වංචනිකව මුදල් රැස්‌කළ චෝදනාව යටතේ
ජෙනරාල්, දනුන ඇතුළු තිදෙනකුට නඩු

සරත් ධර්මසේන

ආරක්‍ෂක අමාත්‍යංශයේ භාණ්‌ඩ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිටින බ්‍රිටිෂ් බෝනියෝ ඩිපෙන්ස්‌ නමැති ඕස්‌ටේ්‍රලියානු සමාගම වෙනුවෙන් බව පවසමින් කූට ලේඛන ඉදිරිපත් කර යුද හමුදා නිලධාරීන්ට සහ ආරක්‍ෂක අංශවලට අවශ්‍ය භාණ්‌ඩ කීපයක්‌ සපයා වංචනික ලෙස මුදල් රැස්‌කර ගත් බවට චෝදනා කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඔහුගේ බෑනා වන දනුන තිලකරත්න ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (12 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

සරත් පොන්සේකා මෙම නඩුවේ 03 වැනි විත්තිකරු වන අතර දනුන තිලකරත්න 01 වැනි විත්තිකරු වශයෙන් නම් කර ඇත.

මහාධිකරණයට ගොනු කර ඇති චෝදනා පත්‍රයට අනුව චෝදනා සංඛ්‍යාව 21 කි. එසේ වංචනික ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයට සැපයූ භාණ්‌ඩ වෙන් වෙන් වශයෙන් දක්‌වා ඇති අතර එම ගනුදෙනු හරහා වංචනික ලෙස උපයා ඇතැයි කියන මුදල ඇමරිකන් ඩොලර් 299061.25 යෑයි චෝදනා පත්‍රයේ සඳහන් වේ.

දණ්‌ඩ නීති සංග්‍රහය හා පොදු දේපොළ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි එම වැරදි 2006 නොවැම්බර් මස 1 වැනිදා සහ 2009 මැයි මස 31 වැනිදා අතර කාලය තුළ එම සාවද්‍ය ගනුදෙනු සිදු කර ඇති බව ද චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති වශයෙන් සේවය කරමින් සිටිය දී තමා වෙත භාර දෙනු ලැබූ ආධිපත්‍යට පවරන ලද දේපොළක්‌ එනම් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් එකී ඇමරිකානු ඩොලර් 299061/25 වටිනා එම මුදල ලැබීමට අයිතියක්‌ නැති පුද්ගලයන්ට වංචනික සාවද්‍ය පරිහරණයක්‌ කරන බව දැන දැනම එසේ කිරීමට ඉඩ හැරීම ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව එල්ල කර ඇති ප්‍රධාන චෝදනාවකි.

මින් වැඩි චෝදනා සංඛ්‍යාවක්‌ එල්ල කර ඇත්තේ නඩුවේ දෙවැනි විත්තිකරු වන වෙලින්ටන් ට්‍රෙන්ටන් ඩේ හොව් නමැති අයට එරෙහිවයි.

විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සඳහා මෙම නඩුව ළඟදීම කොළඹ මහාධිකරණ අංක 01 දරන ශාලාවේදී කැඳවනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.