සෝමාවතියේ කටුපිලාන වැව ප්‍රදේශයේ
නිධන් හෑරූ 12 දෙනෙක්‌ අත්අඩංගුවේ

කරුණාරත්න ගමගේ

පොලොන්නරුව, සෝමාවතිය රක්‍ෂිතයේ මහවැලි ගඟට නුදුරු කටුපිලාන වැව ප්‍රදේශයේ පුරාවස්‌තු සහිත බිමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් 12 දෙනකු (10 වැනිදා) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස්‌ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව පොලිසියට අනුයුක්‌ත සිංහරාජගම පොලිස්‌ මුරපොලේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසිනි.

නිධන් හෑරීම සඳහා උපයෝගි කරගත් බව කියන අලවංගු, උදළු, සවල් සහ දොඹකරයක්‌ ඇතුළු උපකරණ තොගයක්‌ද සැකකරුවන් සතුව තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මන්තර ජප කරමින් සිටි කට්‌ටඬියා සහ ඔහුගේ ගෝලයා පොලිසිය එම ස්‌ථානයට පැමිණෙන විට පලායැමට තැත් කර ඇතත් පසුව පොලිස්‌ අත්අඩංගුවට පත් වී ඇත.

ඔවුන් සතුව තිබී මන්තර පොතක්‌ද හමු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් පොලොන් නරුවේ, පුදුර්තඹාල, දිවුලාන, කඳුරුවෙල සහ දෙහිඅත්තකණ්‌ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හෙළිවී තිබේ.

සිංහරාජපුර පොලිස්‌ මුර පොළේ පොලිස්‌ සැරයන් 63520 මෛත්‍රීපාල, පොලිස්‌ කොස්‌තාපල් 50857 සේනාධීර යන මහත්වරුන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ භටයන් 06 දෙනකුද මෙම වැටලීමට සහභාගි වී ඇතැයි පොලොන්නරුව කොට්‌ඨා සය භාර සහකාර පොලිස්‌ අධිකාරි ෂ ජයන්ත ප්‍රේමසිරි මහතා "දිවයින" ට පැවැසීය.

පුරාවිද්‍යා සතිය ආරම්භ වීමෙන් පසු පොලොන්නරුවේ සිදු කළ දෙවැනි නිධන් හැරීම මෙය වන අතර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ නියමයෙන් පුරාවිද්‍යා නිලධාරීන් කණ්‌ඩායමක්‌ (11) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සඳහා සෝමාවතිය කටුපිලාන වැව ප්‍රදේශයට යැමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.