ජෙනරාල් ෆොන්සේකා  26දා දක්‌වා තවදුරටත් රිමාන්ඩ්

ඒ. ඡේ. ඒ. අබේනායක

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා ඇමරිකානු ඩොලර් 2,99,061.25 ක්‌ වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ 3 වන සැකකරු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විදේශ ගතවී සිටි දියණියන්ට දුරකථන ඇමතුම් ලබාදීමට අවසර ලබාදෙන ලෙසට කර තිබූ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සැකකරු මෙම 26 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිතභාරයේ තැබීමට ඊයේ (12) නියෝග කළාය.

තමාට ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝගයක්‌ ලබාදෙන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලීමක්‌ කොට තිබිණි. එහෙත් ඉහළ අධිකරණයක්‌ මගින් ඒ පිළිබඳව නියෝගයක්‌ කර නොමැති බව ඊයේ විවෘත අධිකරණයේදී පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු රක්‌ෂිත භාරයට පත්කර ඇති සැකකරුවකු බැවින් හුදෙක්‌ මානුෂික හේතූන් මත කර තිබූ එම ඉල්ලීමට අවසර ලබාදීමට තම අධිකරණයට නොහැකි බවද ප්‍රකාශ කළාය. යුද්ධය නිමාකොට රටටම ආරක්‍ෂාව උදාකරදුන් හිටපු යුද හමුදාපතිවරයකු මෙන්ම ආරක්‍ෂ මාණ්‌ඩලික ප්‍රධානියකුද වන සැකකරු රට වෙනුවෙන් කළ එම සටනේදී තෙවරක්‌ම බරපතල ලෙස තුවාල ලැබූවකු බවත් අවසන් වරට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී බරපතල තුවාල ලැබූ ඔහුගේ ශරීරයේ තවමත් මූනිස්‌සම් තැන්පත්වී තිබීම නිසා නිසි පරිදි වාතාශ්‍රය ලැබෙන අයුරින් ජීවත්වන ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇති බවත් එහිදී පෙන්වා දුන් විත්තියේ නීතිඥ නලින් ලද්දුව හෙට්‌ටි මහතා ඒ සඳහා බන්ධනාගාර අධිකරණයට සුදුසු නියෝගයක්‌ ලබාදෙන ලෙසට එහිදී ඉල්ලා සිටියේය.

සැකකරුට නිසි පරිදි වාතාශ්‍රය ලැබෙන අයුරින් පහසුකම් ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට එහිදී නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය එම චෝදනාව සම්බන්ධයෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයාට එහිදී නියෝග කළාය.

තම සේවාදායකයා වන සැකකාර ජෙනරාල්වරයා බන්ධනාගාර භාරයට පත්කිරීමට පෙර ඔහුට යුද හමුදාව මගින් ලබාදී තිබූ ආරක්‍ෂාව හා ඔහුගේ ගමන් පහසුව සැලසූ යුද හමුදා රථය යළි ලබාදීමට පියවර ගන්නා ලෙසට පෙර නඩු දිනයේදී අධිකරණය විසින් ලබාදුන් නියෝගය මෙතෙක්‌ ක්‍රියාත්මක කර නොමැති බව එහිදී පෙන්වාදුන් විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා ඔහුගේ ජීවිතයට තර්ජනයක්‌ එල්ල කිරීමට විශාල පිරිසකට අවශ්‍යව තිබෙන මේ මොහොතේ එම ක්‍රියාදාමය නිසා ඔහුගේ ජීවිතය අනතුරට ලක්‌වී ඇති බවද පෙන්වා දුන්නේය. එබැවින් පෙර පැවැති පරිදිම ආරක්‍ෂක රථ ඇතුලු ආරක්‍ෂක විධිවිධාන ඔහු වෙනුවෙන් ලබාදෙන ලෙසද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා අධිකරණයේ නියෝගය පරිදි ක්‍රියා කළ යුද හමුදාව ඔහුට ගමන් කිරීම සඳහා සුදුසු වාහනයක්‌ හා ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ ලබාදී ඇති බවත් චෝදනා ලබා සිටින සැකකරුවකු වන ජෙනරාල්වරයාට පෙර ලබාදී තිබූ ආරක්‍ෂාව යම් තරමකින් අඩුවිය හැකි බවත් පෙන්වා දුන්නේය. කෙසේමුත් එය ඔහුගේ ජීවිත ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වියහැකි අයුරින් සිදුකොට නොමැති බවද රජයේ නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.විත්තිය හා පැමිණිල්ල ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය පෙර පාවිච්චි කළ රථය ලබාදෙන ලෙසට අධිකරණය මගින් නියෝගයක්‌ ලබාදී නොමැති බවත් අධිකරණයේ නියෝගය පරිදි යුද හමුදාව මගින් සැකකරුට ගමන් පහසුව සලසා ගැනීම සඳහා සුදුසු වාහනයක්‌ සපයා ඇති බවට අනාවරණය වන බැවින් ඒ පිළිබඳව නැවත නියෝගයක්‌ ලබාදීම අනවශ්‍ය බවත් කෙසේමුත් තමන් පෙර නියෝග කළ පරිදි ඔහුගේ ආරක්‍ෂාව යුද හමුදාව සැලසිය යුතු බවත් එහිදී පෙන්වා දුන්නාය. සැකකරුට අතිරේක ව්‍යායාම් සඳහා අවශ්‍ය පහසුකම් බන්ධනාගාර අධිකාරියෙන් ඉල්ලීමක්‌ කොට ලබාගත හැකි බවද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයක්‌ පෙනී සිටි අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විජය අමරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මොහාන් සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙයවිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.