පුවතක පසුබිම
ටියුෂන්වලට යටින් තිබෙන තවත්  ඛේදවාචකයක්‌!

සෞඛ්‍ය ක්‌ෂේත්‍රය හැරුණු විට රටේ වඩාත්ම කතා බහට ලක්‌වන ක්‌ෂේත්‍රය අධ්‍යාපන ක්‌ෂේත්‍රයයි. එමෙන්ම අන්තයටම පිරිහිණු ක්‍ෂේත්‍රයත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයයි. එසේ වීමට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් බලපෑවද, මෙරටේ එක තැන පල් වෙවී තිබෙන ටියුෂන් කලාවත් එක්‌ හේතු සාධකයක්‌ වූ බව ඉඳුරාම කිවයුතුය.

අද ටියුෂන් පන්ති විලාසිතාවක්‌ බවට පත්ව ඇත. අසල්වැසි නිවසේ ළමයා සාමාන්‍ය පෙළ විභාගය ඉලක්‌ක කරමින් ටියුෂන් යන විට තම දරුවා පෙර පාසලේ සිටියත් ටියුෂන් යෑවීමට මව්වරු කටයුතු කරති. පෙර පාසල් ළමයින්ට මොන ටියුෂන්ද? අවසානයේ තම හයක්‌ හතරක්‌ නොතේරෙන දරුවා සතියකට දින තුන හතරක්‌ නැටුම් පන්තියකට හෝ යෑවීමට මව කටයුතු කරයි. ඒ ළමයාට නැටුම් උගැන්වීමටම පමණක්‌ම නොව අම්මාට විනෝද වීමට ද අවස්‌ථාව සලසා ගැනීමේ පරමාර්ථයෙනි. අද එවන් අම්මලාගෙන් සමාජය පිරී ඇත. ළමයින් පන්තියකට ගාල් කරන සමහර අම්මලා අනෙක්‌ අම්මලා සමඟ නිවසේ අඩුපාඩු ගැන කතා කරති. නැතහොත් ෂොපින් යති. එහෙමත් නැති නම් අම්මා කියන උත්තරීතර නාමයට නිග්‍රහ කරමින් තම අනියම් පෙම්වතා සමග පෙම් සුව විඳීමට හෝටල් කාමරයකට රිංගයි. ළමයාගේ නැටුම් අධ්‍යාපනය කෙසේ වෙතත් ඒ අම්මලා නම් හොඳ නැටුමක්‌ නටයි.

මවයි නිවසේ පරිපාලකයා. ඇය එසේ අවකල් ක්‍රියාවල යෙදෙන විට නිවසේ දෛනික කටයුතු සියල්ලම ඇන හිටී, මවගෙන් දරුවන්ට විය යුතු යුතුකම් ද, බිරිඳගෙන් ස්‌වාමියාට ඉටු විය යුතු යුතුකම් ද මඟහැරී යයි. අනතුරුව නිරන්තරයෙන් නිවස තුළින් අඩදබර ඇසෙන්නට පටන් ගනී. අවසානයේ තම සුන්දර කැදැල්ල සුළි සුළඟට හසු වූ කුරුළු කූඩුවක්‌ සේ සී සීකඩ යන අවස්‌ථා ද අප සමාජයේ කොතෙක්‌ද කියා කිව නොහැකි තරම්ය.

කුඩා කල සිටම එවැනි අම්මලාගේ අශ්ලීල ගති පැවතුම් ආදර්ශයට ගන්නා දූවරු උස්‌ මහත් වී වැඩි වියට පත් වූ පසු තම මවගේ අඩි පාරටම වැටෙන අවස්‌ථා ද නැතුවාම නොවෙයි. දින හතම ටියුෂන් යන තම දියණිය පන්තියට යන්නේ දින දෙක, තුනකි. ඉතුරු දින ටික ඇයගේ විනෝද ගමන් සඳහා පාවිච්චි කිරීමට බොහෝ ටියුෂන් යන තරුණ ගැහැණු ළමයින් කටයුතු කරයි.

සති අන්ත දිනවල බහුලව පන්ති පැවැත්වෙන නගරයකට ගිය විට එය හොඳින් පසක්‌ වෙයි. කිරි සුවඳ හමන මුවින් පෙම් බස්‌ දොඩන කුරුළු ජෝඩු වන් පෙම්වතුන් පාර තොටේ, මගී බස්‌වල කොතෙක්‌ද කියා කිව නොහැක. ඊට එහා ගිය හිරි මල් වියේ පෙම්වතුන්ගෙන් ද සිනමාශාලා, හෝටල් කාමර හවුස්‌ ෆුල් වන බවත් කිව යුතුය. මෙහි අවසන් ප්‍රතිඵලය වැඩිදුර අධ්‍යාපනයට තිත තබා යුග දිවියට පිවිසීම බවත් අවධාරණයෙන් කිව යුතුය. තවත් පිරිසක්‌ නරක ආශ්‍රයට වැටී ගංජා උරන්නන්, කුඩු උරන්නන් බවට පත් වෙයි. අවසානයේ පොලිස්‌ කූඩුවල ලගිමින් හැදූ වැඩූ දෙමාපියන්ගේ දෙනෙත් කඳුලින් පුරවමින් තම අධ්‍යාපනය හමාර කරති. එතැනින් නොනවතින ඔවුහු සමාජයේ විවිධ අවකල් ක්‍රියාවල යෙදෙමින් සමාජ පිළිල බවට පත්වෙති.

ටියුෂන් මාස්‌ටර්ලා ළමයි පන්තියට එනවාද නැද්ද කියා සොයා බලන්නේ ද නැත. ළමයි පන්ති මගහැරියා කියා දඬුවම් දෙන්නේ ද නැත. ඔවුන්ට අවශ්‍ය මාසේ අන්තිමට පන්ති ගාස්‌තුව පමණි. "උඔ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගනිං. නැත්නම් නිකං හිටපන්. මගේ වැඩේ මම කරනවා" අද ටියුෂන් සර්ගේ මතය වී ඇත්තේ එයයි. ටියුෂන් ගුරුවරුන්ගේ මෙවන් ආකල්පද, ගති පැවතුම් ද අප රටේ අධ්‍යාපනය අගාධයට ඇද දැමීමට හේතු සාධක වූ බව ද නොකියාම බැරිය.

හැම සිසුවාම තම දරුවන් සේ සිතා ගුරුහරුකම් ලබාදෙන සත්ගුණවත් බුද්ධිමත් ටියුෂන් ගුරුභවතුන් ද අප සමාජයේ සිටිති. ඔවුන්වද සමාජයේ මතු වී නොපෙනෙන්නේ බහුතරයක්‌ ටියුෂන් ගුරුවරු හොරු, බොරුකාරයින්, වංචාකාරයින් ලෙස හංවඩු ගැසී ඇති බැවිනි. ඔවුන් ගුරු වෘත්තිය මුදලට පාවා දී ඇත. ගුරු ශිෂ්‍ය සම්බන්ධය නැති වී යැමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ද මෙවැනි ටියුෂන් ගුරුවරුන්ගේ නරක පූර්වාදර්ශයයි.

මේ අප ඔබට ගෙන හැර පෑවේ ටියුෂන් අධ්‍යාපනයේ අයහපත් ප්‍රතිඵල පමණි. වර්තමානයේ බොහෝ ළමුන් මෙන්ම දෙමාපියෝද පවසන්නේ උපකාරක පන්තියකට සම්බන්ධ නොවී විභාග සමත් වීමට නොහැකි බවයි. අපි ද එය හිස්‌ මුදුනින්ම පිළිගනිමු. රටේ පාසල් පද්ධතිය හෝඩියට වැටී ඇති මෙවන් යුගයක තම ළමයාට අවශ්‍ය නිසි අධ්‍යාපනය පාසලෙන් නොලැබෙන විට දෙමාපියන් ළමයින්ව ටියුෂන් යෑවීමට කටයුතු කරයි. එසේ නම් ටියුෂන් පන්තියත් නොමැති වුණොත් මෙරටේ අධ්‍යාපනයට දෙයියන්ගේම පිහිටයි.ෘ

පළමු වසරේ සිට ළමයින් උපකාරක පන්තිවලට යොමු කරන දෙමාපියන්ගෙන් යමෙකු ඇසුවොත් "ඇයි මේ ළමයාව දැන්ම ඉඳලා ටියුෂන් යවන්නේ කියලා" ඔවුන් පවසන්නේ "අනේ බලන්නකෝ අපේ දුවගේ පන්ති භාර ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ගිහිල්ලා නිසා පාසලේ මේ දිනවල මොනවත් උගන්වන්නේ නැහැ." එය අද සමාජයේ නිරන්තරයෙන් ඇසෙන කතාය. එසේ නම් ළමයාව ටියුෂන්වලට යොමු කරන්නේ පාසලෙන්ම බව විවාදයක්‌ නැත.

සමස්‌ත අධ්‍යාපන ක්‍රියාවලියෙහි හදවත වන්නේ පාසලයි. අද අන්තයටම පිරිහී ඇත්තේ ද පාසලයි. පසුගිය දිනක ආඬිගම, පුනපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 8 වසර සිසුවකු තම පාසලේම මිතුරකුගේ ගෙල මිරිකා මරා දැමීමේ පුවතක්‌ අසන්න ලැබුණේ හදවත් කම්පා කරමින්ය. එවැනි ඝාතන වර්තමාන සමාජයෙන් නිරන්තරයෙන් ඇසුණද, විශ්වවිද්‍යාල තුළ සිසු ඝාතන සිදු වුවද අද වන විට පාසල් පන්ති කාමරය තුළත් මනුෂ්‍ය ඝාතන සිදු වන තත්ත්වයට පාසල් පද්ධතියත් පිරිහී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුමය.

අද ඇතැම් ළමුන් පාසලට යන්නේ ඉගෙන ගන්නට නොව විනෝද වන්නටය. ඒ අතරේ සමහරු විවිධාකාර අවකල් ක්‍රියාවල යෙදෙති. පන්ති මඟහරින කුඩා ළමුන් මනස විකෘති කරගැනීම සඳහා විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරති. කෙසේ වෙතත් අද වන විට ඇතැම් පාසල් සිසුවියන් මත් පැන් පාසලට ගෙන ගොස්‌ පානය කරන තත්ත්වයට පාසල් පද්ධතිය විනාශ මුඛයටම ඇද වැටී ඇත. ප්‍රේම ජවනිකා රඟපාන පෙම්වතුන්ද පාසල් පන්ති කාමරය අරක්‌ගෙනය. කෙසේ වෙතත් ඊට එහා ගිය අවකල් ක්‍රියා ද පන්ති කාමර තුළ සිදු නොවෙනවා නොවෙයි.

දහම් අධ්‍යාපනය සඳහා වැඩි අවස්‌ථාවක්‌ සලසාදීම උදෙසා ඉරිදා දිනයන්හි පෙරවරුවේ සහ පොහොය දිනය මුළුල්ලේ අමතර උපකාරක පංති පැවැත්වීම අත්හිටුවීමේ නීතියක්‌ ස්‌ථාපිත කිරීමට සබරගමු පළාත් සභාවත් මාතර දිස්‌ත්‍රික්‌කයත් තීරණයකට එළැඹ ඇත. ඉදිරියට සියලු පළාත් සභාවල මෙම තහනම ක්‍රියාත්මක කරයි කියා අපි විශ්වාස කරමු. ප්‍රමාදවී හෝ එසේ කළහොත් පළාත් මහ ඇමැතිවරුන් ගෙන තිබෙන කාලෝචිතම වැඩපිළිවෙළක්‌ ලෙස මෙය හැඳින්විය හැක.

සමාජ හිතකාමී දිවි පැවැත්මේ අගය, සුන්දරත්වය, අපට වටහා දෙන්නේ ආගම දහමිනි. එහෙයින් ඒ සඳහා දහම් අධ්‍යාපනය අනිවාර්යය අවශ්‍යතාවක්‌. සතියකට එක දිනක්‌ හැදෙන වැඩෙන වයසේ දරුවන්ට පන්සල ඇසුරේ කාලය ගත කිරීමට ඉඩ ලබාදීම ඔවුන්ගේ සමාජානුයෝජන ක්‍රියාවලියටද ඉතා වැදගත් බව නිසැකය. ආගමේ වැදගත්ම කාර්යය වන්නේ මානව දයාව සංවේදී බව මිනිසුන් තුළ ඇතිකිරීමයි. එසේ නම් ළමයින් දහම් අධ්‍යාපනයට යොමු කිරීමෙන් පිරිහී යන අපේ සමාජය යම් තාක්‌ දුරකට හෝ යහපත් කිරීමට පිළියම් සෙවිය හැක. සෑම පාසලක්‌ම පන්සලක්‌ කළ නොහැකි වුවත් සතියකට එක්‌ දිනක්‌ හෝ ළමයින් පන්සලට හුරු කිරීම යහපත්ය. පෝය දිනවලට දාන, ශීල, භාවනා වැඩසටහන්වලට යොමු කිරීමද යහපත් වැඩපිළිවෙළකි. එතුළින් ළයින්ගේ ඔළු ගෙඩි තුළ තිබෙන අශ්ලීල සිතුවිලි නැති වී යහපත් සිතුවිලි තුළින් මනස සංවර්ධනය වනු ඇත. ශිෂ්ටසම්පන්න සදාචාරවත් දරු පරපුරක්‌ අනාගතයේ බිහි වන්නේ එසේ කළහොත් පමණි.

කෙසේ වුවත් ඉරිදා පෙරවරුවේ හා පෝය දින ටියුෂන් තහනම් කර දහම් අධ්‍යාපනයට යොමු කළ පමණින්ම සුචරිතවත් සදාචාරාත්මක සමාජයක්‌ බිහි නොවන බවත් වගකිවයුත්තෝ අවධානයට ගත යුතුය. දරුවකු ඉරිදා දින දහම් පාසලට නොයැමටත් පෝය දිනට සිල් සමාදන් වීමට පන්සලට නොයැමටත් හේතුව ටියුෂන් පන්තියම නොව ඊට එහා ගිය හේතු සාධක ද ඇති බවත් නීති පනවන්නන්ට මතක්‌ කර දිය යුතුය. එමෙන්ම ඉරිදා පෙරවරුවේ හා පෝය දින දහම් අධ්‍යාපනය ලබාදී ළමයින්ගේ මනස සංවර්ධනය කළ පමණින්ම පිරිහීමට ලක්‌ වූ අධ්‍යාපන පද්ධතිය ගොඩගැනීමට නොහැකි බවත් අධ්‍යාපන බලධාරීන්ට මතක්‌ කර දිය යුතුය. සිදුකළ යුත්තේ යල්පැන ගිය අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස්‌ කර නව ප්‍රතිපත්ති හඳුන්වාදීමය.

ඇතැම් විදෙස්‌ රටවල පාසල් උදේ 08 ට ආරම්භ කළ විට අවසන් වන්නේa සවස 4 ට ය. එහෙත් එම රටවල ගුරුවරු ඊට එරෙහිව උද්ඝෝෂණ පවත්වන්නේ ද නැත. වැටුප් වර්ධක ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය නිසියාකාරව ඉටු කරති. අපේ රටට එවැනි අධ්‍යාපන ක්‍රමයක්‌ හඳුන්වාදීමට කාලය එළැඹ ඇති බව පසක්‌ කර දිය යුතුය. එසේ කළහොත් ඉරිදා පෙරවරුවේ හා පෝය දින පමණක්‌ නොව සම්පූර්ණයෙන්ම ටියුෂන්වලට වැට බැඳෙනු ඇත.

ඉරිදා දින හා පෝය දින උපකාරක පන්ති තහනම සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවටම පොදු නීතියක්‌ වුවද අන්තිමට නීතිය ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට පමණක්‌ වීම කණගාටුව කරුණකි. ධනවතුන්ගේ දරුවන්ට පෝයදාටත් ගෙදර ඇවිත් ටියුෂන් ලබාදෙන්න ටියුෂන් මාස්‌ටර්ලා සිටිති. එයට වැට බඳින්න කිසිම දේශපාලනඥයකු මෙරට නැත. අද සමාජයේ සිදු වී ඇත්තේද එයමය. සාමාන්‍ය ජනතාවට සහන සලසනවා කියා සුඛෝපභෝගී ජීවිත ගත කරන කෝටිපතියන්ට බදු සහන ලබා දී, සාමාන්‍ය ජනතාවට එදා වේල සරිකර ගත නොහැකි ලෙසට බඩු මිල අහස උසට නැග ඇති බව අපි දනිමු.

එසේ නම් ටියුෂන් තහනම මධ්‍යම පාන්තික දරුවන්ට පනවන තහනමක්‌ පමණක්‌ වෙයිද? එසේ නොවී සියලු තරාතිරම්වල ජනතාවට පොදුවේ නීතිය ක්‍රියාත්මක වුවහොත් යහපත් ප්‍රතිඵල අත්වනු නොඅනුමානය.

තරංග රත්නවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.