යහ ඇසුරේ සුව සහනේ

සසර ජය ගැනුමට යහ ඇසුරේ බලපෑම පිළිබඳ විමසා බැලීමක්‌...
පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි

සුගත් වීරසූරිය

වසර දහස්‌ ගණනකට එහා දුර ඈත අතීතයේ වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දිනයක ඒ විජය ශ්‍රී මහා බෝධි වෘක්‌ෂයෙන් රත්පැහැති මල් ඇද හැලෙද්දී ගෞතමයන් වහන්සේගේ භාවනාව ඉමහත් සේ තියුණු වී නැගෙනහිර නිල් ආකාසයේ උදා තාරුකාවන් දිලිසෙන ඒ අතුරතුරදී අතිශය දීර්ඝතම වූ සංසාරික ගමන, උන්වහන්සේ සදාතනිකවම නිමාවට පත් කළ සේක. සදාකාලික සහන් සුව සදන දහම් අමාවෙන් සුවපත් කරගත් සිතින් විශ්වය නමැති මායාව විනාශ කර දමන්නට එහිදී උන්වහන්සේට හැකියාව ලැබිණි. ඒ වූ උත්තම තම සංසාර ජයග්‍රහණය වෙත අවතීර්ණ වන්නට එහිමි හට ඉඩ ලැබුණේ සසර මග තවදුරටත් රැඳෙන හමුවීම්වල උන්වහන්සේ නතර නොවූ නිසාය.

බෝධි වෘක්‌ෂය තුළදී උන්වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රබෝධය වෙනත් අතකට හරවනු පිණිස මාරයාගේ නොයෙක්‌ සේනාවෝ නොයෙක්‌ විදිහට උන්වහන්සේ හමුවෙන්නට ආහ. එහෙත් ඒ පවිටු දුර්ජනයන්ගේ හමුවීම් අතර නොවේ උන්වහන්සේ නතර වූයේ. දස දහසක්‌ සක්‌වල විශ්මයෙන් වෙව්ලා යද්දී උන්වහන්සේ උන්වහන්සේගේ ශාන්ත ප්‍රනීත මාවතෙහි දිගටම ගමන් කළහ.

මේ අනුසරින් අප අප ගැන සිතන්නට වුවමනාය. අනවරාග්‍ර (කෙළවක්‌ නැති) මේ සංසාර ජීවිතය තුළදී අපි කොතෙකුත් නම් වූ හමුවීම් අතර නතර වන්නෙම්ද? ඒ හැම හමුවීමක්‌ම අපේ පිළිකුල් සංසාරය දිගුකරන ඒවාය. සංසාරය දිගු කරන හමුවීම් නම් අමිහිරිය. ඈත කාලයේදී මෙන්ම මෑත කාලයේදී ද ගලා ගිය ගඟ දෙස ආපසු හැරී බැලුවහොත් මේ දුඃත හමුවීම්වල අප්‍රමාණය එක මොහොතකට ගමන් කරමු. බුදුන් නමැති ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේ හමුවී නිවන් දකින්නට ප්‍රථම නැතක්‌ (බොහෝ) අයගේ හමුවීම් දුකින් පිරී ඉතිරී තිබිණි.

පටාචාරාවගේ ජීවිතය මතකද? ඇයට මෙහෙකරුවා හමුවීමෙන් ඇය ඇතිකරගෙන පවත්වාගෙන ගිය කෙලෙස්‌ බන්දනය ඈ කෙතරම් සුවිසල් වූ දුක්‌ ආපත්තීන් රැසක්‌ වෙත කැඳවාගෙන යනු ලැබීද? අන්තිමේදී ඇයට ජීවිතයේ ඒකායන විමුක්‌ති සුවය ලබන්නට හැකිවූයේ ජීවිතයකදී ලබන්නට පුළුවන් එකමවූත්, අතිශය දුර්ලභවූත් සත්පුරුෂ හමුවීම නිසාය. ඒ හමුවීම නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබීමය. එකම දුක්‌ සමුදාවලියකින් විකෘතිවී ගිය අනාථ අසරණ ජීවිතයද සහිතව දුලභ ගුණ-නැණ ප්‍රවාහයකින් පිරුණු ඒ මුව මඬල දෙස ඇය බලා සිටියාය. එහිදී එනම් එම ස්‌වාසනාසහගත හමුවීමේදී ඇයගේ සිතෙහි වැඩුණේ භයානක සංසාර කෙත තව තවත් අස්‌වද්දන්නා වූ පාප බීජයන් නොවේ. ඒ වෙනුවට ඒ කෙලෙස්‌ බිජුවට පැසී වැනසී ගියේය. සම්‍යක්‌ මාවතට වැටුණු සැහැදැවත් සත්පුරුෂ තෙම බේරිය යුතු දිය පහරවල් දෙකක්‌ ඇතැයි බුදුපියාණන් වහන්සේ එම හමුවෙහිදී පටාචාරාවට තේරුම් කර දුන්හ. ඉඳුරන් පිනවීමට ඇති ආශාව ඒ එක දිය පහරකි.

එය නිවැරැදි අවබෝධයට, නිවැරැදි සංකල්පයට සිහියට හා සමාධියට එරෙහිව මහ පවුරු පදනම් තනන බව බුදුපියාණන් වහන්සේ පටාචාරාවන්ට හෙළිකර දුන්හ. අතිශය ශාන්තවූත්, ප්‍රනීත වූත් මේ අමා දහම් කථෝපකථනය අතරතුරදී පටාචාරාවනට මෙතෙක්‌ කල් කවදාකවත් හමු නොවූ විමුක්‌තියේ සංහිඳියාව දැනෙන්නට පටන් ගත්තේය. ඇයගේ මුහුණ නිවීමෙන් බැබළිණ. ඇයගේ සංසාර ගමන නැවතිණ. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ආදී කොටගත් මාරයාගේ වධ බන්ධනවලින් ඇයට සදහටම අත්මිදෙන්නට ඉඩ ලැබුණේය.

සංසාරයේ තව තවත් දුර ඈතට ඇදගෙන යැමට ජීවිතවලට නොයෙකුත් මයාමය හමුවීම් තිළිණ කළ මාරයා පස්‌වග මහණුන් වහන්සේලාගේ සිත්වලද පාප විතර්ක ඇති කළේය. මාරයාගේ ඒ විතර්ක, පෙළඹවීම් තවදුරටත් බලවත් නොවූයේ උන්වහන්සේලාට ජීවිතයේ උත්තම හමුවීම හමුවූ නිසාය. මේ හමුවීම පෙරදැරිකරගෙන උන්වහන්සේලාගේ සිත්හි මුල්බැස ගත්තේ රාගය නොවේ. ද්වේෂය නොවේ. මෝහය නොවේ. ජීවිතය හා ලෝකය ඇතුළු ජීව-අජීව සියල්ලෙහිම යථාර්ථයයි. ඇති ඇති සැටියයි. එම සියල්ලෙහි ඇති 'උත්පාද' හෙවත් පහළවීම 'ස්‌ථිත' හෙවත් මඳ වේලාවක්‌ පැවතීම 'භංග' හෙවත් ඊළඟ මොහොතේ මුළුමනින්ම නැසී වැනසී යාම පස්‌වග මහණුන් වහන්සේලාගේ සිත්වල රැව්-පිළි-රැව් දුන්නේය. බුදුපියාණන් වහන්සේ මෙම උත්තම වූ දුඃඛාර්ය සත්‍යයත්, එයින් අත්aමිදීමේ මාර්ගයත් තවත් පැහැදිලි වශයෙන් දේශනා කරද්දී කොණ්‌ඩඤ්ඤ තවුසාට තම හදවතෙහි ආලෝකයක්‌ ඇතිවූවාක්‌ මෙන් දැනුණේය. සැබවින්ම උන්වහන්සේ දොගොඩක්‌ ඇති සංසාරයෙහි එගොඩ ඇති අමා ශාන්තිය ස්‌පර්ශ කළෝය. දහස වරක්‌ ඉපදීම නමැති සිරගෙදරින් තමන් වහන්සේ සදහටම නිදහස්‌ වූයේ මේ දුර්ලභ සත්පුරුෂ හමුවීමෙන් බව උන්වහන්සේට දැණින.

මේ සැනසිලිදායක සත්පුරුෂ හමුවීම ජීවිතයකට ලැබෙන්නේ පුරාකෘත පුණ්‍ය බල මහිමයට හෙවත් පෙර පින් නිසාය. ලෝකය නමැති මායාවෙහි රැඳී-බැඳී-ඇලී-ගැලී සිටින පෘතග්ජනයාට ලැබෙන හමුවීම්වල කෙළවරක්‌ නැත. එතෙකුදු වුවත් ඔවුනට එම හමුවීම් තෘෂ්ණාවෙන් ස්‌වරූපයෙන් අනේක විධ ආකාරයන්ගේ බරපතල පහරදීම් සිදුකරන්නේය. එහි ප්‍රතිඵලයක්‌ වන්නේ ලොව රූප, ශබ්ද ආදී කොටගත් නෙත විසිතුරෙන් පිරී ගිය මායාවන් කෙරෙහි ලෝකයා තදින් ඇලෙන්නට පටන් ගැනීමයි. පසුව ඒ ඇලීම තදබල ගැටීමකට මගහසර විවරකර දෙයි.

ලෝකයා නමැති දෙය කැමති ආකාරයෙන් පවතින තෙක්‌ ඔවුන්ගේ සිත දුකින් මුසුවූ ව්‍යාජ ප්‍රීතියකින් කුල්මත්ව නටයි. එනමුදු එය බිඳුණු විට, පෙරලුණු විට, වෙනස්‌ වූ විට ඔවුන් පිවිසෙන්නේ භයානක, අනතුරු සහිත වූ අඩියකටය. බුදුරදුන් ධරමාන කාලයේ ජීවත්වූ අජාසත්ත රජතුමා ගැන ආවර්ජනා කළ හැකිද? ඔහු මහත් ආශාවකින් බොහෝ දේ බලාපොරොත්තු වූයේය. දේවදත්ත නමැති අසත්පුරුෂයාගේ හමුවීමෙන් ඒ ආශාවෝත්, තණ්‌හාවෝත් දළු දමා වැටුණාහ. දේවදත්ත ඒවා මුqදුන්පත් කර ගැනීමේ මං පෙත් පිළිබඳව අජාසත්තට අවවාද දුන්නේය. නොමගින් දුන් අවවාදත්, අජාතශ්‍රැතගේ සිතුම් පැතුම් බිඳිණ. අන්තිමේදී අජාසත්ත මෙන්ම දේවදත්තද මහා ආනන්තරීය පාපකර්ම දෙකකට කරගසන්නට තරම් අවාසනාවන්තයෝ වූහ. ඔවුනට බුදුන් දැක්‌කත් නිවන් දැක සංසාර සැඩ පහරින් අත්මිදෙන්නට බැරිවූයේ මේ නිසාය. බලන්න සංසාරයේ හමුවීමක බියකරුකම. මෙකල ලෝකයේ අප අප අතරත් මෙබඳු අවසානාවන්ත හමුවීම් දක්‌නට ලබෙනවාද?

මේ සමාජය තුළ ඝාතනය, භීෂණය, දූෂණය හා රැවටීම බියකරු ප්‍රදර්ශනයන් අද නිබඳ දක්‌නට ලැබේ. මෙයට හේතුව කුමක්‌ද? සම්‍යයක්‌ කල්පනාවට අනුව නම් ජීවිතයේ සරලත්වය තුළින් ළඟා විය හැකි දැහැමි ජීවන දහම පිළිබඳව පුද්ගල සිත තුළ පවතින අවබෝධහීනත්වය මීට හේතුවී ඇති බව පෙනේ. සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසුව එහිමි දිවි තුළ තිබුණේ කොතරම් පුදුම ගෙන දෙන සරලත්වයක්‌ද? බුද්ධත්වයට පත්වීමෙන් පසුව එහිමියන්ගේ කීර්තියෙහි නිමාවක්‌ නොවීය. එනමුත් උන්වහන්සේ අත රැඳුණේ මැටි පාත්‍රයකි. ගත රැඳුණේ පාංශකූල චීවරයකි. කිසිම උදාරම්කමක්‌ නොතිබුණේය. සියල්ලන්ටම උන්වහන්සේ වෙත ළඟාවිය හැකි විය. එහෙයින් ඒ අමා මෑණියන් වහන්සේම නොව උන්වහන්සේගේ උත්තම වූ ජීවිතය පිළිබඳව ලියෑවුණු දහම් පොතපත වුව හමුවීමෙන් ඔබගේ කෙලෙස්‌ කල්පනා සසර දුක නවතන කමටහන් බවට පත්වනවා නොවේද? එවැනි හමුවීම් පමණක්‌ ජීවිතය තුළදී තෝරාගෙන ක්‌ලේශකාම අවුලවන හමුවීම්වලින් තොරවන්නට අප අදිටන් කර ගත යුතුය. එසේ වන්නේ වී නම් ඔබ තුළම එම භාව පරිවර්තනය තුළින් මහරහතන් වහන්සේලා මතුවන්නට දීර්ඝ කාලයක්‌ ගත නොවනු ඇත.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.