දක්‍ෂයෙකු යෑයි තක්‌සේරු වන්නේ එයින්,

ඉහත සඳහන් කරනු ලැබුවේ වෙළෙඳපොළට නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා තෝරා ගනු ලැබූ නවක තරුණ වෙළඳ නියෝජිතයන් පිරිසක්‌ සඳහා පැවැති වැඩමුළුවක දී ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු විසින් කරන ලද දේශනයක කොටසකි.

භාණ්‌ඩ හා සේවා නූතන මිනිස්‌ ජීවිතය සමග දැඩි ව බද්ධ වී පවති යි. වර්තමාන සමාජයේ සෑම අයකු ම සෘජු ව හෝ වක්‍ර ව එහි භාවිතයන් සමග ගනුදෙනු කළ යුතු වෙයි. එහෙයින් එහි නූතන සමාජ පැවැත්ම සඳහා බෙහෙවින් ඉවහල් වෙයි.

භාණ්‌ඩයක්‌ මිල දී ගැනීම සඳහා තිබිය යුතු මූලික ම කාරණය නම් එම භාණ්‌ඩය මිල දී ගන්නා හට එකී භාණ්‌ඩය මිල දී ගැනීමේ අවශ්‍යතාවක්‌ හා ඔහුට එහි උපයෝගීතාවක්‌ සහ මිල දී ගැනීමේ ක්‍රය ශක්‌තියක්‌ තිබීම ය. ඒකී දෑ අනුව භාණ්‌ඩ විකිණීම ද භාණ්‌ඩ මිල දී ගැනීම ද විය යුත්තකි. එය සමාජ සාධාරණ නිවැරදි ක්‍රියාවලියක්‌ වන්නේ එවිට ය.

එහෙත් ඉහත කී දේශනයෙහි කියෑවුණ පරිදි කිසියම් භාණ්‌ඩයක්‌ මිල දී ගැනීමේ අවශ්‍යතාවක්‌ හෝ එහි උපයෝගීතාවක්‌ හෝ නොමැති අයකු එය මිල දී ගැනීමට පෙළඹවීම, ඒ සඳහා එලෙස ප්‍රයෝග යෙදීම කිසිසේත් යුක්‌ති යුක්‌ත යෑයි කිව නොහැක. මන්ද ඉන් සමාජයට ඉමහත් හානියක්‌ සිදුවන බැවිනි.

ඉහත දේශනයෙහි දී එම දේශකයා විසින් පදනම් කොට ගනු ලැබූ චින්තනයක්‌ වේ, එයට සවන් දුන් නවක තරුණ වෙළෙඳ නියෝජිතයන්ගේ සිත්වලට කිඳා බසින බොහෝ දේ එහි වේ. ඉන් සිදුවන සමාජ ක්‍රියාන්විතයක්‌ තිබේ. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය කුමක්‌ ද? මෙතෙක්‌ සමාජයෙහි පැවැති යහදැක්‌ම, පුරුෂාර්ථ සමග එහි ගැටීමක්‌ ඇති වීමයි. එමගින් සමාජ හර පද්ධතිය බිඳ වැටීමට එය හේතුවීම යි.

භාණ්‌ඩ සහ සේවා සැපයීමේ ඉහත කී වෙළෙඳපොළ ක්‍රියාන්විතය සේ ම නූතන වෙනත් සමාජ මෙහෙයුම් ධාරා, ක්‍රමවේද අප වෙත ගලා එන්නේ අප ලබන අධ්‍යාපනයෙනි. වර්තමානයේ අප ලබන අධ්‍යාපනය බොහෝ දුරට බටහිර දැනුම මත පමණක්‌ පදනම් ව සැලසුම් කරන්නකි. බටහිර දැනුම ගොඩනැගෙන විධික්‍රම, පදනම විමසීම මගින් මෙකී ගැටුමට හේතුව කුමක්‌ ද යන්න තේරුම් ගැනීම අපහසු නොවේ.

අපගෙන් 'ස්‌වායත්ත' වෙන් වූ, 'වාස්‌තවික', ද්‍රව්‍යමය ලෝකයක්‌ පවතී යන බටහිර දැක්‌ම මත මිනිසාගේ පංෙච්න්ද්‍රියන්ට ලැබෙන සංජානන, එනම්, දැකීම, ඇසීම, ස්‌පර්ශය, දැනීම යන දෑ පරීක්‍ෂණය, නිරීක්‍ෂණය කොට ඉන් ලබා ගන්නා නිගමන 'දැනුම' බවට පත් කෙරෙයි. එලෙස ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නොවන දෑ පිළිබඳ ව ද දැනුම ගොඩ නගා එකී දැනුමට ම අන්තර්ගත කෙරෙයි. එමගින් ලෝකය, එම දැනුමට අනුගත ව 'දැක-දැන' ගැනීමට, තේරුම් ගැනීමට, මිනිසාට හැකි යෑ යි සිතනු ලැබේ. එම 'බටහිර දැනුම' පොදු මිනිසාගේ දැනුම බවට පත් කරනු ලැබේ.

එම දැනුම යොදාගෙන, මිනිසකුගේ උපතේ සිට මරණය තෙක්‌ ඔහුගේ පංෙච්න්ද්‍රියන් පිනවීම එහිs මුඛ්‍යාර්ථය යි. එම දැනුම සමාජගත කරනු ලබන්නේ දේශපාලන, සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී ලෙසින් වන සාමාජික, සමාජීය, පාරිසරික, විශ්වීය ආදි නිර්මාණාත්මක ක්‍රියාවලියක්‌ ලෙසිනි.

ඒනයින් මිනිසකු මුවලන ආහාර-පාන. වස්‌ත්‍රාභරණ, ගේ-දොර, යාන-වාහන, උපකරණ ආදිය ද විනෝදාංශ සඳහා වන ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය, එනම් චිත්‍රපට, ටෙලි නාට්‍ය, නාට්‍ය, ක්‍රීඩා තරඟ, පුවත්පත්, සඟරා, පරිගණක වැඩසටහන්, සංගීතය, නර්තනය, ගීතය, පාරිසරික ව්‍යාපෘති, අජටාකාශ තරණය ආදී සියල්ල නූතන මිනිසා වෙත ගෙන එනු ලබන්නේ එකී දැනුම උපයෝගි කොටගත්, නූතන මිනිස්‌ සමාජයේ 'නිර්මාණ' ලෙසිනි.

මෙකී නිර්මාණයන්හි බොහෝ ප්‍රශස්‌ත දෑ තිබේ. ඉන් මිනිසාට බොහෝ පහසුව සැලසෙ යි. කාලය ඉතිරි වෙයි. වින්දනයක්‌ ලැබෙයි. එහෙත් බොහෝ විට ඒවාහි අරමුණ මිනිසාගේ පංෙච්න්ද්‍රිය පිනවීම යිර් ඒ සඳහා පුද්ගල අවධානය යොමු කොට ගෙන තම ආර්ථික ප්‍රතිලාභය ම පරමාර්ථය කොට ගනිමින් නිපැයුම්, නිර්මාණය කිරීමයි, අලෙවි කිරීමට ක්‍රියා කිරීම යි. එහෙත් මෙකී ක්‍රියාව සඳහා නිර්මාණය යන වචනය භාවිත කළ හැකි ද යන්න විමසිය යුත්තකි. මන්ද නිර්මාණය යන වචනයෙහි පදරුත් විමසීමේ දී නූතන සමාජයේ පවත්නා අදහසට සපුරා බැහැර ව වන අරුතක්‌ එහි ඇති බැවිනි.

නිර්මාණය (Creation) යන වදනෙහි අරුත වන්නේ, මැනීමකින් තොරවීම, එනම්, නිර්මාණයක්‌ යනු කිසිදු මැනීමකින් තොර ව යමකුගේ සිතෙහි 'මේ දේ කරනු ලබන්නේ මම' ය යන හැඟීම පවා තුරන් ව ගිය නික්‌ලේශි මොහොතක උපන්නක්‌ වේ. එහෙත් නිෂ්පාදනය (production) යනු තමාට විශේෂ වූ කිසියම් අරමුණක්‌ උදෙසා යමක්‌ සෑදීමත්, එය මූල්‍ය අපේක්‍ෂාවකින් යුතු ව සමාජ ඉල්ලුමක්‌ සපුරාලනු පිණිස සමාජයට ඉදිරිපත් කිරීමත් වේ.

නිර්මාණය සහ නිෂ්පාදනය යන වදන් පිළිබඳ ව ඒවාහි පදරුත් එලෙස ඉදිරිපත් කරනු ලබන්නේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසිනි. ඒ, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් පවත්වනු ලැබූ දේශනයක දී එකී වදන් පිළිබඳ ව කරනු ලැබූ පැහැදිලි කිරීම මුල් කොට ගනිමිනි.

නිර්මාණශීලිත්වය (Creativity) යන්න මිනිසා සතු නිසඟ හැකියාවකි. බටහිර විද්‍යානුගත ව එය මිනිසාට පමණක්‌ සුවිශේෂී වන්නේ, අනෙක්‌ සත්ත්වයන් අතර මිනිසාට සුවිසල් බුද්ධිමය හැකියාවක්‌ තිබීම, නම්‍යශීලී දේහයක්‌ තිබීම, මුහුණෙන් බොහෝ අභිනයන් දැක්‌වීමට හැකි වීම, සුවිසල් පරාසයක ඉසියුම් හස්‌ත කුසලතාවන් තිබීම, දෙපාවකු, එනම් පා දෙකින් සිටගෙන කාර්යයන් කිරීමේ හැකියාව වැනි දෑ හේතුවෙනි.

එහෙයින් මිනිසා ඒවා පදනම් කොටගෙන බොහෝ නිර්මාණශීලී දෑ කරයි. දේහචලනය, කථනය, අභිනය, හස්‌ත කෞශල්‍යය යොදා ගනිමින් සිදු කරනු ලබන්නේ ඒවා යි. එහෙත් මිනිසාට ලොවෙහි අනෙකුත් සියලුම සත්ත්වයන්ට වඩා සුවිශේෂී වන්නේ තම බුද්ධිමය හැකියාව උපයෝගි කොට ගෙන නිර්මාණකරණයෙහි යෙදීමේ අපූර්ව ශක්‍යතාව නිසා ය.

එපරිදි නිෂ්පාදනයෙහි දී ද මිනිසාගේ එකී නිර්මාණකරණයන් ද සුවිශේෂී බුද්ධිමය හැකියාව ද තමාගේත් අන්‍යයන්ගේත් යහපත උදෙසා නිරන්තරයෙන් යොදන්නට සිතන්නේ නම් නිර්මාණකරණය සේ ම අද පවත්නා නිෂ්පාදනකරණය ද සමාජ හිතකාමී වන්නේ ය.

නිෂ්පාදන කාර්යයක දී මූල්‍යමය ප්‍රතිලාභය පිළිබඳ ව බොහෝ සැලකිලිමත් වෙයි. එහෙත් පෙරදිග සේ ම බටහිර ද ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන්, කළමනාකරුවන්, අර්ථපතීන් තම නිෂ්පාදන ක්‍රියාවලීන්හි එක ම අරමුණ මූල්‍යම ය ප්‍රතිලාභය පමණක්‌ නොවේ යන පදනමින් ක්‍රියා කරනු දක්‌නට ලැබේ. සමාජ යහපත, සමාජ සුබ-සාධනය, පරිසර සංරක්‌ෂණය ආදී දෑ ද ඔවුන් විසින් අපේක්‍ෂිත පරමාර්ථ අතර වේ. ඒවා බෙහෙවින් පැසසුම් කටයුතු ය.

එහෙත් මූල්‍යමය අරමුණකින් පමණක්‌ කරනු ලබන කවර හෝ නිෂ්පාදන ක්‍රියාවලියකින් පුද්ගලයාටත් සමාජයටත් විශාල හානියක්‌ සිදු වේ. ඉන් පුද්ගලයාගේත් සමාජයේත් ආචාරධර්ම බිඳ වැටෙයි, රටෙහිත් ලෝකයෙහිත් ආචාර ධර්ම බිඳ වැටෙයි, ප්‍රතිඵලය, මනුෂ්‍යත්වය බිඳ වැටුණ සමාජයකි, ලෝකයකි.

ඉහත විග්‍රහ කරන ලද නිර්මාණය සහ නිෂ්පාදනය යන වදන්වල පදරුත් නොසලකා හරිමින් එකී වචන ද්වය සම අරුතින් ගෙන ව්‍යවහාර කරනු අද දක්‌නට ලැබේ. එහෙත් මූල්‍යමය ප්‍රතිලාභයක්‌ ලබා ගැනීමේ පරමාර්ථයෙන් කරනු ලබන කවර කාර්යයක්‌ හෝ 'නිර්මාණ කාර්යයක්‌' ලෙසින් හැඳින්වීමට වඩා 'නිෂ්පාදන කාර්යයක්‌' ලෙසින් හැඳින්වීම වඩාත් සුදුසු බව අපගේ අදහස යි.

සමාජ පැවැත්ම සඳහා 'නිෂ්පාදන කාර්යය' අද දවසේ බෙහෙවින් වැදගත් වන නමුදු අර්ථපතියකු වේවා නිෂ්පාදකයකු වේවා ඉන් බලාපොරොත්තු වන මූල්‍යම ය ප්‍රතිලාභය කෙතරම් ද යන කරුණ මත එහි සමාජහිතකාමී බව විචලනය වේ. වැඩි වැඩියෙන් මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කිරීමෙන් මනුෂ්‍ය ආචාර ධර්ම බිඳ වැටෙයි, මනුෂ්‍යත්වය නොරැකෙයි, එහෙයින් එය සමාජයට අහිතකර නිෂ්පාදන කාර්යයක්‌ වෙයි.

ඉන් පැහැදිලි වන්නේ ලෝකයෙහි මනුෂ්‍යත්වය රැකීමට නම් මිනිසා විසින් මනුෂ්‍ය ආචාරධර්ම සුරැකිය යුතු බවයි. එලෙස මනුෂ්‍යත්වය රකින මනුෂ්‍ය ආචාරධර්ම යනු කවරේ ද? ඒ පිළිබඳව ද මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසින් කරනු ලබන විග්‍රහය අපි විමසමු.

ආචාර ධර්ම යනු තම හදවතට ම ගෙන හැසිරීම ය. එනම් ලෝකයේ යහපැවැත්මට හේතුවන කරුණු, ධර්මතා අනුව හැසිරීම ය. කිසියම් සමාජයක යහපත පවතින්නේ එකී යහපත් හැසිරීම් මත ය. ඒවා වඩ වඩාත් සමාජයට යහපත් වන්නේ ඒවා පොත-පතක ඇති හෙයින් හෝ අන් අයකු කී හෙයින් හෝ නිසා නොව තම හදවතට දැනෙන නිසා ඒ දෑහි පිහිටා ක්‍රියා කරනු ලබන විට ය.

ඉහත කී විග්‍රහය පදනම් කොටගෙන කරුණු විමසීමේ දී මෙම ලිපියට ප්‍රස්‌තුත වූ දේශනයෙන් උපුටා ගැනුණු ඇතැම් කරුණු සැලකීමේ දී මෙකී ආචාර ධර්ම සුරැකීමට ඒවා ඉවහල් වන්නේ ද යන ගැටලුව පැන නඟියි. එකී කරුණු පිළිබඳ ව අපි විමසා බලමු.

ගමක වෙසෙන වැඩිහිටි පිරිමියකුට සහ ගැහැනියකට අප සමාජයේ ආචාරධර්ම අනුව අමතනු ලබන්නේ මාමා සහ නැන්දා යනුවෙනි. එහෙත් දේශකයා උපදෙස්‌ ලබා දෙන්නේ භාණ්‌ඩයක්‌ විකිණීම සඳහා ම එකී ආමන්ත්‍රණය වෙනස්‌ කරන ලෙසට ය. එවිට සද්භාවයෙන් කෙරෙන ආමන්ත්‍රණයක්‌ නොවේ. ඉන් කෙරෙන්නේ මුළා කිරීමකි. එහි දී ඔහු විසින් උපදෙස්‌ දෙනු ලබන්නේ පහත පරිදි පාරිභෝගිකයාගේ පංෙච්න්ද්‍රියන් ගොදුරු කර ගනිමින් කෙරෙන ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කිරීමටය.

ගැමියාට සහ ගෙවිලියට, සර් සහ මැඩම් යනුවෙන් අමතනුයේ ඔවුන්ගේ කන් පිනවාලීමටය, නවක තරුණ වෙළෙඳ නියෝජිතයන් හොඳින් හැඳ පැළඳ යා යුත්තේත් භාණ්‌ඩයේ පෙනුම ආකර්ෂණීය ලෙස පෙන්විය යුත්තේත් ඔවුන්ගේ ඇස පිනවීමට ය. ඉන් පසු ව තම නිෂ්පාදනය ගැන කෙරෙන විවරණය කළ යුතු වන්නේ ඔවුන්ගේ දිව, නාසය, සම ආදියෙහි දැනීම් සන්තර්පණය කිරීමෙහි ලා එකී නිෂ්පාදිතය බොහෝ සමත් බව පෙන්වීමට ය.

සියල්ල අවසන භාණ්‌ඩය විකුණනු ලබන්නේ එකී නිෂ්පාදිතය අවශ්‍ය වුව ද නොවූ ව ද එය නොතකා හරිමින් එය මිල දී ගැනීමට, පාරිභෝගිකයාගේ මනසෙහි තෘෂ්ණාව, රැවටීම, මුළාව ආදී චෛතසික ඇති කරමිනි.

එලෙස යම් සමාජයක නිරන්තරයෙන් පංෙච්න්ද්‍රියන් පිනවීමේ අභිලාශයෙහි නතුවෙමින් තෘෂ්ණාව, රැවටීම, මුළාව සැම සිත්හි ඇති කරමින් කෙරෙන කවර ක්‍රියාවලියක හෝ ප්‍රතිඵලය එකී සමාජයේ ආචාර ධර්ම බිඳ වැටීමයි, මනුෂ්‍යත්වය අහිමි වූ සමාජයක්‌ බිහිවීමයි. එය එසේ වන්නේ මන්ද?

බුදුදහම මෙන් ම වෙනත් පෙරදිග දහම් හා චින්තාවන් පදනම් කොට ගත් සමාජයක, සුවිශේෂයෙන් වැඩිහිටි ගෞරවය යනු සාරධර්මයක්‌ වේ. ඒ අනුව බොරුව, මුළාව, රැවටීම බැහැර කෙරෙයි. බහුභාණ්‌ඩික වීම නුසුදුසු යෑයි ඉගැන් වේ. බුදුදහමට අනුව කවරකුගේ හෝ සිතෙහි තෘෂ්ණා මූලික සිතුවිලි ඇති කිරීම නොමනා වේ. එමතුදු නොව බුදුදහමට අනුව අප ලෝකයෙහි නිෂ්පාදන පරිහරණය කළ යුත්තේ අපගේ පංෙච්න්ද්‍රයන් සන්තර්පණය කොට ගැනීමට නොව ඒවා හැකි අවමයෙන් පරිහරණය කරමින් ලත් මිනිස්‌ ජීවිතය පවත්වාගෙන යමින් සසරින් එතෙර වීමේ ක්‍රියා පිළිවෙත පුරුදු පුහුණු කොට ගැනීමට ය. එහෙයින් ඉහත කී දේශනය මගින් උල්ලංඝනය කිරීමට උපදෙස්‌ දෙනු ලබන්නේ ඉහත කී බෞද්ධ ආචාරධර්ම සේ ම අනෙකුත් පෙරදිග දර්ශනයේ ආචාර ධර්ම පද්ධතිය යි.

එමෙන් ම මුළාවට, රැවටීමට පත් ව, අත්පත් කරගනු ලබන කවර නිෂ්පාදනයකින් හෝ වුව පෘථග්ජන පුද්ගලයකුට අවසන අත්වන්නේ දුකකි. කළකිරීමකි, තමන් රැවටීමට ලක්‌ වූවා යෑ යි හැඟීමෙන් ඇතිවන ද්වේෂයකි, කෝපයකි, වෛරයකි, මිනිසුන් පිළිබඳ ව අවිශ්වාසයකින් යුතු ව ක්‍රියා කිරීමකි. එය මිනිසුන් අතර මනුෂ්‍යත්වයේ රුව ගුණ හීන වීමට හේතුවකි.

එහෙයින් නිර්මාණකරණයේ නමින් වේවා, යම් නිෂ්පාදනකරණයක්‌ සමාජයට පැමිණවීමේ දී ඒ පිළිබඳ ව මුළා නොවූ සිතින් දැකීමේ, විමසීමේ, තීරණය කිරීමේ හැකියාව වඩා වර්ධනය කොට ගැනීමට සැමකකු ම උත්සුක වීම බොහෝ අගනේ ය. එමගින් සමාජගත වන නව ප්‍රවණතා, විධික්‍රම, පිළිවෙත් පිළිබඳ ව යම්කිසි සමාජයක පවතින ආචාරධර්මවලට අනුව තේරුම් ගැනීමට එම සමාජයකට හැකිවනු ඇත. එය එකී සමාජයෙහි දැනට පවතින ආචාරධර්ම පද්ධතියේ සුරැකීම උදෙසා වන පිටිවහලකි.

මනුෂ්‍ය ආචාරධර්ම සුරැකීම මගින් මනුෂ්‍යත්වය තවදුරටත් ගොඩනැගීම පදනම් කොටගත් නිෂ්පාදන ක්‍රියාවලියක්‌ ඇතිකරලීමේ මගක්‌ වේද යන්න විමසා බලා එය ක්‍රියාවට නැංවීමට මේ සඳහා ඇති විසඳුම බව පැහැදිලි ය. එය කළ හැක්‌කේ කෙසේ ද?

පෙරදිග වේවා බටහිර වේවා කවර හෝ දැනුම් පද්ධතියක්‌ පදනම් කොටගෙන කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලියක්‌ පවත්නා සමාජයේ ආචාරධර්මවලට අනුගත විය යුතු යෑයි ගැළපිය යුතු ය. සමාජයේ සෑම පුද්ගලයකුගේ ම ජීවිතයට, ජීවිතයේ යහ පැවැත්මට ගරුකරමින්, සැම අයකුගේ ම සතුට, තම සතුට සේම වැදගත් වේ යන පරමාර්ථය පෙරටු කොට ගනිමින් කරන එවන් නිෂ්පාදන කාර්යයන් මගින් සමාජයේ මනුෂ්‍යත්වය සුරැකෙනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.