පාලි සිංහලට පරිවර්තනයේදී
නිවැරැදි පෙළ විකෘති නොකරමු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්‌ඩිත,
ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

බුද්ධ ධර්මය ගැඹුරු වූ සියුම් වූ අර්ථ ඇති ධර්මයකි. ඒ සියුම් අර්ථ ඉතා සූක්‌ෂම ලෙස වටහා ගත යුතු ය. එමෙන් ම අනුන්ට වටහා දිය යුතු ය. ථෙරවාදීන් ලෙස අද අපි බුද්ධ ධර්මය කියවන්නේ පාලි භාෂාවෙනි. "සක නිරුක්‌තියෙන්" හෙවත් සිය බසින් ධර්මය ඉගෙන ගන්නට බුදුරජාණන් වහන්සේ අනුමැතිය දී ඇතත් ඒ පිළිබඳව ථෙරවාදී සම්ප්‍රදාය තුළ පැහැදිලි විවරණයක්‌ නැත. බුදුරජාණන් වහන්සේ එකල පැවැති පොදු ජන ව්‍යවහාරයකින් ස්‌වකීය ධර්මය දේශනා කළහ. එය අද අපි පාලි නමින් හඳුන්වමු. බුද්ධ ධර්මය අප වෙත සම්ප්‍රේෂණය වී ඇති ප්‍රධාන භාෂා මාධ්‍යය වන්නේ ද පාලි භාෂාව යි. බුද්ධ ධර්මය වඩා නිවැරදි ව වටහා ගැනීමට පාලි භාෂාව පිළිබඳ ද පරිසිඳු දැනීමක්‌ තිබීම අත්‍යවශ්‍යය වේ. පාලි භාෂාවෙන් ඇති සූත්‍ර අභිධර්ම දේශනා සිංහල හෝ වෙනත් භාෂාවකට හෝ පරිවර්තනය කළ කල්හි ද බුද්ධ ධර්මය වටහාගත හැකි වේ. එහෙත්, එවැනි පරිවර්තනවල විශ්වසනීයත්වය කෙරෙහි ඇප වීමට කාහට හැකි වේ ද යන්න ගැටලුවකි.

මෑත කාලයෙහි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් බොහෝ නිකාය ග්‍රන්ථ පාලි බසින් සරල සිංහලයට නගා ඇත. එම පරිවර්තන එක හුස්‌මට කියවා අවසන් කළ හැකි තරමට සරල ය. එහෙයින්, බොහෝ අව්‍යක්‌ත උපාසක උපාසිකාවෝ ඒවා වැඩි කැමැත්තෙන් කියවති. ඔවුනට එම ත්‍රිපිටක පරිවර්තනවල ඇති සාවද්‍යතා පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ නිසා මේ උත්සාහය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ත්‍රිපිටක පරිවර්තනවල ඇති සාවද්‍ය විකෘති පරිවර්තන කිහිපයක්‌ පැහැදිලි කිරීමට යි.

(අ) මඡ්Cධිම නිකායේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ එන "කිම්පනිමස්‌ස මත්තට්‌ඨකස්‌ස කායස්‌ස තණ්‌හූපාදින්නස්‌ස අහන්ති වා මමන්ති වා, අස්‌මීති වා" (ම.නි. ෂ, 450 පිට. බු.ජ.මු.) යන පාලි පාඨය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිංහලයට නඟා ඇත්තේ පහත පරිදිය.

ඉතිං... එහෙම එකේ මේ කයේ තියෙන ඩිංගිත්තක්‌ පඨවි ධාතුවට බැඳිලා හිට මම කියලා මගේ කියලා මම වෙමි කියලා ගන්ට පුළුවන් ද? (ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය, මජ්ධිම නිකාය, මුල් සූත්‍ර දේශනා පනහ, 359 පිට, 2003 වර්ෂය)

මෙම පරිවර්තනයේ ඌනතා සාකච්ඡා කිරීමට පෙර ඊට අදාළ සූත්‍රයේ මූලික හරය පිළිබඳ ව යමක්‌ කිව යුතු වේ. මෙම වාක්‍ය ඇතුළත් මහා හත්ථිපදෝපම සූත්‍රය සැරියුත් මහරහතන් වහන්සේ විසින් පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර මහා භූත පිළිබඳ ව කරන ලද විස්‌තරාත්මක ධර්ම විවරණයකි. එහි සෑම මහා භූතයක්‌ ම ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් බෙදා දක්‌වා ඇත. මෙම ධර්ම විවරණයෙහි එක්‌ තැනෙක බාහිර ආපෝ ධාතුව කිපෙන කාලයක්‌ ඇති වන බවත්, ඒ කාලයෙහි දී බාහිර පඨවි ධාතුව දක්‌නට නැති බවත් විස්‌තර වේ. මෙහි බාහිර පඨවි ධාතුව යනු මහපොළොවයි. ඒ මහපොළොවත් නැසෙන විනාශ වන බව පෙනේ නම් අධ්‍යාත්මික පඨවි ධාතු සංඛ්‍යාත ශරීරයේ තෘෂ්ණා මනා දෘෂ්ටි ග්‍රහණයන් පිළිබඳව අනතුරුව පරීක්‍ෂණ කෙරෙයි. ඉහත දැක්‌වූ පාඨය එම ප්‍රශ්න කිරීම පිළිබඳ පාඨය යි. එහි ඇති "මත්තට්‌ඨකස්‌ස" යන පාලි පදයේ අර්ථය සපුරා වෙනස්‌ කරමින් ඤාණානන්ද හිමියන් සිය පරිවර්තනය කර තිබේ. මෙම පදය යෙදී ඇත්තේ "කායස්‌ස" යන පදයට විශේෂණ වශයෙනි. එයින් හැඟැවෙන්නේ අධ්‍යාත්මික පඨවි ධාතු සංඛ්‍යාත ශරීරයයි. ඊට විශේෂණ ව යෙදී ඇති "මත්තට්‌ඨකස්‌ස" යන පදයේ අර්ථය "මඳ කලක්‌ පවතින" යනු යි. එම අර්ථය ලැබෙන්නේ "මත්ත + ට්‌ඨක" යන පද දෙකිනි. එහි දෙවැනි පදය "ස්‌ථක" යනුවෙන් සංස්‌කෘතයෙහි යෙදෙයි. පැවැතීම යන අර්ථය ඇති "ස්‌ථා" ධාතුවෙන් එම පදය නිපැයෙයි. ඒ අනුව "මත්තට්‌ඨකස්‌ස කායස්‌ස" යන පද දෙකේහි අර්ථය මඳ කලක්‌ පවතින කය යනු යි. මඡ්ජිම නිකාය අටුවාවේ ඉතා පැහැදිලි ව එම අර්ථය විවරණය කර තිබේ. "මත්තට්‌ඨකස්‌සාති පරිත්තට්‌ඨිතිකස්‌ස" (ම-ජිම නිකායට්‌ඨකථා ෂෂ, 187 පිට, හේවාවිතාරණ මුද්‍රණය) එහෙත්, කිරිබත්ගොඩ හිමියන් උක්‌ත පදයට දී ඇති අර්ථය "ඩිංගිත්තක්‌ පඨවි ධාතුව" යන්න යි. උන්වහන්සේ "මත්තට්‌ඨකස්‌ස" යන පාලි පදයේ "මත්ත" ශබ්දයෙන් හැඟෙන "ටික" යන අර්ථය ස්‌වකීය පරිවර්තනයේ දී යොදා ඇති බව යි. එයින් පැහැදිලි වන්නේ එහි ඉතිරි පද කොටස නො සලකා හැරීම නිසා සිදු වී ඇත්තේ අර්ථ හානියක්‌ ම පමණක්‌ නො වේ. කිරිබත්ගොඩ හිමියන්ගේ පරිවර්තනයෙන් කියෑවෙන්නේ පඨවි ධාතුව ප්‍රමාණයෙන් කුඩා බව යි. ඒ අනුව සූත්‍රගත අර්ථය වන්නේ අධ්‍යාත්මක පඨවි ධාතු සංඛ්‍යාත ශරීරය කුඩා වූවකි යන්නයි. එම අර්ථය සාවද්‍යය හා විකෘති වූවක්‌ වන්නේ, "මත්තට්‌ඨකස්‌ස" යන පදයෙන් කියෑවෙන්නේ පඨවි ධාතුවේ පැවැතීම් කාලය බැවිනි. එයින් පඨවි ධාතුවේ ප්‍රමාණය පිළිබඳ කිසිදු අදහසක්‌ ඉදිරිපත් නො වේ. එහෙයින්, ඤාණානන්ද හිමිගේ පරිවර්තනය බුද්ධ ධර්මයේ සියුම් විවරණයක්‌ විකෘති කිරීමකි.

(ආ) මජ්ධිම නිකායෙහි ම චූල්ලවේදල්ල සූත්‍රගත පහත දැක්‌වෙන පාලි පාඨය සපුරා විකෘති කොට ඤාණානන්ද හිමියන් පරිවර්තනය කොට තිබේ.

"ඉධාවුසො විසාඛ භික්‌ඛු ඉති පටිසංචික්‌ඛති. කුදස්‌සු නාමාහං තදායතනං උපසම්ප-ජ විහරිස්‌සාමි. යදරියා එතරහි ආයතනං උපසම්ප-ජ විහරන්ති. ඉති අනුත්තරෙසු විමොක්‌ඛෙසු පිහං උපට්‌ඨාපයතො උප්ප-ජති පිහ පච්චයා දොමනස්‌සංග පටිඝං තෙන පහජති. න තත්ථ පටිඝානුසයො අනුසෙති.ල (මජ්ධිම නිකාය ෂ 714 පිටුව)

මෙම උද්ධෘත පාඨයේ අවසාන කොටස අපගේ සාකච්ඡාවට අදාළ කර ගැනීම වටී. ඤාණානන්ද හිමියන් එම වාක්‌යධය පරිවර්තනය කර ඇත්තේ මෙසේ ය.

"මේ විදිහට අනුත්තර වූ විමුක්‌ති සැප ගැන නුවණින් විමසන කොට ඒ කෙරෙහි කැමැත්තක්‌ ඇති වෙනවා. ඒ හේතුවෙන් හිතේ දුකකුත් ඇති වෙනවා. හැබැයි විමුක්‌තිය ලබන අදහසේ ඉඳලා ම තමයි පටිඝය දුරු කරන්නේ... ඒ නිසා අමා නිවන ලබන්නට හිතන විට ඇතිවන දුක තුළ පටිඝානුසය ඇතිවන්නේ නෑ..." (ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය, මජ්ධිම නිකාය මුල් සූත්‍ර පනහ 542 පිට)

මෙම පරිවර්තනය විකෘති වූවක්‌ වන්නේ පරිවර්තකයාට පාලි පෙළ පිළිබඳ නිවැරදි වැටහීමක්‌ තිබී නො මැති හෙයිනි. පාලි පෙළෙහි "ඉති අනුත්තරෙසු විමොක්‌ඛෙසු පිහං උපට්‌ඨාපයතො උප්ප-ජති පිහ පච්චයා දොමනස්‌සං" යනු එක්‌ වාක්‍යයකි. එහෙත්, ඤාණානන්ද හිමියන් එහි වාක්‍ය දෙකක්‌ දැක ඇත. ඉන් පළමුවැන්න "ඉති අනුත්තරෙසු විමොක්‌ඛෙසු පිහං උපට්‌ඨාපයතො උප්ප-ජති" යනු යි. දෙවැන්න "පිහ පච්චයා දොමනස්‌සං" යනු යි. ඒ නිසා උන්වහන්සේගේ පරිවර්තනය වාක්‍ය දෙකකින් ඉදිරිපත් වෙයි. මෙසේ පෙළෙහි තනි වාක්‍යයක්‌ වන පාඨයෙන් වාක්‍ය දෙකක්‌ ගැනීමට ඤාණානන්ද හිමියන් පෙළැඹී ඇත්තේ මඡ්Cධිම නිකාය මුද්‍රිත පෙළෙහි එනම්, බුද්ධජයන්ති මුද්රටණයෙහි ඇති මුද්‍රණ දෝෂයකිනි. උක්‌ත මුද්‍රණයේ 714 පිටෙහි ඇතුළත් මෙම පාඨයෙහි "උප්පඡ්ජති" යන පදයෙන් පසු ව නැවැතීමේ ලකුණු වන තිත (.) යෙදී ඇත. එහෙත්, සත්‍යය ලෙස ම එහි නැවැත්මක්‌ නැත. එය ඔප්පු කළ හැකි සාධක දෙකක්‌ වේ. පළමුවැන්න අටුවාවේ ඒ පිළිබඳ ව එන විවරණය යි. දෙවැන්න බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය යි.

අටුවාව උක්‌ත පාඨය විවරණය කිරීමේ දී උප්පඡ්ජති යන ආඛ්‍යාත පදය සම්බන්ධ කර ඇත්තේ සම්පූර්ණ වාක්‍යයට ම ය. ඒ නිසා එම පදය එක්‌ වාක්‍යක්‌ අවසානය දක්‌වන පදයක්‌ නො වේ. මුළු වාක්‍යයේ ම අර්ථය පළ කරන ආඛ්‍යායත පදය මෙය යි. බුද්ධ ජයන්ති පරිවර්තනය ඉදිරිපත් කර ඇති පරිවර්තනය ඒ පිළිබඳ මනා වැටහීමකින් කරන ලද්දකි. (මඡ්Cධිම නිකාය ෂ බුද්ධ ජයන්ති පරිවර්තනය, 715 පිට බලන්න.)

බුද්ධ ජයන්ති පරිවර්තනයේ භාෂාව ව්‍යක්‌ත සිංහලය යි. එහි උපයුක්‌ත භාෂාවේ ව්‍යක්‌ත බව වටහා ගැනීමට තරම් භාෂා ශක්‍යයතාවක්‌, එනම් භාෂාව පිළිබඳ නිසි අවබෝධයක්‌ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට නො මැති වීම භාෂාවේ හෝ පරිවර්තනයේ දෝෂයක්‌ නො වේ.

ඤාණානන්ද හිමියන්ගේ පරිවර්තනය නිවැරදි පෙළ විකෘති කරන්නක්‌ වීම නිසා එම පරිවර්තනයේ භාෂාව කෙතරම් සුගම වූවත් කියවන්නා නො මඟ යවන්නකි. ඉහත වාක්‍යයේ නිවැරදි පරිවර්තනය මෙය යි. "මේ විදිහට විමුක්‌තිය තුළ කැමැත්ත ඇති කරගන්න කෙනාට ඒ කැමැත්ත නිසා දොම්නස ඇති වේ." යනු යි. ඤාණානන්ද හිමිගේ පරිවර්තනයෙන් එම අදහස සපුරා ඉවත් වී ඇත.

කිරිබත්ගොඩ හිමියන් "අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති" කෘතියේ "පරිවර්තකගෙන්...." යනුවෙන් ඉදිරිපත් කරන ලේඛනයේ 10 වැනි පිටුවේ පවසා ඇති පරිදි සද්ධර්මය සිංහලයට පරිවර්තනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක්‌ වී ඇත. උන්වහන්සේම පවසන වචන අනුව උන්වහන්සේ එය කෙතරම් වෙහෙසී කර ඇත්ද යන්න දැන ගැනීමට පාලි භාෂාව දන්නා අයෙකු ඒ පාලි දේශනාවන් සිංහල පරිවර්තන හා ගළපා බලමින් කියෑවිය යුතුවේ. (අපේ බුදු සමිඳු තාම වැඩවෙසෙති 10 පිට) එහෙත්, ඉහත කියෑවීමෙන් අපට නම් වැටහී ගියේ ඤාණානන්ද හිමියන් පාලි පෙළ සිංහලයට පරිවර්තනය කිරීමේ දී ප්‍රකට කරන නො දන්නා කමේ තරම ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.