කෝටි 18 1/2 ක ණය ගන්න දේපොළ වෙන්දේස කරයි

සරත් ධර්මසේන

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන යසෝධා කස්‌තුරිආරච්චි මහතාට අයත් යසෝධා හෝල්ඩිංග්ස්‌ සමාගම විසින් මහජන බැංකුවෙන් ලබාගත් ණය මුදලක්‌ වෙනුවෙන් අයවිය යුතු රුපියල් කෝටි 18 1/2 ක මුදල පියවා ගැනීම සඳහා බැංකුවේ උගස්‌කරයට තබා ඇති දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12 වැනිදා) එම බැංකුවට අවසර දුන්නේය.

යසෝධා සමාගමේ එකී දේපොළ වෙන්දේසියේ අලෙවි කිරීම අත්හිටවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්‌ කර තිබුණු අතර එම නියෝගයද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12 වැනිදා) ඉවත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මහජන බැංකුවේ වාසියට නඩුව තීන්දු කළේ අභියාචනාධිකරණ පැනවූ අතුරු නියෝගයට එරෙහිව ගොනු කර තිබූ ඇපෑලක්‌ විභාග කිරීමෙන් අනතුරුවයි.

මහජන බැංකුවට නඩු ගාස්‌තු වශයෙන් රුපියල් ලක්‍ෂයක්‌ ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යසෝධා සමාගමට හා කස්‌තුරිආරච්චි මහතාට ඊයේ නියෝග කරන ලදී.

මහජන බැංකුව සිය ඇපිල් පෙත්සමේ විස්‌තර කර ඇති අන්දමට යසෝධා සමාගම ණය මුදල ලබාගැනීම සඳහා දේපොළ 4 ක්‌ බැංකුවට උකස්‌ කර ඇති අතර එම දේපොළවල තක්‌සේරු වටිනාකම රුපියල් පන්කෝටි හතළිස්‌ ලක්‍ෂයකි.

එම දේපොළ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත්තේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය රැස්‌වී ගත් තීරණයකට අනුවයි. ශිරාණි තිලකවර්ධන මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මහජන බැංකුවේ ඇපෑල විභාග විය.

ජනාධිපති නීතිඥ එස්‌. පර්තලිංගම් මහතා කුෂාන් ද අල්විස්‌ හිරාන් ජයසූරිය නිස්‌කාස්‌ පර්තලිංගම් යන අධිනීතිඥවරු සමග නීතිඥ නන්දන වන්aනිආරච්චි මහතාගේ උපදෙස්‌ පිට මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිනීතිඥ රිසාඩ් අමීන් යන මහත්වරු නීතිඥ ගව්රි තවරාසා මහත්මියගේ උපදෙස්‌ පිට කස්‌තුරිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.