නුඹ නෙළුමක්‌ වගේ වෙන්න

මනෝවිද්‍යා උපදේශිකා චාන්දිමා මූනමලේ ඈපා

සොබාදහම කියන්නෙ හරිම ආශ්චර්යක්‌. අප ලැබූ මේ ජීවිතය අයිති වෙන්නෙත් සොබාදහම් මාතාවටම තමයි. සොබාදහම අවබෝධ කරගන්න නුඹ සමත් වුණුදාට පුදුමාකාර සතුටක්‌ දැනෙයි නුඹටත්¾

බලන්න මේ පෙනෙන නෙළුම් මල දිහා¾ හරිම ලස්‌සනයි නේද? ඒ නෙළුම දිහා බලන් ඉද්දි මට පෙනුනෙ නුඹව¾ බලන්න ඒ පොහොට්‌ටුව මලක්‌ වෙලා පිපුණු හැටි....කොහොමද ඒ පෙති පිළිවෙළින් දිග ඇරුනේ? කවුද පොහොට්‌ටුවට කියා දුන්නෙ පිපෙන්න ඕනෑ විදිහ? පුංචි නෙළුම් කැකුළ දැනන් හිටියා මේ හැම දෙයක්‌ම. සොබාදහම් මාතාව ඒ හැම පාඩමක්‌ම නෙළුමට කියා දෙන්න ඇති. මව්පියන්ගෙ ශක්‌තියෙන් එදා අම්මාගේ කුසට නුඹ ආ මොහොතෙ ඇහැට පෙනෙන්නැති තිතක්‌ විදියටයි නුඹ හිටියා කියන්නෙ. ඒත් අම්මාගෙ කුසින් නුඹ මෙලොව එළිය දකිද්දි දහසක්‌ හැකියාවන් කැටි කර ගත්තු බිලිඳෙක්‌¾ මව් කුසක හිරවෙලා හිටිය නුඹ කොහොමද ඒ හැම දේම දැනගෙන උපන්නෙ? අඬන්න, කිරි උරන්න, හිනා වෙන්න, සුරතල් වෙන්න කවුද නුඹට ඉගැන්නුවේ? ශරීරයේ හැම ඉන්ද්‍රියක්‌ම ක්‍රියා කළේ කවුරු කියා දුන්නු නිසාද?

අම්මටවත් නොදැනෙන්න සොබාදහම් මාතාව නුඹ ළඟටත් එන්න ඇති. එදා ඒ තිතකටත් වඩා කුඩාවට මව් කුසට ආව නුඹ ළඟ මොනතරම් නම් ශක්‌තියක්‌ තියෙන්න ඇත්ද මේ හැම දෙයක්‌ම නිවැරදිව සිදුවෙන්න? ටිකකාලයක්‌ ගත වෙද්දි නුඹ තනිවම හිස ඔසවා ගත්තා, කොන්ද කෙළින් කර ගත්තා, අත පයින් විවිධ දේ කරන්න දැනන් හිටියා. මේ එක දෙයක්‌වත් කියා දුන්නෙ අම්මත් නෙමෙයි, තාත්තත් නෙමෙයි. එහෙම නම් මතක තියා ගන්න අදටත් ඒ හැකියාව නුඹ ළඟම තියෙනවා. වටපිටාවෙන් උදව් අරන් පොළොවෙ පය ගහලා ඉන්න මිනිසෙක්‌ වෙන්න නුඹට හයිය තියෙනවා.

නුඹව අයිති කාටද? මව්පියන් අතර අරගලයක්‌ නම් පුංචි නුඹව අයිති අම්මටද තාත්තටද කියලා උසාවියක්‌ අමාරුවෙන් තීරණය කරාවි. තරුණ නුඹව අයිති ඇයටමයි කියලා පෙම්වතිය හඬා වැටේවි. නැන්දම්මා සමඟ අමනාපයෙන් නුඹ අයිති තමන්ට බව බිරිඳ එකහෙළාම කියා සිටීවි. කාගෙවත් නෙමෙයි ''මම මගෙමයි'' කියලා එක පැත්තක්‌වත් ගන්න බැරිවෙන කොට නුඹ මහ හඬින් කියා සිටීවි. නුඹ බොහොම මහන්සියෙන් මෝස්‌තර දාලා හැඩ බලපු කොණ්‌ඩය එකින් එක ඉදෙනකොට, ව්‍යායාම කරලා දැඩි කැපකිරීමක්‌ කරලා සුවඳ වර්ග ආලේපන ගාලා හදාගත්තු ශරීරය දිරලා යනකොට, හරිම ආකර්ෂණීයයි කියලා එදා ඇය කියපු ඇස්‌ දෙකේ පෙනීම බොඳ වෙනකොට හරිම සුමුදුයි කියලා එදා කියපු සම රැලි වැටෙනකොට නුඹටවත් නුඹ අයිති නැති බව පසක්‌ වේවි¾

ආයෙත් බලන්න අර අපූරු නෙළුම දිහා¾ බලන්න ඒ පෙතිවල පවතින සියුමැලි බව. සොබාදහම ලබා දීලා තිබෙන වර්ණවල සුන්දරත්වය¾ මලින් හමන මිහිරි සුගන්ධය¾ කවුද මේ හැම දේම නිවැරදි ප්‍රමාණ වලින් ලබා දුන්නෙ? සොබාදහම් මාතාවගේ කිසිම භේදයක්‌ නෑ.... ඒ නෙළුමට දුන්නු සොබාදහම් ශක්‌තිය අපි හැමෝටමත් නොඅඩුවම දීලා තියෙනවා.

අපි හැමෝම ජීවය පවත්වාගෙන යන්නෙ මේ හමන සුළං පොදෙන්,

මේ ගලන වතුර පොදෙන්,

හිරු රැසින් ලබන උණුහුමෙන් ආලෝකයෙන් නේද?

නුඹත් මේ සොබාදහමටම අයිති තවත් අපූරු නිමැවුමක්‌ විතරයි.

සොබාදහමෙන් නිර්මාණය වුණු නුඹ යම් දවසක නැවතත් ඒ සොබාදහමටම තුරුළු වෙනවා.

ඒක නවත්වන්න අම්මාටත් බෑ, තාත්තාටත් බෑ, පෙම්වතියටත් බෑ, සැමියටත් බෑ, බිරිඳටත් බෑ, දරුවන්ටත් බෑ, ඇත්තටම නුඹටත් බෑ.

ඒ දවස තීරණය කරන්නෙත් සොබාදහම් මාතාවමයි. නක්‌ෂත්‍රකරු හෝ වෛද්‍යවරු පවසන්නෙ සොබාදහම නියම කළ දිනය ගැන හෝඩුවාවක්‌ පමණයි. එහෙමනම් හොඳට මතක තියාගන්න සොබාදහමට එකඟව ජීවත් වෙන්න ඊට එරෙහි වුණු තරමට අපව මිහිපිටින් ඉවත් කරන්න සොබාදහම තීරණය කරනවා. ආහාර පාන ජීවන රටාව සිතුම් පැතුම් සොබදහමට එකඟ වුණු තරමට සතුටින් නිරෝගීව ජීවිතයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. මොනතරම් දක්‍ෂ වුණත් අතිශයින් ධනවත් වුණත් මයිකල් ජැක්‌සන් වගේ සුපිරි තරුවක්‌ කෙටි ජීවිත කාලයක්‌ හිමි කරගත්තෙ සොබාදහමට විරුද්ධව රූපය පවත්වා ගන්න ගත්තු වෑයම නිසයි

ඒ සුමුදු නෙළුම් කැකුළ වගේම නුඹත් ඉපදෙනකොට නුඹේ හිතත් හරිම පවිත්‍රයි. හරිම ප්‍රභාෂ්වරයි. බය කියන්නෙ මොකද්ද, ලැ-ජාව කියන්නෙ මොකද්ද කියලා නුඹ දැනන් හිටියද? ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, පළිගන්න සොබාදහම් මාතාව නුඹට උගන්වලා තිබුණෙ නෑ. ශරීරය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම දේවල් කරගන්න නම් නුඹ හොඳට දැනන් හිටියා. නෙළුම් පොහොට්‌ටුව දන්නවා පොකුණු දියෙන් පෝෂණය ලබාගන්න, හිරු කිරණ සොයාගෙන ජලාශයෙන් උඩට ඇවිත් පිපෙන්න. මඩ ගොහොරුවකින් උඩට ආවත් එක කුණු බිඳක්‌වත් පෙතිවල ගෑවිලා නැති බව නුඹට පෙනෙනවා නේද?

ජීවිතයේ යම් සාර්ථකත්වයක්‌ ලබා ගත්තු කෙනෙක්‌ ඉන්නවානම් ඒ පුද්ගලයත් හරියට මේ මඩ ගොහොරුවෙන් උඩට ආයාසයෙන් ඇවිත් ජලාශයෙන් මතුපිටට පිපුණු නෙළුම වගේ. ඒ හැම කෙනාටම අතීත කතාවක්‌ තියෙනවා. දුක, වේදනාව, පසුතැවීම්, වැරදි පුරුදු, ඇබ්බැහිවීම් ඒ කතාව තුළ නැතුව නෙමෙයි. ඒත් ඒ සියල්ල මඩ ගොහොරුවෙම තියෙන්න ඇරලා ඒකෙන් ලබා ගත්තු අත්දැකීමෙන් පෝෂණය වුණු කෙනෙක්‌ විතරයි සැබෑවටම සාර්ථක වෙලා ලෝකයට වටිනාකමක්‌ එකතු කරන්නෙ.

ඒ අය නැවත නැවතත් ඒ මඩ ගොඩ කලතන්න කැමති නෑ. මඩ ටික පතුලෙ තැන්පත් වෙන තරමට ජලයත් පිරිසිදු වෙනවා, පැහැදිලි වෙනවා. බලන්න¾ ජලය පැහැදිලි නම් නෙළුමට තමන්වම දැක ගත හැකියි නේද? නුඹේ සිතත් තැන්පත් වුණොත් තමයි නුඹට නුඹේ සැබෑ ප්‍රතිබිම්බය දැක ගන්න පුළුවන් වෙන්නෙ.

නුඹ තාමත් දන්නෙ නැතත් ජීවිතය ගතවෙන කොට විවිධකාර අත්දැකීSම් එකතු වෙනවා. එයින් සමහර ඒවා සතුට සැනසීම නුඹට ගෙනවිත් දුන්නට තවත් සමහර ඒවායින් නුඹ හොඳටම කැළඹෙනවා. නුඹේ මුළු ලෝකයම කඩා වැටුණා කියලා හිතෙන අත්දැකීම් ජීවිතයට එකතු වෙනවා. ඒ වෙලාවටත් නුඹ නෙළුමක්‌ වගේ වෙන්න. අව්ව, වැස්‌ස, සුළං, කුණාටු කොයි තරම් ආවත් ඒ පීඩා දරාගන්න සවිය තියෙන නටුවක්‌ ඇති නෙළුමකට පුළුවන්. ජීවිතයට අඳුර එනවා, ආලෝකයම පවතින්න බැහැනේ¾ එහෙම වුණොත් ඒක සොබාදහමට විරුද්ධයි. ආලෝකයත් අඳුරත් එකම කාසියක දෙපැත්ත වගේ. එකක්‌ පසුපස අනික පවතිනවා. වෙන් කරන්න බැහැ. සත්‍යයට මුහුණ දෙන්න සිදු වෙනවා.

නුඹ හිතන්න එපා ඒ අඳුර හැමදාටම පවතිනවා කියලා. බොහෝ දෙනෙකුට වරදින තැන තමයි එතන. විසඳගන්න බැරි ගැටලුවක්‌, මරණයක්‌, අසනීපයක්‌, සිත් රිදවීමක්‌, වෙන්වීමක්‌ වුණොත් නැවත කවදාවත් තමන්ට ඒ ගැටලුවෙන් ගොඩ එන්න බෑ කියලයි ඒ අය හිතන්නෙ. ඒ තීරණය තියෙන්න තමන්ගෙ අතෙයි. මේ ලෝකය තුළ සිදුවෙන්නෙ නෑ කියලා කියන්න පුළුවන් දෙයක්‌ නෑ. සොබාදහම දැකපු කෙනෙකුට ඒ සත්‍යය පෙනෙනවා. සමහර නෙළුම් පොහොට්‌ටු මඩෙන් මතුපිටට එන්නෙ නෑ. සමහර කැකුළු ජල තලයෙන් උඩට එන්නෙ නෑ. තීරණය තියෙන්නෙ නුඹේ අතේ. ශක්‌තිය නුඹ ළඟ තියෙනවා. එදා මව් කුසේ තිතක්‌ වගේ හිටිය නුඹට තනියම වර්ධනය වෙලා, තනියම ලෝකයට ඉපදිලා බොහොමයක්‌ කටයුතු කරගන්න ඒ තරම් ශක්‌තියක්‌ තිබුණා නම්, අදටත් නුඹ ළඟ ඒ හැකියාව පවතිනවා. ඒත් පස්‌සෙ එකතු වුණු බය, ඊර්ෂ්‍යාව, කුහකකම, අසතුට, වේදනාව වගේ කුණු රොඩු නිසා ඒ ශක්‌තිය යටපත් වෙලා. සොබාදහම නුඹට දෙන දේ අඩු කරලා මලට වැඩියෙන් දීලා නෑ. ගහට, ගලට, මලට, සතුන්ට නොදීපු අතිශය වැදගත් දෙයක්‌ නුඹට ලැබිලා තියෙනවා. හැම දෙයක්‌ම හිතලා හරි වැරැද්ද තේරුම් කරගන්න හැකියාව ඇති හිතක්‌ අරන් තමයි නුඹ මෙලොවට ඇවිත් තියෙන්නෙ.

සාර්ථක වුණු පුද්ගලයෙක්‌ කියන්නෙ තමන්ගෙ ගැටලුවෙම පැටලිලා ඉන්නෙ නැතිව ඒ පඹ ගාල මඩේම තියෙන්න ඇරලා, කුණු රොඩු ගසා දාලා ජල තලයෙන් උඩට මතුවෙන්න උත්සාහවන්ත වුණු කෙනාටයි. ඒ පුද්ගලයා ළඟත් දුක නැතිව නෙමෙයි. කෝපය නොතිබුණා නෙමෙයි. බය, ඊර්ෂ්‍යා හැඟීම්, අසතුට වේදනාව නැත්තටම නැති කරලා නෙමෙයි. ඒ මඩ ගොඩ නැවත නැවත හාර හාර මඩ කළඹන්නෙ නැතිව තැන්පත් වෙන්න ඉඩ දීලා. හිතත් එක්‌ක, සොබාදහමත් එක්‌ක, දෙවියන් එක්‌ක ගැටෙන්නෙ නැති එකයි වෙනස. ප්‍රශ්නයකින් තදින්ම පීඩාවට පත්වෙන අය සොබාදහමට දොස්‌ කියනවා. තමන් අදහන දෙවිවරු එක්‌කත් තරහා වෙනවා. ඉතින් ඒ අයට ජල තලයෙන් ඉහළ තියෙන සුන්දර ලෝකය පෙනෙන්නෙ නෑ. හැමදාම දකින්නෙ මඩ ගොඩ විතරයි. හැමදාම දැනෙන්නෙ මඩ ගඳ විතරයි.

දකින්න ජල තලයෙන් මෙහා පවතින ලෝකය¾ විඳින්න ඒ සුන්දරත්වය¾ හිරුකිරණ වැටුණාම මොන තරම් අපූරුද? මද පවන හමනකොට කොයි තරම් සැහැල්ලුද? ඒ සොඳුරු බව දකින්න නම් ජල පෘෂ්ඨයෙන් මතුපිටට එන්නම ඕනැ.

උත්සාහ කරන්න ලෝකයේ ජීවත් වෙන්න, ලෝකයත් එක්‌ක ඇලෙන්නෙ නැතිව, ලෝකයත් එක්‌ක ගැටෙන්නෙ නැතිව. නෙළුම් කොළේ උඩ රැඳුනු පිනි බින්දුව වගේ ඉන්න.

නුඹ නෙළුමක්‌ වගේ වෙද්දි ලෝකයට වටිනා අයෙක්‌ වේවි. සුසිනිඳු මෘදු මල් පෙති වගේ නුඹ ළඟ තිබුණු සංවේදී බව රැකගන්නට පුළුවන් වේවි. ඒත් ඒ සිනිඳු පෙති අව් වැසි කුණාටු වලට කලබල නොවී ඉන්න තරම් ශක්‌තිමත් නේද? නුඹේ මිහිරි සුවඳ වටපිටාව සුගන්ධවත් කරාවි. නුඹේ වර්ණවත් බවින් ලෝකයා ප්‍රබෝධමත් වේවි. නෙළුමක්‌ හැමදාම තියෙන්නෙත් නැහැනේ. පෙති පරවෙනවා, පෙති හැකිලෙනවා, මල් සුවඳ වා තලයටම එකතු වෙනවා. ජීවත්වෙන කෙටි කාලය නුඹ සතුටින් ඉන්න ඉගෙන ගනීවි. ජීවිතයේ අස්‌ථිර බව තණ අග රැඳි පිණි බිඳුවක්‌ වගෙයි කියනවානේ. නෙළුම් කොළේ උඩ රැඳුනු පිනි බින්දුව මතක්‌ කරන් වැඩිය ඇලෙන්නෙත් නැතිව වැඩිය ගැටෙන්නෙත් නැතිව සොබාදහම අවබෝධ කරගත්තොත් නුඹේ සිතේ ශක්‌තියට නිමක්‌ ඉමක්‌ නැති බව නුඹ අවබෝධ කර ගනීවි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.