දැයට අරුමයක්‌ වූ කොට්‌ටව කෝඹල වනපෙත

ශ්‍රී ලංකාවේ සංරක්‍ෂණය කළ යුතු බවට හඳුනාගෙන ඇති වනාන්තර අතර කොට්‌ටව කෝඹල වනාන්තරයට වැදගත් තැනක්‌ හිමිවේ.

හෙක්‌ටයාර් 1800 ක පමණ වපසරියක පැතිරී ඇති ගාල්ල නගරයට කිලෝ මීටර් 15 ක්‌ පමණ ඈතින් ඇති මේ වනාන්තරය ගාල්ල උඩුගම මාර්ගයේ පිහිටා ඇත.

මුහුදු මට්‌ටමින් මීටර් 100 ක පමණ උසකින් දැකිය හැකි මේ වනාන්තර ප්‍රදේශය මීටර් 350 ක්‌ පමණ උසක්‌ දක්‌වා පැතිරී තිබේ. සුන්දරත්වයෙන් යුත් කඳු මුදුනක ඇති කොට්‌ටව ආරණ්‍යය මේ වනාන්තරයේ වැදගත්කම ලොවට කියාපාන තැනකි. මේ කැලය ආරක්‍ෂාකර ගැනීම සඳහා අතීතයේ වැඩවිසූ අපවත්වී වදාළ ගෝණදෙනියේ සරණතිස්‌ස නාහිමියෝ විශාල කැපකිරීමක්‌ කළහ. වනය විනාශ කරන අය ගැන උන්වහන්සේ නිතරම පෙන්වා දුනි. අද එවැනි පෙන්වාදීමක්‌ දක්‌නට නොමැතිය.

1971 දී ඇතිවූ තරුණ

කැරැල්ලේදී ද වනාන්තර කපන අයට දඬුවම් ලැබුණි. සිංහරාජ වනාන්තරය කන්නෙලිය වනාන්තරය මෙන්ම කොට්‌ටව වනාන්තරයේ ගස්‌ කැපීම ඒ කාලයේ නතර විය. අනවසරව නොව අවසර ඇතිවද ගස්‌ කැපූ අයට ද බලපෑම් ඇති විය. තුනී ලෑලි සංස්‌ථාවට පවා කොටන් නොමැති තත්ත්වයක්‌ එදා උදාවිය. අද වන විට නිතර අසන්නට ලැබෙන්නේ අනවසර දැව කැපීම් ගැනය.

කොට්‌ටව කෝඹල වනාන්තරයද දිනෙන් දින විනාශවේ.

1990 දී සිදු කළ කඩිනම් සංරක්‍ෂණ සමීක්‍ෂණයට අනුව ශාඛ විශේෂ 153 ක්‌ ඇති බවට හඳුනාගෙන ඇත. මේ කැලයේ අද ඇත්තේ ශාඛ විශේෂ ස්‌වල්පයකි. ඒකදේශීය ශාඛ 65 ක්‌ තිබුණ බව කියති. ශාඛ පමණක්‌ නොවේ මත්ස්‍ය විශේෂ 17 ක්‌, උභයජීවින් 6 ක්‌, උරග විශේෂ 5 ක්‌, පාද රහිත උරග විශේෂ 7 ක්‌, ඒකදේශීය සත්ව විශේෂ වශයෙන් මෙහිදී දැකිය හැකි වුවද, අද වන විට මේ සත්ත්ව විශේෂයන්ද වඳවීමේ තර්ජනයකට භාජනය වේ.

මේ පමණක්‌ නොවේ. දර්ශනීය පක්‍ෂීන්ද සමනල ආදී සතුන් ද වඳවී ඇති බව කිව යුතුයි. වඳුරන්, දඬුලේනුන්,

රැහැයියන්, කූඩැල්ලන් වැනි සතුන් හැර ගෝනන්, මුවන් වැනි සතෙකුවත් දැකිය නොහැකිය. වල් ඌරු මස්‌ ජනප්‍රිය කෑමකි.1992 දී කරන ලද සමීක්‍ෂණයට අනුව තෙත් කලාපීය වනාන්තර 31 ක්‌ අතර 2 තැනට සත්ත්ව විශේෂවල වැදගත්කම අනුව පත්වූ මේ වනාන්තරයේ ජීවීන් ගැන ද වනාන්තර සේ ගහ කොළ ආරක්‍ෂා කරගන්නා සේ උනන්දුවක්‌ දැක්‌විය යුතුව ඇත. සමාජාර්ථික වශයෙන් කොට්‌ටව වනාන්තරය වැදගත් වේ. තේ වගාව සඳහා වනාන්තරය හෙළි කළ සුදු අධිරාජ්‍යවාදීන් පමණක්‌ නොවේ කැලයේ අවට ජීවත් වූ අය ද මේ වනාන්තරයේ පැවැත්මට කළ බලපෑම විශාලය. කොට්‌ටව තේ පර්යේෂණ ආයතනය කොට්‌ටව තේ කම්හල් සඳහා මේ කැලය කපා ඇත.

අප කළ සමීක්‍ෂණයකට අනුව ගම්මාන 19 ක්‌ පමණ මේ අවට ඇත. මේ සියල්ල මගින් වනාන්තරයේ අනාගතයට කිසියම් බලපෑමක්‌ කෙරේ. තල්ගම්පල, උඩුවිටියන, කොට්‌ටවගම, එරන්වැල්ල, බැද්දේගෙදර මේ කොට්‌ටව වනාන්තරයට නුදුරින්ම ඇත.

පහළ ආදායම් මට්‌ටම්වල අයගෙන් වනාන්තරයට හානි සිදුවේ. වනිජ ද්‍රව්‍ය එක්‌රැස්‌ කිරීම, දැව කැපීම, සතුන් දඩයම් කිරීම, උණ වේවැල් කැපීම යන කරුණු නිසා අතීතයේ සිට මේ වනාන්තරය විනාශවීමට ඔවුහු දායක වූහ. වර්තමානයේ හොර මත්පැන් පෙරීම් යනාදී කටයුතුවලට ද මේ වනාන්තරය ආරක්‍ෂක ස්‌ථාන වී තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ටද දේශීය සංචාරකයන්ට ද පාසල් සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ද දැකබලා ගෙන කටයුතු කරන්නට හැකි මේ වනාන්තරය ආරක්‍ෂාකර ගැනීම වැදගත් වේ. ඖෂධ පැළෑටි රාශියක්‌ ද මෙහි තිබේ. ඒවාද විනාශ නොකළ යුතුයි.

1870 දශකයේදී කොට්‌ටව කෝඹල වනාන්තරය අක්‌කර 3000 කට වැඩි භූමි ප්‍රදේශයක පැතිරී තිබුණි. සිංහරාජ වනාන්තරය කන්නෙලිය වනාන්තරය නාකියාදෙණිය වන පෙදෙස ආදිය මෙන් කොට්‌ටව වනාන්තරයද අද හුදකලාවී තිබේ. වනාන්තර හෙළි කිරීමේ විපාක සමස්‌ත රටවැසියාම අත්විඳී. කාන්තාරකරණය ගැන හානි කරන අපි අපේ රටේ කැලෑ කපා හේන් වගාකිරීම ගැන කතා නොකරයි.

රජයේ පාලනය යටතේ ඇති මේ වනාන්තරය රැකගැනීමේ වගකීම වන සංරක්‍ෂණ, වනජීවී සංරක්‍ෂණ යන දෙපාර්තමේන්තුවලට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මෙන්ම ප්‍රාදේශීය සභාවටද පැවරී ඇත. මීට අමතරව සංචාරක වැනි අමාත්‍යංශය ද මෙහි කටයුතු ගැන සොයා බලා වනාන්තරය ආරක්‍ෂා කර ගැනීමට කිසියම් කඩිනම් වැඩකටයුත්තක්‌ ආරම්භ කිරීම කාලෝචිතය. කැලයේ ස්‌වාභාවිකව වැඩුණ ශාඛ ඉවත් කර පයිනස්‌ වැනි වගාවන් ගෙන් මේ වනාන්තරයට පසුගිය කැලයේ කර ඇති හානිය ද මෙහිදී පෙන්වා දිය යුතුයි. ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශීය ශාඛ වර්ග, ඖෂධ පැළෑටි වර්ග යනාදිය යළි රෝපණය කර හිටවන ලද පැළ හැදෙන වැඩෙන තෙක්‌ රැකගැනීමට ද දැනට ඇති වනාන්තරය ආරක්‍ෂා කර ගැනීම ද අනිවාර්යයෙන්ම කළ යුතුයි. තවදුරටත් අද පවතින අන්දමට කොට්‌ටව වනාන්තරය විනාශ වීමට ඉඩ හැරිය හොත් අනාගතයේදී වැඩිදුරක්‌ ගෙවා තෙත් කලාපීය වනාන්තරයේ විශේෂයක්‌ දකින්නට අපට සිංහරාජයට යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

අක්‌මීමන - කේ. මතිලාල් - හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.