පිරිනිවන් පෑ බුදුරදුන් හා ජීවමාන බුදුරදුන්

සනත් ලියනගේ

සූත්‍ර පිටකයේ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි සඳහන් වන හැටියට බුදුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදී පිරිනිවන් පෑ සේක. ඊට දවස්‌ කිහිපයකට පසු මහා කාශ්‍යප ස්‌ථවිරයන් වහන්සේ භික්‌ෂු පිරිසක්‌ සමඟ පාවා නම් නගරයෙහි සිට කුසිනාරා නුවරට යමින් සිටියහ. කුසිනාරාවේ සිට පාවා නුවරට එමින් සිටි එක්‌තරා ආජීවකයෙක්‌ අතරමඟදී උන්වහන්සේට හමු විය. ඔබ අපගේ ශාස්‌තෲන් වහන්සේ හඳුනන්නේහිදැයි උන්වහන්සේ ආජීවකයාගෙන් විමසූහ. 'එසේය, මම දනිමි. ඒ ශ්‍රමණභවත් ගෞතමයෝ අදට සත් දිනකට පෙර කුසිනාරාවෙහිදී පිරිනිවන් පෑහ. මගේ අතේ තිබෙන මේ මදාරාමල ගන්නා ලද්දේ එතැනින් යෑයි ආජීවකයා පිළිතුරු දුන්නේය.

මෙම පුවත ඇසූ භික්‌ෂු පිරිස අතරෙහි වූ රහතන් වහන්සේලා අනිත්‍ය ධර්මය සලකමින් තුෂ්නිම්භූත වූහ. සෙසු භික්‌ෂූහු හඬා වැළපෙන්නට වූහ. එහෙත් එම පිරිසෙහි සිටි වයස්‌ගතව පැවිදිවුණු සුභද්‍ර නම් භික්‌ෂු තෙම සෙසු භික්‌ෂූන් අමතමින් "ඇවැන්ති, ශෝක නොකරව්, නොහඬව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි දැන් මැනවින් මිදුණෝ වම්හ. මෙය තොපට සුදුසුය. මෙය තොපට නුසුදුසු යෑයි ඔහු අපට හිරිහැර කළේය. දැන් අපට කැමති දේ කරමු. අකමැති දේ නොකරමු" යෑයි කීවේය.

සුභද්‍ර භික්‌ෂූවගේ එම කියමන අනාගතයේදී බහුල ලෙස සිදු වන කනගාටුදායක තත්ත්වයක පෙරනිමිත්තක්‌ වැන්න. අද ලෝකයේ නොයෙක්‌ රටවල සිටින ගිහි පැවිදි බෞද්ධයන්ගෙන් කී දෙනෙක්‌ වචනයෙන් ප්‍රකාශ නොකරතත් සිතින් මෙලෙසට නොසිතත් ද?

බුදුන් වහන්සේ අද ජීවමානව සිටි සේක්‌ නම් උන්වහන්සේගේ නාමයෙන් කෙරෙන අශෝභන, අර්ථවිරහිත, ෙ€දජනක සහ හාස්‍යජනක වැඩවලට උන්වහන්සේ ඉඩදෙයිද? අනික්‌ රටවල කෙරෙන එවැනි දේවල් පසෙක තබා මෙරට ගැන පමණක්‌ ටිකකට සිත යොමු කරමු. පළමුවෙන්ම අපේ පැවිදි පක්‌ෂය ගැන බලමු.

බුදුන් වහන්සේ ජාතිවාදයත්, කුලවාදයත් සම්පූර්ණයෙන්ම බැහැර කළ ශාස්‌තෘවරයෙකි. එහෙත් අද මෙරට සිටින භික්‌ෂූන් වහන්සේලාගෙන් කී දෙනෙක්‌ ජාතිවාදීහු නොවෙත්ද? කී දෙනෙක්‌ කුලවාදීහු නොවෙත්ද? ජාතිවාදය ආරක්‌ෂා කරන්නට ප්‍රසිද්ධියේ දේශනා කරන, නායක තනතුරු පවා දරන, භික්‌ෂූන් කී දෙනෙක්‌ අද අප අතර නොසිටිත්ද? බුදුන් අද ජීවමානව නොසිටීම ඒ අයට කොතරම් සැනසිල්ලක්‌ නොවන්නේද?

කිසිත් ලඡ්ජාවක්‌ නැතිව ප්‍රසිද්ධියේම කුලවාදය තම පිරිසට අනිවාර්ය කරගෙන සිටින බෞද්ධ භික්‌ෂු නිකායක්‌ මෙරට තිබෙනවා නොවේද? බුද්ධ ශාසනයට වඩා රාජශාසනය ඒ අය ගරු කරනවා නොවේද? දේවානම්පියතිස්‌ස රජුගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දවස දක්‌වා අවුරුදු දෙදහසකට අධික කාලයක්‌ තුළ දී වරින්වර ඇතිවූ රජවරුන් විසින් භික්‌ෂූන් සඳහා පනවා ඇති සියලුම ආඥවන් මතක නැති කර දමා එක්‌ රජකු විසින් කුලය ගැන පනවන ලද ආඥව පමණක්‌ ගරු කිරීමේ රහස තමන්ට කුලය ආරක්‌ෂා කර ගන්නට ඇති ඕනෑකම නොවේද?

ප්‍රසිද්ධියේ කුලය නොතකන භික්‌ෂු නිකායවල්ද මෙරට ඇත. ඒ අයම එක එක කුලයට වෙන වෙනම පන්සල් සාදා ගෙන ඇත. කුලවාදය ආරක්‌ෂා කර ගන්නට මේ වංචනික උපක්‍රමය යොදා ගෙන තිබෙනවා නොවේද?

මේ ආදී නොයෙක්‌ අයුරින් ජාතිවාදයෙහි සහ කුලවාදයෙහි නියෑළිව සිටින භික්‌ෂුන්ට බුදුන් වහන්සේ අද ජීවමානව නොසිටීම කොතරම් සැනසීමක්‌ නොවන්නේද? ඒ අයට ජීවවමාන බුදුන්ට වඩා පිරිනිවන් පෑ බුදුන් හොඳ බව නිසැකය.

උපසම්පන්න භික්‌ෂුව භික්‌ෂූත්වයෙන් සදහටම බැහැර කෙරෙන වරද සතරක්‌ බුදුන් වහන්සේ විසින් දක්‌වා ඇති බැව් විනය පිටකයෙහි තිබේ. ඒවාට පාරාජිකා යෑයි කියති. පාරාජිකා වුණු භික්‌ෂුවක්‌ තව දුරටත් සිවුරෙහිම සිටියහොත් ඔහු එසේ සිටින්නේ තමාට අයිති නැති නිල ඇඳුමක්‌ ඇඳගෙන සිටින හොරකු වශයෙන්ය. ඊට පසු හේ ගිහියන් විසින් දෙනු ලබන සිවුපසය ලැබීමට කිසිසේත් සුදුස්‌සෙක්‌ නොවන්නේය.

වටිනාකමින් එක්‌තරා ප්‍රමාණයකට වැඩි අලාභයක්‌ කෙනෙකුට කිරීම ඉහත සඳහන් වරද සතරෙන් එකකි. අද වටිනාකම් අනුව එය සුළු ප්‍රමාණයකි. මෙම වරද කර ඇති වර්තමාන භික්‌ෂූන්ගේ සංඛ්‍යාව අල්ප යෑයි කිසිසේත් සිතිය නොහැකිය. අනුන්ට ලොකු පාඩු සිදු කර ඇති ඇතැම් භික්‌ෂූන් ගැන මම පුද්ගලිකව දනිමි. විනය පිටකය ඇත්ත නම් බුදුන් වහන්සේ විසින් පනවන ලද විනය නීති අනුව ඒ භික්‌ෂුහු පාරාජිකාවූ අය වෙති. එහෙත් ඔවුහු අදත් සිවුරු දරමින් ගිහියන්ගෙන් වන්දන මානන පුද පූජා පිළිගනිති. එසේ වූ අය අද බුදුන් වහන්සේ ජීවමානව සිටිත් නම් ඒ ගැන කෙසේ සතුටු වන්න ද? ඒ අයටත් අද තැනක්‌ ලැබී තිබෙන්නේ අද බුදුන් වහන්සේ ජීවතුන් අතර නැති නිසාම නොවේද? වරද කළ භික්‌ෂු පිරිසකට බුදුන් වහන්සේ දෙසුමක්‌ කළ අවස්‌ථාවකදී ඒ පිරිස අතුරෙන් සැට දෙනෙකුට ලේ වමනය ගිය බැව් සඳහන් වී ඇත. බුදුන් වහන්සේ අද ජීවමානව සිට එවැනි දෙසුමක්‌ කළහොත් අපේ භික්‌ෂූන් වහන්සේලා කී දෙනෙකුට ලේ වමනය නොයයිද? එහෙයින් බුදුන්ගේ පිරිනිවන් පෑමම එවැනි භික්‌ෂූන්ට ඇති සැනසිල්ල නොවේද?

මෛථුන සේවනය උපසම්පන්න භික්‌ෂුවක්‌ පාරාජිකා කරවන තවත් කාරණයකි. අද මෙරට සිටින ඇතැම් භික්‌ෂූන්ට පවුල් සිටින බව මහජනයා අතර රහසක්‌ නොවේ. ජීවමාන බුදුන්ට වඩා පිරිනිවන් පෑ බුදුන් ඒ අයට කොතරම් හොඳ නොවේද?

බොහෝ බෞද්ධ ගිහියන්ගේ තත්ත්වයද මෙයට දෙවැනි නොවේ. බුදුන්වහන්සේ පිරිනිවන් පෑ බවද නැවත අප අතරට හදිසියේවත් නොපැමිණෙන බවද දන්නා නිසා ගිහි පැවිදි දෙපක්‌ෂයම එකතු වී කරන, එක අතකින් සංවේගජනක, එක අතකින් හාස්‍යජනක ක්‍රියා ද දක්‌නට ලැබෙන්නේ කලාතුරකින් නොවේ.

ළඟදී මාළු අල්ලන ආයතනයක පින්කමක්‌ විය. ආරාධිත සංඝයා වහන්සේලා එහි ගොස්‌ පාණාතිපාතා වේරමණී යනාදී වශයෙන් ඒ පිරිස පන්සිල් ගන්වා සෙත් පිරිත් දෙසා සුබ ප්‍රාර්ථනා කළහ. ඒ මාළු අල්ලන්නන් අතුරු අනතුරකට භාජනය නොවී වැඩි වැඩියෙන් මාළු අල්ලන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කළා වන්නට ඇත.

බුදුන් වහන්සේට මුනින්දා යෑයි ද කියති. මුනින්දා යන වචනයෙහි තේරුම නිශ්ශබ්දව සිටින, නිශ්ශබ්දතාව ප්‍රියකරන අයගේ ප්‍රධානියා ය යන්නයි. අද එසේ වූ මුනිඳුන් වට කරගෙන බෙර ගසමින්, නළා පිඹිමින් භක්‌ති ගීත යයි නම් කර ඇති සින්දු කියමින්, භක්‌ති නැටුම් නටමින් පුද පූජා පවත්වති. ජීවමාන බුදුන්ට මෙසේ කරන්නට ගියා නම් සිදුවන්නේ කුමක්‌ද? මේ නැටුම් ගැයුම්වලින් "පින්" සිද්ධ කරගන්නට හැකි වී තිබෙන්නේ බුදුන් පිරිනිවීම නිසාම නොවේද?

සින්දු කීමෙහි දක්‌ෂ සන්‍යාසිවරු ඉන්දියාවේ සිටිති. දැන් දැන් මෙරටද සින්දු කීමෙහි දක්‌ෂ භික්‌ෂු පරපුරක්‌ ඇති වේ ගෙනයයි. උන්වහන්සේලාගෙන් "බුද්ධාලම්බන" රස විඳින ගිහියෝද බහුලව සිටිති. එහෙත් ආර්ය විනයෙහි නැටුම සහ සින්දුව උමතු වැඩ යෑයි කී බුදුන් වහන්සේ ජීවමානව සිටියා නම්...

පිරිනිවන් පෑ බුදුන්ද වඩා හොඳ ජීවමාන බුදුන්දැයි අද මෙරට බෞද්ධ ජනතාවගෙන් රහස්‌ ඡන්දයක්‌ ගතහොත් එහි ප්‍රතිඵල කෙසේ වේදැයි සිතා ගැනීම එතරම්ම අපහසු නැත.

බුදුන් වහන්සේ අද ජීවමානව සිටි සේක්‌ නම් උන්වහන්සේගේ නාමයෙන් කෙරෙන් අශෝබන, අර්ථ විරහිත, ෙ€දජනක හා හාස්‍යජනක වැඩවලට උන්වහන්සේ ඉඩදෙන සේක්‌ද?

මෙම ලිපිය ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් මැතිතුමන් විසින් 1981 මැයි මස රසවාහිනී සඟරාවට ලියන ලද ලිපියකි. වසර 32 ක්‌ ගත වුවද එය අදටද මැනවින් ගැළපේ යෑයි සිතෙන බැවින් බුදුමග පුවත්පත වෙත සපයමි.

සනත් ලියනගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.