සසර අනතුරේ හෙළන මසුරුබව

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

මසුරුබවේ තිබෙන අනතුරයක බව අපි තේරුම් ගන්ට ඕනෙ. එහෙම නැති වුණොත් අපේ සිතත් මසුරුකමින් යටවෙන්න පුලුවන්. මසුරුකම තිබෙන කෙනාට තමන්ට සැප විඳින්ට සිතෙන්නෙත් නැහැ. අන් අයගේ සැපය පිණිස කටයුතු කරන්න හිතෙන්නෙත් නැහැ. එහෙම කළොත් Ñ'අපිට බඩගින්නෙ ඉන්න වෙයි, පිපාසෙන් ඉන්ට වෙයි' කියල එයාට බය ඇතිවෙනවා.

බැලු බැල්මට නම් ඒ මසුරු කමෙන් තමන්ට ආරක්‌ෂාව සැලසෙනවා වගේ පේනවා. නමුත් අභ්‍යයන්තරයේ තිබෙන මසුරුකම හිත තවන හිත කෙලෙසන අකුසලයක්‌. එලෙස තිබෙද්දි එයා ලඟ තිබෙන භව භෝග තමාටවත් අනුභව කරන්න හිතෙන්නේ නැහැ. පස්‌සේ ප්‍රයෝජනයට ගන්නවා යෑයි හිතනවා. පසුවට උවමනා වෙන්ට පුළුවන් යෑයි හිතනවා. බැලු බැල්මට නිවැරදි ක්‍රියාවක්‌ වගෙයි පේන්නේ. නමුත් අභ්‍යන්තරයේ ක්‍රියාකරන අකුසලය මසුරුබවයි. ඒ මසුරුකම නිසා තමාගේ ධනය තමා පරිභෝග කරන්නෙත් නැහැ, අන් අයට දෙන්නෙත් නැහැ..

ඊළඟ දේ මසුරුකම තිබෙන කෙනා යමක්‌ දන් දුන්නත් ඊට පස්‌සේ ඒ ගැනත් පසුතැවෙනවා. Ñඑය නොකර හිටියානම් හොඳයි කියා පසුතැවෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නෙ? දන්දීම නිසා උපදින යම් පිනක්‌ ඇද්ද ඒ පිනත් මහත්ඵල වෙන්නෙ නැතිව යනවා. ඒ වගේ ම එයාගේ හිත තවත් කිළිටිවෙනවා. මේ නිසා අපි මසුරුකම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන් කාරණා ඉගෙන ගත යුතුයි. ඒ කාරණා තේරුම් ගන්ට ඕනෙ. ඒ වගේ ම මසුරුකම අපේ ජීවිතයෙන් බැහැර කරන්ට කටයුතු කළ යුතුයි.

දවසක්‌ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ට කොසොල් රඡ්ජුරුවො පැමිණියා. එවිට භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා Ñ'පින්වත් මහරජ මේ දහවල් කාලෙ කොහෙ සිටද මේ පැමිණෙන්නෙ' කියලා. කොසොල් රඡ්ජුරුවො ප්‍රකාශ කළා, Ñභාග්‍යවතුන් වහන්ස, මේ කොසොල් ජනපදයේ හිටිය ඉතාම ධනවත් සිටුවරයෙක්‌. ඒ සිටුවරයා කළුරිය කළා. නමුත් ඔහුට දරු මල්ලො හිටියෙ නැහැ. ඉතින් කළුරිය කළායින් පස්‌සෙ එයාගේ ධනයට අයිතිකාරයෙක්‌ හිටියෙ නැහැ. මම මේ ගිහින් ඒ ධනය මගේ භාණ්‌ඩාගාරයට, රජයට පවරගෙන එන ගමන්. ස්‌වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හරිම පුදුමයි ඒ සිටුවරයා හරිම ධනවතෙක්‌. එයාගෙ භාන්ඩාගාරයේ තුළ රන් කාසි විතරක්‌ කෝටියක්‌ තිබුණා. රිදී කාසි ගැන කවර කතාද?' කියල කොසොල් රජ තුමා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා.

ඊට පස්‌සේ කොසොල් රජතුමා ප්‍රකාශ කරනවා ස්‌වාමීනී භාග්‍යවතුන් වහන්ස ඒ සිටුවරය මෙතරම් ධනවත් උනාට එයා දුක්‌ වින්දා. හරියට කෑමක්‌ බීමක්‌ කෑවෙ නැහැ. එයා කෑවේ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. හරියට ඇඳුමක්‌ ඇන්ඳේ නැහැ. එයා ඇන්ඳෙ කෑලි තුනක්‌ මූට්‌ටු කරපු හණ වැහැරියක්‌. යාන වාහනයකට පාවිච්චි කර තිබුණේ කබල් කුඩයක්‌ ඔසවල තිබුණු පොඩි කරත්තයක්‌. සිටුවරයෙක්‌ වුණත් එයා සැප විඳපු කෙනෙක්‌ නොවෙයි. නමුත් එයා ලඟ මහා ධනයක්‌ තිබුණා' යෑයි කෙසොල් රඡ්ජුරුවො භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා.

ඒ වෙලාවෙදි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. ඒ පුද්ගලය ඒ විදිහටයි ජීවත් වුණේ. ඒකට හේතුවක්‌ තිබෙනවා. ඒ සිටුවරය අතීත ජීවිතයක මේ නගරයේ වාසය කළා. ඒ කාලයේ තගරසි‚ කියල පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌ ඒ ප්‍රදේශයේ හිටිය. ඒ සිටුවරය ඒ කාලෙත් මහා ධනවත් කෙනෙක්‌. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එයාගේ මන්දිරයට පිණ්‌ඩපාතෙ වැඩියා. එවිට මේ සිටුවරය දුටුවා මේ පින්ඩපාතෙ වඩින ශ්‍රමනයන් වහන්සේව දැක සේවකයන්ට පවසනවාÑඅන්න අර ශ්‍රමනයන්ට දානෙ ටිකක්‌ දෙන්න' යෑයි පවසා යන්න ගියා. දන් පැන් දුන්නෙ නෑ. දෙන්න කියල කිව්ව විතරයි. ඊට පස්‌සෙ සේවකයින් දන් පැන් දුන්නට පස්‌සේ අර සිටුවරයට හිතුන අපරාදෙ මේ දානය ටික දුන්නෙ. මේ දානය නොදී සිටියා නම් මගේ මේ සේවකයෙකුට හරි කන්න දෙන්න තිබුණා. අපරාදෙ මේ නිකන් කෙනෙකුට දුන්නෙ යෑයි හිතුණා. මසුරුකම හිතේ තිබුණාම වෙන දේ තමයි ඒ. එයාට දන් දෙන්ට හිතුනෙ නැහැ. දෙන්න යෑයිනියම කළා, නමුත් එහෙම නියම කර පසුව පසුතැවුණ.

ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, ඒ සිටුවරයා පසේබුදුරජාණන් වහන්සේට දන් දෙන්න කියල නියම කළ පිනේ ආනිසංස විදිහට එයා සත් වතාවක්‌ සුගතියේ දෙවියන් අතර ඉපදුණා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් මේ සැවැත් නුවර ම සත් වතාවක්‌ සිටු තනතුර ලැබුණා. නමුත් පින්වත් මහරජ ඒ පුද්ගලය දානය දුන්නට පස්‌සෙ, ආපරාදෙ ඒ දානෙ ටික දුන්නෙ. ඒක සේවකයෙකුට හරි අනුභව කරන්න තිබුනනෙ කියන මසුරුකම ඉස්‌මතු වී අකුසල සිතුවිල්ලක්‌ ඇතිකරගත් නිසා එහි විපාක ලෙස ඒ නුවර සිටුවරයෙක්‌ වෙලා ඉපදෙන්ට ලැබුණට එයාගෙ ධනය පරිහරණය කරන්ට හිත නැමුණෙ නැහැ. මිහිරි ආහාරයක්‌ අනුභව කරන්ට හිත නැමුණෙ නැහැ. ලස්‌සන ඇඳුමක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. හොඳ වාහනයක්‌ පාවිච්චි කරන්ට හිත නැමුණෙ නැහැ. ඒ ධනය තමාගේ පහසුවට පාවිච්චි කරන්ට හිත නැමුණෙ aනැහැ යෑයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

මසුරුකම නිසා සිද්ධවෙච්ච දේ. යම් කෙනෙකුට කුසල් අකුසල් පිළිබඳව වැටහීමක්‌ නැති නම් එයා අතින් අකුසල් කෙරෙනවා කුසල් මඟහැරෙනවා. පින් කරන එකත් මඟහැරෙනව. පාපී ක්‍රියා කෙරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ස්‌වාක්‌ඛාත ධර්මය යම් කෙනෙක්‌ පිළිඅරගෙන, ඒ ධර්මය අසා තේරුම්ගෙන, ඒ ධර්මය පිළිගත්තොත්, එසේ ධර්මය පිළිගත් කෙනාට, තමාට දුක පිණිස පවතින මසුරුකම වැනි පාපී අකුසල් බැහැර කර කුසල් උපදවාගැනීමට හැකියාව ලැබෙනවා.

අර පුද්ගලයා දානය ටිකක්‌ දෙන්න කියල කිව්වා. නමුත් ඒ උපදවා ගත්ත පින මහත්ඵල කරගන්ට බැරිවුණා. නැවත නරක සිතුවිල්ලක්‌ ආවා. එයාට ඒක තේරුණේ නැහැ සිතට නරක සිතිවිල්ලක්‌ ආ බව. එය තේරුම් අරගත්ත නම් Ñමේක අකුසලයක්‌, මේ සිතුවිල්ල මට හොඳ නැති බව ඒ මසුරු සිතුවිල්ලට, ඒ ලෝභී බවට ඉඩ දෙන්නේ නැහැ. එය බැහැර කරනවා.

කරපු ක්‍රියාව පුංචියි. එයාට හිතුනේ මොකක්‌ද? අපරාදෙ මේ දානය දුන්නෙ කියල. සිතේ ඇතිවුනේ සිතුවිලි කීපය යි. නමුත් ඒකේ විපාකය බලන්න. ඒ විපාකයට මහා ධනවත් සිටුවරයෙක්‌ වෙලා ඉපදුණා. නමුත් එයාට ඒ ලැබුණ ධනය තමාගේ සැපය පිණිස පාවිච්චි කරන්ට බැරිවුණා. තමාගේ සැප පිණිස ධනය පාවිච්චි කරන්ට හිත නැවෙන්නේ නැත්නම් එයා අන් අයගේ සැප පිණිස ධනය යොදවන්නේ නැහැ. ඒකත් එයාට බැරි වුණා. කොසොල් රඡ්ජුරුවො පැවැසුවානේ කෝටියක්‌ ධනය තිබුණ බව. එච්චර ධනයක්‌ තිබුණ කෙනාට මිහිරි කෑමක්‌ කන්න හිත නැමුණෙ නැහැ. හරියට වස්‌ත්‍රයක්‌ අඳින්ට හිත නැමුණෙ නැහැ. ඒ සිතුවිල්ලක්‌ මගින් ම ඉපදුණ අකුසලයේ විපාක, සිතුවිල්ලක්‌ මගින් ම විපාක දෙනවා. සිතේමයි මේ අකුසලය හටගත්තේ. සිතෙන්මයි එහි විපාක ඇතිකරන්නෙත්. සමහර අය ඉන්නවා ධනය තිබෙනව, ඒ වගේ ම ධනය පරිහරණය කරන්ට හිතෙනවා. සමහර අයට ධනය තිබෙනව, නමුත් පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. මොකක්‌ද හේතුව? ඒ එයා රැස්‌ කරගත්ත ආකාරය.

නමුත් මේ ධර්මය කෙරෙහි පැහැදීම තිබෙන කෙනා අකුසලය ගැනත් අකුසලයේ විපාක ගැනත් කුසලය ගැනත් කුසලයේ විපාක ගැනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට යම් විදිහකින් වැටහීමක්‌ තිබෙනවා. එයා මසුරුකම වගේ පාපී සිතුවිලි සිතේ ඇතිවෙනකොට සිහිකරනවා Ñමේක අකුසලයක්‌ මේ අකුසලයේ මෙබඳු විපාක තිබෙනවා බව. ඒ නිසා එයාට අකුසලය ගැනත් අකුසලයේ විපාකය ගැනත් ලැඡ්ජාව බය උපදිනවා. එවිට ඒ වගේ අකුසලයට ලැඡ්ජා බය ඉපදුණ කෙනා තු=ළ අකුසල් සිතුවිල්ලක්‌ ඉපදුණොත් ඒ සිතුවිල්ල බැහැර කිරීම ගැන කලින් ම එයා තුළ කැමැත්තක්‌ තියෙනව. ඇයි ඒ ? එයා දන්නව මේක අකුසලයක්‌ බව. අකුසලය අකුසලය විදිහට දන්න කෙනා අකුසලය බැහැර කරන්න කැමැත්තෙන් ඉන්නේ.

අකුසලය බැහැර කරන්න කැමැත්තක්‌ නැත්නම් මොකක්‌ද ඒකට හේතුව? මේක අකුසලය කියල අපි දන්නේ නැහැ. මේ අකුසලය දුක්‌ සහිත විපාක තිබෙන බව අපි දන්නෙ නැහැ. අකුසලයත් දන්නවා අකුසලයේ විපාකයත් දන්නවා නම් එසේ දන්න කෙනා අකුසලයට අකුසලයේ විපාකයට කැමතිවෙන්නේ නැහැ. එයා දන්නවා ඒක දුක්‌ විපාක සහිතයි, කිසිම සැපක්‌ ඒකෙන් උපදවන්නේ නැති බව. ධර්මය දන්නා බව අපට මොන තරම් සැප උපදවනවාද? ඒ නිසයි භාග්‍යවතුන් වදාළ අතිශයින් පිරිසිදු අතිශයින් බලවත් මේ ධර්මය අපි ඉගෙන ගෙන ඒ ධර්මය දරාගත යුත්තේ.

ඒ නිසා තේරුම් ගන්න මසුරුබව කියන එක අපේ ජීවිතයට මහා අනතුරක්‌. මෙලොවටත් අනතුරක්‌ පරලොවටත් අනතුරක්‌. සසරේ බොහෝ දුක්‌ විඳින්ට සිදුවන අතිශය භයංකාර අනතුරු ඇතිකරන අකුසලයක්‌. ඒ නිසා ඒ අකුසලය ගැන අකමැත්ත ඇතිවන විදිහට, ඒ වගේ ම කුසලය ගැන කුසලයට කැමැත්ත ඇතිවන විදිහට අකුසලය ගැනත්, කුසලය ගැනත්, අකුසලයේ විපාක ගැනත් කුසලයේ ආනිසංස ගැනත් අපි වැටහීමක්‌ ඇතිකරගත යුතුයි. ඒ සඳහා අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උපකාර වෙනවා. ඒ නිසා ඒ ධර්මයේ තිබෙන ඒ කාරණා ඉගෙනගෙන තම තමාගේ ජීවිත තුළ පුරුදු පුහුණු ගැනීමට උත්සාහ ගත යුතුයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.