මෙත් සිතක බලය

ජාතක පොතෙන් සෙයංස ජාතකය

සුගත් වීරසූරිය

කාලය අලසකමින් ගෙවී ගියේ පුදුම ලෙසය. බරණැස්‌ රාජ මාලිගය පාළු මූසල පරිසරයක ගිලී තිබුණේය. සරණ බන්ධනයට පත්වී බොහෝ කාලයක්‌ ගතවී තිබුණද බඹදත් නිරි¹ණන්ට තවමත් පුත් කුමාරයකු නොඉපදී තිබීම ඒ පාළු බවෙහිත්, මූසල ස්‌වභාවයෙහිත් තරම තව තව හැඩිදැඩි කළේය. එහෙත් මහ නිරි¹ණෝ එයින් දැඩි සිත් තැවුලකට පත් නොවූවෝය. ඒ වෙනුවට හෙතෙම ඉවසීම හා කරුණාවත්, උපේක්‍ෂාවත් ප්‍රගුණ කළේය. එබඳු වූ ගුණ පූරණ කල්පනාවන් තුළ ගැලී දවසින් වැඩි කොටසක්‌ ගත කළ රජු පින්වත් පුත් කුමරුවකු ප්‍රාර්ථනා කරන්නැයි ස්‌වකීය වූ අග්‍ර මහේෂිකාවනට කරුණාබරව පැවසුවේය.

අගමෙහෙසි තෙම පිනැති දරුවකු පතද්දී කාලය හෙමින් ගැලීය. මේ මොහොතේ බඹදත් මහ නිරිඳු සිටියේ මනරම් රාජ මන්දිරයෙහි සඳලුතලාවට පිවිසීය. මිනිස්‌ පුරයක්‌ පාලනය කිරීමෙන් ඉක්‌බිතිව මඳ වේලාවකට ගත මෙන්ම සිත ද වැළඳගත් මේ විවේක කාලය කෙතරම් නිස්‌කලංක වූත්, සුවදායී වූත් කාල වේලාවක්‌දැයි රජුට හොඳින්ම හැඟුණේය. දැනුණේය. නිල්මිණි තලාවක්‌ බඳු වූ අහස්‌ කුස සිපගත් සඳලුතලයේ සිට ඈත බැලූ රජුට මුලින්ම පෙනුණේ පුරවාසීන් විසින් අස්‌වද්දනු ලබා තිබූ කුඹුරු යායයි. දුර ඈත තෙක්‌ විහිද පැතිර තිබූ එහි කෙළවර කොතැනදැයි රජුට හරිහැටි වටහා ගැනීමට නොහැකි විය. සැඳෑ අඳුරු රෙද්ද ටිකෙන් ටික වෙල් එළියට වැටෙමින් තිබිණ. ඊට ඉහළ අහස නොයෙක්‌ පාට සායම් වැනි වර්ණයන්ගෙන් විචිත්‍රවත් වී පැවතිණි. ඒ අතරින් ඈත ක්‍ෂිතිජය අසල තිබුණ වළාකුල් රත්පැහැ බව රජුට සිතිණි. සන්ධ්‍යා සුන්දරත්වයෙන් වශීකෘතව බොහෝ වේලාවක්‌ සඳලුතලයේ කාලය ගත කළ බරණැස්‌ රජු සිරියහන් ගැබට වැදී එදින නින්දට ගියේය. කුරුලු කොබෙයියන්ගේ නාදයෙන් පසු දින අරුණාලෝකය දකින්නට දෙඇස ඇරී රජුට මෙදින හෝරා කිහිපයක්‌ ගෙවෙන්නටත් ප්‍රථම සිය මිතුරු අමාත්‍යයා මැදුරු බිමට එනු දැකගැන්මට ලැබුණේය. අමාත්‍යයාගේ පැමිණීමෙන් බඹදත් රජුගේ සිත මඳක්‌ සැහැල්ලු විය. ඔවුහු නොයෙක්‌ දේ පිළිබඳ කතා කළහ. ඒ කතා ඇසූ රජුට දැනුණේ මෙතෙක්‌ කාලයක්‌ හිතේ හිරවී පැවති දුක්‌මුසු සිතුම් කඳ සුවබර සිතැඟි සමුදුරක විසින් උකහා ගනු ලැබුවාක්‌ මෙන්ය. නිරිඳුතෙම තම හිතැති ඇමැතිවරයා කොතෙක්‌ නම් හිතෛශී විශ්වාසවන්තයකුදැයි කල්පනා කළේය. ඉදින් ප්‍රිය ඇමැතිතුමනි, ඔබ මේ ආගමන් සැරසෙන්නේ යන්නටද? අද දිවා කාලයම රජ මාලිගයෙහි රැඳී යනවා නම් මා කැමතියි. අමාත්‍යයා ඇමතූ බඹදත් රජතෙම අමාත්‍යයාට එම ඇරයුම කළේ සැබවින්ම ඔහු තුළ වූ රාජපාක්‍ෂිකභාවයට ගරු සරු දැක්‌වීමක්‌ වශයෙනි. එබැවින් ඇමැතිතෙම ද ඒ ඇරයුම සාදරයෙන් පිළිගත්තේය.

ළාහිරු සහිත අහසේ සුදොa සුදුවන් වළා කැටිති දහස්‌ ගණනක්‌ බැබළෙමින් තිබුණේය. අරුණෝදයේ සීතල තුනී කළ සහන් එළිය ගලා යන කාලය හා අත්වැල් බැඳ මඳින් මඳ දැඩි බවක්‌ ගත්තේය. අමාත්‍යයා රජුගෙන් සමුගෙන සඳලුතලයෙන් පහළට ගොස්‌ හෝරා ගණනාවක්‌ම ගෙවී ගියේය. මේ වන විටත් ගැඹුරු කල්පනාවක ගැලී සිටි රජුට අවට පරිසරයේ සිදුවන දේ ගැන කිසිදු හැඟුමක්‌ නොතිබුණේය. "පස්‌වාන් දහසකට බුදුවෙන්න, පින්වත් දේවයන් වහන්ස, ගැත්තාට සමා කළ මැනවි", හෝරා ගණනාවක පටන් කල්පනා සයුරු පතුලට වැටී සිටි බඹදත් රජු පියවි ලොවට පිවිසියේ හදිසියේම ආ මෙහෙකරුවකුගේ බැගෑපත් හඬිනි. මෙහෙකරුවාගේ මුවින් ගිලිහුණු වදන් ඇසූ බඹදත් මහරජතුමාගේ සිත මොහොතකට කැළඹිණි. එහෙත් ජීවිතය පුරාවෙහිදීම පුරාගෙන ආ සිල්වත්කම් ඉදිරියටවිත් රජුගේ අනාථ සිතට පිළිසරණයේ දැත් දිගු කළේය. එයින් රජතුමන්ගේ සිත සංහිඳින. සිතෙහි බලවත්ව නැගෙන්නට ආ කෝපාකාරී හැඟුම් ඈත දුරටම පලා ගියේය.

"හොඳයි, මෙහෙකරුව මා ඒ ගැන සොයා බලන්නම්, නුඹට දැන් යා හැකියි." රජු පිළිවදන් දුන්නේය. සඳලුතලයෙන් බැස ගිය මෙහෙකරුවා රජුට මොහොතකට පෙර සැලකර සිටියේ රජුගේ විශ්වසනීයතම වූ ඇමැතිවරයා රජ මැඳුරේ අන්තඃපුරයට රිංගාගෙන ඇති බවය. මේ ගැනම මෙනෙහි කළ නිරිඳු තෙම යළිදු අහස දෙස බැලුවේය. මැදියම් අහස අද වෙනදාට වඩා දීප්තමත්ය. ගිනියම් හිරුගේ එළියෙන් නැහැවුණු දුර ඈත කඳු අද්දර අමුතු අසංයත ස්‌වරයක ගිලී සිටියේය. දින කිහිපයකට පෙරදී මෙහෙකරුවා පැමිණ තමාට සැල කළ පුවතෙහි අබමල් රේණුවක තරම්වත් අසත්‍යයක්‌ ගැබ්වී නොමැති බව රජු හරිහැටියෙන්ම සොයාගත්තේය.

ඉන් ඉක්‌බිතිව ඔහුට අවශ්‍ය වූයේ සිය විශ්වාසය කඩ කළ අමාත්‍යයාට එරෙහිව වූ ඉදිරි පියවර ගැනීමටය. එම පියවර කඩිනමින්ම ගත් බඹදත් නිරිඳු තෙම අමාත්‍යයා රටින් නෙරපා පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කළේය. එය ඇසූ අමාත්‍යයාගේ ඇඟපත නැති වූවාක්‌ මෙනි දැනුණේ. රජු වෙත රැඳවූ දෙනෙතින් යුතුව ඔහු බිම බලා සිටියේ සිහි එළවාගත නොහැකියකු මෙනි. අන්තිමේදී ඔහුට කරන්නට දෙයක්‌ නොවීය. බරණැස්‌ නුවරින් නික්‌ම යන්නට පිටත් වූ ඔහුගේ සිත කෝපයෙන් හා ශෝකයෙන් වියරු වැටෙන්නා සේ ඔහුට දැනිණ. ඔහුගේ දෑස ගිනි පුළිඟු දෙකක්‌ සේ බැබලිණි. බරණැස්‌ නුවරට සිතින් ශාප කළ ඔහු රජුගෙන් කෙසේ හෝ පළි ගනිමියි අදිටන් කර ගත්තේය. බරණැස්‌ නුවරින් පිටත් වී පාළු තනි මංසලකින් ගමන් ගත් ඔහු එකවරකම නැවතුණේය. පිස්‌සකු මෙන් සිනහවූයේය. සිනහවට පෙරළුE උපාය ඊළඟට පලගෙන තිබිණ. බරණැස රජු ඉමහත් වූ දුර්වලයකු බවත්, එනිසාම ඔහුට පහසුවෙන් පහර දී බරණැස අල්ලාගත හැකි බවත් අවසන කොසොල් මහ රජු සමඟ මිත්‍ර වූ ඔහු කීවේය. පවිටු ඇමැතිවරයාගේ අසත්පුරුෂ කතාවට කන් දුන් කොසොල් රජු ඔහුගේ ඒ කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට මුලින්ම කුඩා බට පිරිසක්‌ බරණැස බලා පිටත්කර හැරියේය. එහි ගිය ඔවුහු කුඩා ගමකට පහර දුන්හ. සැණෙකින් අත්තටු ලබා ඉගිල ගිය ඒ පුවත බඹදත් රජුට ආරංචි විය. දැහැමි බඹදත් රජු මහා බට සේනාවක්‌ යවා ඔවුන් මාලිගයට ගෙන්වා ගත්තේය. සිය රාජ්‍යයෙහි වූ මේ කුඩා ගම්මානයට පහර දුන්නේ කුමක්‌ නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවේය. දිළිඳුකම ඉතාමත් උඩින් ඇති නිසාවෙනැයි ඔවුqහු කීහ. ඒ කතාවෙන් බඹදත් නිරිඳු සිත හටගත්තේ සැබෑම අනුකම්පාවකි. එහෙයින් හෙතෙම ඔවුනට අභය දන දුන්නා පමණක්‌ නොවේ. බොහෝ සම්පත් ද දී නිදහස්‌ කර හැරියේය. නිදහස ලද ඔවුහු පෙරළා කොසොල් රටට ගොස්‌ එපවත් සියල්ල කොසොල් රජුට කීහ.

"මේ නම් සැබෑම මෝඩයෙක්‌ තමා" කොක්‌හඬලා සිනාසුණු කොසොල් රජු තමාටම මුමුණා ගත්තේය. කොසොල් මහ රජුගේ සෝපහාසාත්මක සිනහවෙන් පසුව තවත් වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. මහත් වූ බට සෙනඟක්‌ පිරිවරාගෙන බරණැස්‌ පුරය ආක්‍රමණය කිරීමට ඔහු රජමැදුරු බිමෙන් දොට්‌ට බැස්‌සේය. බඹදත් රජුගේ යෝධයින්ට මේ බව ආරංචි වූයේ සැණිනි. ඔවුහු රජුට ඒ බව වහා පැවසූහ. යුද්ධයට යැමට අවසර ඉල්ලූහ.

'පින්වත් යෝධයිනි, අප කුමක්‌ පිණිස යුද්ධ කරන්නේද? යුද්ධ කිරීමෙන් වන්නේ මහත් වූ ජීවිත නිකරුණේ වැනසී යැම නොවේද?" නොයෙක්‌ වූ දැහැමි කාන්තාවන්ගෙන් යෝධයන් අස්‌වසද්දීම කොසොල් රජු හා බට සෙනඟ බරණැස්‌ රජ මාලිගයට වැදුණේ තම රාජ්‍යයට වඳින්නා සේය. එතෙකුදු වුවත් බඹදත් නිරිඳු තෙම සිටියේ කිසිම හැල හොල්මනක්‌ නැතිවය. මෙතෙක්‌ පැවති අව්ව අඩුවීම නිසා රජ මාලිගයෙන් එපිට කඳු අතරත් නිල්වන් කෙත් යායෙහිත් තිබුණේ ලොකු පාලු ගතියකි. යෝධයෝ ළතැවිල්ලෙන් යුතව බඹදත් නිරිඳු දෙස බලා සිටියෝය. හැම දෙයක්‌ම කිසියම් දුක්‌මුසුq පුවතක්‌ ඇසීමෙන් ළතවන්නවුන් වැනිය. කෝසල රජ පුරුෂයෝ වහා බඹදත් රජු සිය ග්‍රහණයට ගෙන එම මැඳුරෙහිම වූ අඳුරු සිර ගෙයක සිර කළෝය.

බරණැස්‌ රජතුමාගේ දහමෙන් බර වූ සිත තුළ කිසිදු කෝපයක්‌ හෝ හටනොගත්තේය. කෝපයෙන් හා ශෝකයෙන් තැවෙනු දැවෙනු වෙනුවට ගත යුතු අන්මඟක්‌ ගැන රජතුමා සිතන්නට පටන් ගත්තේය. සියලු සතුන් වෙත මෙත්සිත පැතිරවීමට රජු තීරණය කළේය. අඳුරු සිරකුටිය එහිලා ඔහුට බාධාවක්‌ නොවීය. ඔහු සිරකුටියේම හිඳ බවුන් වඩන්නට පටන් ගත්තේය. තවත් සුළු මොහොතකින් රජු ධ්‍යානයට ද සමවැදිණ. එය කොතරම් බලවත් වීද යත් සතුරු සේනා සමඟ බරණැසට කඩාවැදුණු කොසොල් රජුගේ මුළු ඇඟපතම දන්නට පටන් ගත්තේය. ඒ දාහය ඉවසිය නොහැකි වූ හේ ඊට හේතු විමසා කෑමොර දෙන්නට පටන් ගත්තේය.

"රජතුමනි, අපට කරන්නට කිසිවක්‌ නැහැ. මෛත්‍රී සිතින් කල් ගෙවූ බඹදත් රජුගේ රාජ්‍යය පැහැර ගැනීමේ විපාකයයි ඔය" රටවාසීහු කීහ. එයින් මහත් වූ සිත් තැවුලට පත් වූ කොසොල් මහ රජු අල්ලාගත් රාජ්‍යය ආපසු බඹදත් රජුට භාර දුන්නේය. ඔහු සිරමැදිරියෙන් ද නිදහස්‌ කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.