අමතර සේවා කාල කප්පාදුව අවලංගු නොකළොත්
හෙද ආචාර්යවරු රජයේ සේවයෙන් ඉවත්වීමට යති

ඒමන්ති මාරඹේ

හෙද ආචාර්යවරුන්ගේ අමතර සේවා කාල සීමාව කප්පාදු කිරිමට ගෙන ඇති තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගන්නේ නම් දැනට වැඩ වර්ජනයක නිරතව සිටින හෙද විදුහල් 19 ක සේවය කරන හෙද ආචාර්යවරුන් 253 දෙනා රජයේ සේවයෙන් ඉවත් වී පුද්ගලික හෙද විදුහල්වල සේවයට බැඳීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා හෙද ආචාර්ය සංගමය පවසයි.

හෙද ආචාර්යවරුන්ට රජයෙන් ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක්‌ ගෙවීමට පුද්ගලික හෙද විදුහල් බලධාරීන් කැමැත්ත පළ කර ඇති බැවින් වර්තමානයේ හෙද ආචාර්යවරුන්ට ඉතිරිව ඇති එකම මඟ රජයේ හෙද විදුහල්වලින් ඉවත් වීම බව හෙද ආචාර්ය සංගමයේ ලේකම් ඩබ්. ඒ. කීර්තිරත්න මහතා පවසයි.

හෙද විදුහල් 19 ක සේවය කරන හෙද ආචාර්යවරුන් 253 දෙනා හා හෙද විදුහල්පතිවරු ඉකුත් ජුලි පළමුවැනිදා සිට වැඩවර්ජනයක නිරතව සිටිති.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ හෙද ආචාර්යවරුන්ගේ පැය 40 ක්‌ වූ සතියක සේවා කාලය පැය 45 ක්‌ දක්‌වා අනිවාර්ය කරමින් පොදු චක්‍රලේඛයක්‌ නිකුත් කිරීම හේතුවෙන් එම ආචාර්යවරුන්ගේ අමතර සේවා කාල සීමා කප්පාදු කිරීමට ලක්‌ව ඇතැයි ඔහු කියයි.

මෙම තත්ත්වය මත අදාළ චක්‍රලේඛය සංශෝධනය කිරිමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයි හෙතෙම සඳහන් කළේය.

හෙද ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් හෙද සිසුන් 1500 කගේ පමණ පුහුණුව නතර වී ඇති අතර හෙද විදුහල් 19 ම වැසී ගොස්‌ ඇතැයි හෙද ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.