සිඟිති දියණිය ඉදිරිපිටදීම කදාන තොටුපළ පාරේදී
මවගේ ගෙල කපා ඝාතනය කළ සිද්ධියේ
සැකකරුවෝ 4 දෙනෙක්‌ අත්අඩංගුවේ


හේමන්ත රන්දුණු

කදාන තොටුපොළ පාරේ පිහිටි නිවසකට කඩාවැදී සිය දියණිය ඉදිරිපිටදීම මවගේ ගෙල කපා වෙන් කර කෲර අන්දමින් ඇය ඝාතනය කළ සංවිධානාත්මක කණ්‌ඩායම පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් වසරේ නොවැම්බර් 20 වැනිදා උදෑසන වූ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්‌වූයේ නෙරංජලා විඡේසූරිය නමැති 42 හැවිරිදි එක්‌දරු මවකි. සිය දියණිය පාසල් යෑවීමට සූදානම් කරමින් සිටියදී සාහසිකයන් ඇයව ඉතාම කෲර අන්දමින් මරා දමනු ලැබීය.

නෙරංජලා විඡේසූරියගේ සැමියාගේ සොහොයුරා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත ඝාතනය සැලසුම ක්‍රියාත්මක වී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. නෙරංජලා විසින් පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවක්‌ සහ දේපොළ ආරවුලක්‌ මෙම ඝාතනයට මුල්වී ඇති බවද හෙළිදරව් වී ඇත.

ඝාතන සිද්ධිය මෙහෙයවූ නෙරංජලාගේ සැමියාගේ සොහොයුරා ඔස්‌ටේ්‍රලියාවට පලා ගොස්‌ ඇති අතර මෙතෙක්‌ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. මෙම ඝාතනය සඳහා පුද්ගලයන් හය දෙනකු පැමිණ ඇත. ඔවුන් අතුරින් සිව් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිති.

නෙරංජලා ඝාතනයට පැමිණි සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් ජාඇල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු සහ අනුරාධපුර ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන සෙබළුන් දෙදෙනකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌වූ නෙරංජලාගේ සැමියා ඉතාලියේ රැකියාවක්‌ කරන අතර ඇය හත් හැවිරිදි සිය දියණිය ද සමග කදාන තොටුපළ පාරේ පිහිටි සැමියාට අයත් සුවිසල් නිවසේ ජීවත් වූවාය.

ඉකුත් වසරේ නොවැම්බර් මස 20 වැනිදා උදේ නෙරංජලා සුපුරුදු පරිදි සිය දියණිය පාසල් යෑවීම සඳහා නිවස ඉදිරිපිටට පැමිණියේ ඇය  රැගෙන යැමට එන ත්‍රිරෝද රථය බලාපොරොත්තුවෙන්ය.

ඒ අවස්‌ථාවේ නිවස ඉදිරිපිට වත්තේ සැඟවී සිටි සාහසිකයන් ඇය පසුපස පන්නාගෙන ගොස්‌ දියණිය ද බලා සිටියදී ගෙල වෙන්වන සේ කපා ඝාතනය කර පලා ගොස්‌ තිබිණි.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. එස්‌. දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගණේගම යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතා ඇතුළු නිලධාරීන් මාස කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලින් පසු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය නෙරංජලාගේ සැමියාගේ සොහොයුරා මෙම සිද්ධිය වීමට සතියකට උඩදී ඔස්‌ටේ්‍රලියාවේ සිට හොර රහසේම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හෙළි කරගන්නා ලදී.

ඝාතනය සිදුවී දින තුනක්‌ ගතවන්නට පෙර ඔහු නැවතත් රට හැර ගිය බවද හෙළි කර ගැනීමට පොලිසිය සමත් විය.

මෙම පුද්ගලයා ඇසුරු කළ අය පිළිබඳව සෙවීමේ පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය ජා-ඇල ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයකු පිළිබඳව තොරතුරු සොයා ගත්තේය. සැකකටයුතු දුරකථන ඇමතුම් ඇතුළු තවත් තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකාර පාපන්දු ක්‍රීඩකයා අත්අඩංගුවට ගත්තේය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට පොලිසිය සමත් විය.

මෙම කොන්ත්‍රාත්තුව භාර දුන් නෙරංජලාගේ සැමියාගේ සොහොයුරාගේ සමීපතව මිතුරා වන්නේ සැකකාර පාපන්දු ක්‍රීඩකයා බව හෙළිදරව් විය. එකම මිතුරාගේ ඉල්ලීම මත නෙරංජලා ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කර ඇත්තේ පාපන්දු ක්‍රීඩකයා විසින්ය. ඒ සඳහා සිය මිතුරන් සිව් දෙනකු හවුල් කරගැනීමට පාපන්දු ක්‍රීඩකයා කටයුතු කළේය.

මෙම ඝාතනය සඳහා නෙරංජලාගේ සැමියාගේ සහෝදරයා ද පැමිණ ඇත. මෙම ඝාතනය වෙනුවෙන් ඊට සහභාගි වූවන්ට රුපියල් පනස්‌ දහසේ සිට ලක්‍ෂය දක්‌වා මුදල් ගෙවීමට ද එහි ප්‍රධාන සැකකරු කටයුතු කර ඇත.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථය සහ ඒ සඳහා යොදාගත් ආයුධ කීපයක්‌ ද පොලිසිය සොයාගෙන තිබේ.

ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වන විට ඔස්‌ටේ්‍රලියාවට පැන ගොස්‌ සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි. එම සැකකරු ද දෙදරු පියකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටිති.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. එස්‌. දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගණේගම යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි එච්. සුමුද්‍රජීව මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එහි ස්‌ථානාධිපති උපුල් සමරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක සුබෝධ, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ප්‍රේමරත්න ජයරත්න ඒකනායක, සැරයන් (2953) රසික ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

ඔවුන් පදිංචිවී සිටි දෙමහල් නිවස සහ ඝාතය වූ කාන්තාව හා සැමියා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.