පේරාදෙණි සරසවි සිසුහු එස්‌.බී.ට විරෝධය දක්‌වති

සිරිල් විමලසුරේන්ද්‍ර, පේරාදෙනිය - රංජිත් සේනවීර

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නීති පීඨය සඳහා ගොඩනැගිල්ල විවෘත කිරීමට ඊයේ (12 වැනිදා) විශ්ව විද්‍යාලයට ගිය උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට විරෝධය පාමින් විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක්‌ මිනී පෙට්‌ටියක්‌ සහ පරණ ටයර් කීපයක්‌ තබා ගනිමින් විරෝධතාවක්‌ දැක්‌වූහ.

ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් පසුව ගොඩනැඟිල්ලේ පැවැති රැස්‌වීමේ කටයුතු අවසන් කරන තුරුම පිටත සිට සටන් පාඨ කියමින් විරෝධතා දැක්‌ වූ සිසුහු ඇමැතිවරයා වාහනයෙන් පිටවී යද්දී ද කෑකෝ ගසමින් මෝටර් රථය දෙසට ගල් කැබලි දමා ගැසූහ.

මෝටර් රථය වැටලීමටත් එය පසු පස ලුහුබැඳීමටත් තැත් කළ සිසුන් පොලිසිය සහ සරසවි ආරක්‍ෂක අංශය මගින් වළකාලන ලදී.

නීතී පීඨය විවෘත කිරීමට පෙර ශාස්‌ත්‍ර පීඨයේ පරිගණක අංශයක්‌ විවෘත කළ ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඒ අවස්‌ථාවේදී රැකවල්ලා සිටි සිසුන් මඟ හරවා වෙනත් මාර්ගයකින් නීතී පීඨ ගොඩනැඟිල්ල වෙත කැඳවා ගෙන යනු ලැබුවේය.

මෙම සිද්ධියෙන් කිසිවකුට හෝ දේපළකට හානියක්‌ සිදු නොවීය.

කෙසේ වුවත් නීති විරෝධී ලෙස හැසිරෙන සරසවි සිසුන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගත යුතු බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අභයකෝන් මහතාට උපදෙස්‌ දුනි.

තරුණ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමතිවරයා සමඟ විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.