තිරියාය ගොස්‌ එමින් සිටියදී
ට්‍රක්‌ රිය පාර මැද පෙරළී  21 දෙනෙක්‌ තුවාල ලබති

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

කැබිතිගොල්ලෑව - පදවිය ප්‍රධාන මාර්ගයේ කැබිතිගොල්ලෑව බෙල්ලන්කඩවල ප්‍රදේශයේදී පෙරේදා ((11 දා) සවස ටාටා වර්ගයේ කුඩා ට්‍රක්‌ රථයක්‌ මහා මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන් කළ විසි එක්‌ දෙනෙක්‌ තුවාල ලැබූහ.

පෙරේදා සවස 4.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර, කාන්තාවන් දහහත් දෙනකු, පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කුඩා ළමයින් දෙදෙනකු ද වන බව මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් දස දෙනෙක්‌ පදවිය දිසා රෝහලටත්, එකොළොස්‌ දෙනෙක්‌ අනුරාධපුර ශික්‌ෂණ රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත්කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක්‌ මෙම අනතුරට මුහුණ පා තිබේ.

ඔවුන් මොරවැව තිරියාය ප්‍රදේශයේ සංචාරයක්‌ සඳහා ගොස්‌ ආපසු සිය නිවෙස්‌වලට යන අතරතුරදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් පොලිසිය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.