දරුදුක සිඳ නිවන් සුව ලැබූ රජ බිසව

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි

එදා ජම්බුද්වීපයෙහි මධ්‍ය දේශයට අයත්ව තිබූ කෝසල අධිරාජ්‍යයේ අධිපතිත්වය දරන්නා වූ කෝසල නම් වූ භූපති තෙම ස්‌වකීය පාලනයට යටත් ප්‍රදේශවාසී ජනී ජනයාගේ තොරතුරු වග විභාග කරමින් නිරතුරු සාරධර්මයෙන් රාජ්‍ය විචාරමින් කල් හළහ. එකල උදාවූ එක්‌තරා සන්ධ්‍යා සමයක්‌හි එම භූපති හු අන්‍ය වූ පුරුෂයකු පරිද්දෙන් සත්සිතවැ රට තුළ තතු විමසන අබිලස්‌ පෙරදැරිව ශ්වේත වර්ණ අශ්වයා පිට නැඟි චන්ද්‍ර භාගා නමින් හඳුන්වන්නා වූ නදියෙක ඊට සමාන්තරව දිවෙන මහවේ (මහ පාර) දිගේ සිසිල් මදනල නඟමින් අසිරිය වින්දනය කරමින් එකලාව ගමනේ යෙදුණෝය.

කෙමෙන් ඉදිරියට ගොසින් පසල් දනවුවකට ප්‍රවේශ වන්නා වූ කුඩාවේ (අතු පාරක්‌) දෙසට අසු හැරවුම් සංකළේ ය. මහ රඡ්හු එබන්දක්‌ කළේ කවරක්‌ නිසාදයත් මාළිගාවට යැමට කෙටි මඟක්‌ ලෙසට එය සටහන් වී තිබූ හෙයිනි. සූර්ය මණ්‌ඩලය තවමත් මද රක්‌ත වර්ණයෙන් ඡ්වලිත වන්නේ තවත් අඩ හෝරාවක්‌ ගතවන තැනේ දී මහා සමුද්‍ර ජල නිධියට එකතු වන්නේය. කුඩා වේ මහජනයාගෙන් සිස්‌ වෙද්දී ඒ අතර කෙනෙක්‌ දෙන්නෙක්‌ පමණක්‌ යන එන බව අධිරාජයාගේ ඇසට දුර්වල කළුවර මැදින් පෙනී ගියේය. මිලාන වූ රන්වන් හිරුඑළිය මුළු වටපිටාව වසා ගනිද්දී චන්ද්‍ර භාගා ගං තෙරින් පුරවාගත් පැන් කළසක්‌ ඉන තබාගෙන පාරට මතුවන්නා වූ පවනඹල රන්ලියක්‌ පරදනා තුනු සිරින් සොළොස්‌ හැවිරිදි තරම් වූ එක්‌තරා මාගමක්‌ වෙත ඇස ගැටී රජු සිත මදකට කම්පන ප්‍රකම්පන වැ ගියේය. නිමේෂයක්‌ පාෂාණ භූතව (ගල් ගැසී) සිටි මිහිපල් තෙම මෙම පෙදෙස සිත්හි රඳවාගෙන වහ වහා අසු මෙහෙයවමින් මාළිගාවට සේන්දු විය. තමාට දර්ශනය වූයේ අධිරාජයකු වනැයි මොහොතකට නොසිතු මාගම් තුමූ නාගරිකයකු යෑයි සිතා තැතිගත් මුත් කෝමල ගමනින් ස්‌වකීය නිවෙස වෙත ගියාහුය.

නිශා යාමය උදාවත්ම එදින සිරියහන් ගබඩා යහන්ගත වුවද නින්ද නම් රජු සමීපයට නොළංවිය. නමුත් එදින සන්ධ්‍යාවෙහි තම නෙත් සිත් ඇද බැඳගත් කනක ලතාවක්‌ බඳු උතුම් රූ හොබවන්නා වූ කාන්තා තොමෝ නිරතුරු සිතට ඇසට පිවිසෙන්නාහුය. තවදුරටත් සිරි යහන කඨෝර වූ තැන මිහිපල්හු, "දේවියනි. රාජ්‍ය ගැටලු කීපයක්‌ මගේ සිත් අභ්‍යන්තරයට වැදගෙන මහත් වූ පීඩා පහළ කරන්නේ ය. එබැවින් එය විසඳනු වස්‌ හුදකලාව සිටින්නට ප්‍රිය එලවමි" යි දේවියට පවසා යවන්හි තනිවූහ. ඉනික්‌බිති ආනන්ද කරවූ සැඳෑ සමයෙහි සිත ඇලී ගියා වූ මාගම ගැනම සිතමින් රැයට පහන් වන්නට ඉඩ හැරියේය. අරුණෝදය ගහකොළ ස්‌පර්ශ කරත්ම අධිරාජයා ප්‍රථම කොට කළේ තමාට ඉතාම හිත පක්‍ෂපාතී අමාත්‍යවරයකු අමතා ඉකුත් දින සන්ධ්‍යාවෙන් දිව්‍යප්සරාවක හා සදෘෂ්‍ය වැ මනා අŒගප්‍රත්‍යංගයන් පිහිටියා වූ මාගමක්‌ තමා දුටු බවත් ඇය පිළිබඳව වග විභාග කොට ඇය අස්‌වාමිකද සස්‌වාමිකද යන්න තවදුරටත් තත්වූ පරිදි හැඳින අස්‌වාමික වන්නී නම් රජුන්ගේ පරිවාර ස්‌ත්‍රියක පරිද්දෙන් සේවය කැඳවා වුත් රාජ්‍ය මාළිගා පරිශ්‍රයෙහි පිහිටුවන ලෙසට විධාන දුන්හ.

කෝසල අධිරාජයාගේ අන්ත(පුරය මන බන්ධනීය අති අභිරූපිකාවන් පිරුවැරූ ප්‍රිය භාෂණ මිශ්‍ර සමාගම ඇති තැනක්‌මය. ස්‌වර්ණ ලතාවන් පෙළක්‌ පරිද්දෙන් ඔවුනොවුන් පරදවන අභිරමනීය රූප සම්පත්තියෙන් පරිපූර්ණ මියෑලුසියන් අතරට රජ අනින් අමාත්‍යවරයා කැඳවාගෙන ආ ඈ අන්‍යතර කතුන් මධ්‍යයේ මාණික්‍යයක්‌ පරිද්දෙන් බැබලුණාය. ඈ උබ්බරී නම් වූවාය. දහසක්‌ වටිනා සුසිනිඳු සළු පිළි හැඳ පොරවා විචිත්‍ර ආභරණවලින් විභූෂිතව අන්තඃපුරයට කළුවරත් කැටුව පැමිණෙන අධිරාජයා අභිනවයෙන් සපැමිණි කාන්තාවගේ සමාගම පතාගෙන සුවඳ විලවුන් ගල්වා මල් විසුල යහන්හි රාත්‍රියේ වැස පසුදා මාළිගාවට යන්නේය.

කල්යත් උබ්බරිය අධිරාජයා නිසා ගර්භනී වූවා දුවක වැදුවාය. ඒ බිළිඳියද ඉතාම ප්‍රසන්න වූයේ මවසේම ප්‍රිය එළවූවාය. දාරක ස්‌නේහ බන්ධනය මෙලොව දැඩිව බන්ධනය නිසා අධිරාජයා පුරාකෘත පුන්‍යකර්මයන්හි මහත් ඵල මතුවූ උබ්බරිය ඇතොවුර පමණක්‌ නොව රාජ මාළිගාවේ ද ප්‍රධාන බිසෝ තනතුරට අභිෂේක කොට බිළිඳිය රාජ කුමාරිකාවක්‌ වඩන අයුරින් සුව පහසු තනවා රාජ සම්පත්තීන් වළඳන්නට ඉඩ සැලසීය. ජීවන්තී නම් ලද එකුමරිය රජ ඉසුරු නොමඳව ලබමින් වැඩුණා ය. අධිරාජයාටත්, බිසවටත් වෙනත් සොම්නසක්‌ නැතුව මාළිගාව රසාඤ්ජන දෙව්ලොවක්‌ම වීය.

මෝරා වැඩෙන සෞම්‍ය චන්ද්‍ර මණ්‌ඩලය අන්ධකාර කාලවර්ණ ඝන වළා පŒක්‌තියකින් වැසීගිය පරිදි වැඩෙමින් සිටි බිළිඳු කුමරිය රෝගී වී, මරණින් මතු සුව නොලබා අසාධ්‍යවැ ගොස්‌ පරලෝකප්‍රාප්ත වූයේ මුළු රාජ මාළිගාවත්, රාජධානියත් සෝ සයුරේ ගිල්වමිනි. අචිරවතී නදී තීර්ථයේ ඉදිකළ දර සෑයේ රාජ කුමරිය දැවෙද්දී එබඳු ගිනි ජාලාවකින් මවගේ ද පියාගේද හදවත දරු දුකින් ඇවිළ ගියේය. දින දිනම ඉවැසුමක්‌ සැනසුමක්‌ ලෙහි හට නොගන්නා බැවින් උබ්බරි බිසව් තුමූ අනඤ්ජිත, අමණ්‌ඩිත, ප්‍රියමනාප නොවූ, සැරැසිලි නැතුවා සෙයියාවෙන් දියණිය දවාලූ ස්‌ථානයේ දිනපතා රැඳෙමින් දරු දුක කියා වළප්නීය. දැල්වෙන ප්‍රදීපයක්‌ චණ්‌ඩ මාරුතයකින් නිවී ගියා සේද, අතපත් මාණික්‍ය යළි ජල කඳටම වැටුණා සේද ජීවිතය හැරගිය ජීවන්ති කුමරිය වෙනුවෙන් මවුබිසවුන් දුක්‌වූ වාර බොහෝය. මෙබඳු ආකාරයෙන් දෛනිකව කටුක වත්හි ගැලී සිටි මවුබිසව වැඩිකල් නොගොස්‌ම කෘෂ වූ ශරීර ඇත්තී ඔබලත්ව පොළොව දෙසම බලා කඩාවැටෙන ලතාවක සිරි ඉසිලීය.

තවද මතු නොවෙයි. එක්‌තරා දිනෙක උබ්බරී බිසව අචිරවතී ගංගා තීර්ථයේ දී ළඳ බොළඳ කුමරිය දවාලූ සොහොන් බිම විසිරුණු කාල වර්ණ පාංශු හා කාල වර්ණ අංගාර කැබිලිති (අඟුරු කැළ) අතට ගෙන ශෝක කරන්නී සාන්ත වූ ආලෝක ධාරාවකින් තමා සිsටි ස්‌ථානය සුපහන් වෙද්දී ඇය දෙසට ඇස්‌ යොමු කළේ "මේ නම් කවර විශ්මයක්‌" දැයි සිතා ගත නොහැකිව ය. එවිට ශාන්ති නායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තමා දෙස බලා වැඩ සිටි අන්දම ඇසිල්ලෙකින් ඕ තොමෝ නෙත ගැටුණේය.

සකල සත්වයාට මෛත්‍රිය, කරුණාව, දයාව එක්‌බඳු පැනවූ ජනානන්ද කරවූ බුදු මහතාණෝ අනන්‍ය සාධාරණ වූ ශ්‍රී මුව කමල විදාරණය කැර කුරවීත ස්‌වරයෙන් "උබ්බරිය තොප කවර නිමිත්තක්‌ අරභයා මෙතෙක්‌ දවස්‌ සෝක, පරිදේව උපදවමින් ගංතෙර සිට කඳුළු වගුරන්නීද? ඒ කවරක්‌ නිමිති කරගෙනදැ" යි විචාළහ.

මහා කාරුණිකයාණන් වහන්ස, මාගේ ජීවිතය හා සමවූ ප්‍රාණ ප්‍රිය වූ මා වැදු මාගේ දූ කුමරිය මාගෙන් වියෝව මරණයට පත්වූවාය. ඒ දුක නම් අතිමහත්ය. මාගේ ළය පැලී නොයන්නේ මන්ද? එය නොඉවසූ මම් මියෙන තුරා හඬා වැළැපෙමි" යි ඇය පිළිවදන් දුන්නීය.

"උබ්බරීය, ඔබ අනුන් උදෙසා හඬන්නී ඊට පෙරාතුව තමා පිළිබඳව හොඳින් සලකා හිතා බලන්නත් මෙම අනවරත සංසාර ගමන තුළ වස්‌ කාලයෙහි අන්‍ය නාම ඇති කලුන් (කාන්තාවන්) හැර ජීවන්ති නාම ගෝත්‍ර ඇති තිගේම දියණිවරුන් සුවාසු දහසක්‌ මේ තැන්හිම සොහොන් කැර දමා හළු කළහ. මේ තොප හඬනු ලබන්නේ ඒ දවාලූ අයගෙන් තවර නම් ජීවන්ති අරභයාද?" බුදුපියාණන් වහන්සේ ඇයගෙන් ප්‍රශ්න කරන්නට යෙදුණු සේක.

එවදන් කනැ වැකුණු ඇයගේ අභ්‍යන්තරයෙහි ද ආලෝකය පහළ විය. එම සද්ධර්ම ආලෝක ධාරාව ලෙවී ලොව්තුරා සුවයට ළංවන ප්‍රථම ආලෝක ධාරාව වීය. උප්පාද, තිථි, භංග යන සංසාර ස්‌වභාවය (ඉපදීම, පැවැත්ම, විනාශවීම) ඇයට වැටහෙන්නට වූයේය. ද්වාතිංශය කුණප කොට්‌ඨාසයෙන් (තිස්‌ දෙකක්‌වූ ශරීර කුණප කොටස්‌) සමාධාන වූ ශරීර අර්ථ, ව්‍යඤ්ජනාය සාක්‍ෂාත් වන්නට විය. හෘදයස්‌ථ දුක්‌ඛ දෝමනස්‌ස, උපායාය, පරිදේව හදවතින් තුනී වන්නට පටන් ගැනුණි. "මේ ත්‍රිවිධ රත්නයේ පිහිට පතමි. එහි සරණ යමි" යි සිතින් සිතා නැගී සිටලා සන්සුන් ගමනින් මාළිගාව වෙත පියවර මැන්නාය.

උබ්බරී බිසව කෝසල අධිරාජයාගෙන් අවසර ගෙන තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලස්‌ථයට ගොස්‌ භික්‌ෂුණියක්‌ ලෙසින් ප්‍රවෘජා භූමියට පත්ව නිවන් මඟ පාදා ගන්නට බවුන් වඩා වෙර දන්නේ නොබෝ දිනකින්ම නිරපේක්‍ෂ වූ බුද්ධාභිලාෂයෙන් මුක්‌ත වූ අනෛර්යාණික වූ සුවය ලබන්නට කෘත පුණ්‍යානුභාවය මතුකර ගත්තීය.

ඒ කෘත පුණ්‍යානුභාවය කවරේද යනු පෙර බුදුන් දවස ද පුරන ලද මහත්වූ කුසල් ඇය සතුව තිබිණි. එහි මහිමයෙන් ඕ තුමූ හංසවතී යෑයි නමින්ද, නුවර කුල ගෙයක ඉපිද තුරුණු භාවයට පත්වූවා. මව, පියා නිවස නොරඳන දිනෙක ගෘහ ද්වාරමුඛ වැඩ සිටියා වූ ආර්යයන් වහන්සේ නමක්‌ ගෙතුළට කැඳවා වඩා හිඳුවා පිළිගැන්වූ දන් පැන් පින් බලයෙන් ආඪ්‍යව සිට මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපිද දෙව්ලොව සැප වින්දනය කර අවසනැ දඹදිව් හි උසස්‌ කුලයෙක මහානර්ඝ ලෙසින් කාන්තා රූප ලක්‍ෂණයට උරුමව උබ්බරී නම් ඇතුව උපත ලද බව දත යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.