පොඩි හාමුදුරුවෝ පොඩි කෙනෙක්‌ ද?

සුසීමා දමයන්ති කුලතිලක

බුදුරජාණන් වහන්සේ සිය ජීවන කාලයෙන් වැඩි කාලයක්‌ ගත කළේ සැවැත් නුවරය. සැවැත් නුවර කෝසල ජනපදයේ අගනුවරයි. බුද්ධ කාලයේ කොසොල් දනව්වේ ප්‍රධාන පාලකයා වූයේ පසේනදි කොසොල් රජු ය. බුදුන් වහන්සේ කොසොල් දනව්වේ වැඩ සිටියත්, වෙනත් කුමන දනව්වක වැඩ සිටියත් ඒ බොහෝ තැන්හිදී වයසින් ළාබාලම ශාස්‌තෘවරයා වූයේ උන්වහන්සේය. මෙය ඇතැමුන්ට පැනයකට කරුණක්‌ විය. කොසොල් රජුට ද ඒ ප්‍රශ්නය ම ඇති විය. එතුමා බුදුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ උන්වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රජු සිය පැනය බුදුන් වහන්සේගෙන් විමසුවේය.

''භවත් ගෞතමයන් වහන්සේත් නිරුත්තර වූ සම්‍යක්‌ සම්බෝධිය අවබෝධ කළෙමි'යි කියා ප්‍රතිඥා කරන සේක්‌ ද?''

''මහරජ, මනාව කියන්නෙක්‌ නිරුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළේ'යෑයි යමෙකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ ඒ මා සඳහා කියන්නේය. මහරජ, මම නිරුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි.''

''භවත් ගෞතමයන් වහන්ස, මම පැවිදි සමූහයා සිටින, පැවිදි ගණයා සිටින, පිරිස්‌ වලට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, යස ගී ඇති, ලබ්ධිකර වූ, බොහෝ දෙනා විසින් හොඳ යෑයි සම්මත වූ පූරණකස්‌සප, මක්‌ඛලිගෝසාල, නිගණ්‌ඨනාතපුත්ත, සංජය බෙල්ලට්‌ඨපුත්ත, පකුධකච්චායන, අජිතකේසකම්බල යන මේ මහණ බමුණන්ගෙන් ද 'නිරුත්තර වූ සම්‍යක්‌ සම්බෝධිය අවබෝධ කළෙමියි කියා ප්‍රතිඥා කරන්නාහු ද?' යෑයි විමසුවෙමි. එහෙත් (එතරම් වූ) ඒ මහණ බමුණෝත් 'අපි නිරුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමු'යි කියා ප්‍රතිඥා නොදුන්හ. කිම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුත් ළදරු වන සේක (අඩු වයස්‌ වන සේක), පැවිද්දෙනුත් නවක වන සේක. (එසේත් වන කල ඔබ වහන්සේ මෙසේ ප්‍රතිඥා දෙන්නේ කෙසේ ද?)''

අනතුරු ව බුදුන් වහන්සේ ළදරු යෑයි (කුඩා යෑයි) කියා අවමන් නොකළ යුතු, පරිභව නොකළ යුතු සතර දෙනකු පෙන්වා දුන් සේක. එනම් ක්‍ෂත්‍රියා හෙවත් රජ කුමරුය, සර්පයා ය, ගිනිය, භික්‌ෂුව ය යන සිවු දෙනාය. මේ සිවු දෙනාට කුඩා යෑයි අවමන් නො කළ යුතුය, පරිභව නො කළ යුතුය.

රජ කුමරා තමන්ට අවමන් කළ තැනැත්තා රජය ලැබීමෙන් පසුව වධයට පමුණුවයි. නොයෙක්‌ වෙසින් හැසිරෙන සර්පයා තමන්ට අවමන් කළ ස්‌ත්‍රියට හෝ පුරුෂයාට දෂ්ට කරන්නේය. කුඩා ගින්න වුව විශාල වී දවන්නේය. කුඩා භික්‌ෂුවකට වුව අවමන් කිරීමෙන් අනිටු විපාක ලැබේ. එනම් ඒ තැනැත්තා පුත්‍රයන්, සිවුපාවුන්, දායාද හා ධනය නොලබයි. මෙසේ ඒ නුවණ නැත්තෝ කුඩා වූ භික්‌ෂුවකට වුව අවමන් කොට මුදුන් සුන් තල් ගස්‌ මෙන් පිරිහීමට පත් වෙති. තවත් වරෙක බුදුන් වහන්සේ මෙසේ ද වදාරා ඇත.

''යො හවෙ දහරො භිCඛු -යුඤ්ජති බුද්ධසාසනෙ

සොමං ලොකං පභාසෙති -අබ්භා මුත්තොව චන්දිමා''

(භිCඛුවග්ගය)

යම් ළදරු භික්‌ෂුවක්‌ බුදු සසුනෙහි යෙදෙයි ද, ඒ ළදරු භික්‌ෂුව වලා ගැබෙන් මිඳුණු සඳ සේ මේ මුළු ලොව බබළවයි.

කරුණු මෙසේ බැවින් පොඩි හාමුදුරුවරුන් ගැන කිව යුත්තේ වයසින් හා පැවිද්දෙන් උන්වහන්සේලා පොඩි වුවද කෙස්‌ පැසුණු මහ උගත්කම් ඇති ගිහි කාට වුව වඩා උසස්‌ බවය. බුදුන් වහන්සේ කොසොල් රජුට ඉගැන්වූ මේ පාඩම දන් පැන් පුදන්නට සහ බණ අසන්නට නාහිමිවරුන් හා මහ නාහිමිවරුන්ම සොයන කාට කාටත් හොඳ පාඩමකි. මේ බුදු සසුන වනාහි ශරීරයෙන් කුඩා වූ, එදිනම පැවිදි වූ සාමණේර හිමිවරු අතර වුව මහ රහතුන් වැඩ සිටි සසුනක්‌ බව මතක තබා ගනිමු. ලොකු තැනටම ආවඩමින්, මිටි තැනට රැවීම නිවටකමක්‌ මිස ප්‍රඥාවන්තකමක්‌ නම් නොවේ. සසුනේ අනාගත වගකීම දරන්නා වූ පොඩි හිමිවරුන් රැක ගැනීමට කවුරු කවුරුත් උත්සුක වීමට කාලය උදාවී ඇත.

(කෝසල සංයුත්තයෙහි දහර සූත්‍රය හා ධම්මපදය ඇසුරු කෙරිණි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.