අධ්‍යයන දීමනා වැඩි නොකළැයි
සරසවි ආචාර්යවරු 27 වැනිදා වැඩ වරති

නිලන්ත මදුරාවල

ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි සිය අධ්‍යයන දීමනාව සියයට විසි පහකින් වැඩි නොකිරීමට එරෙහිව විශ්ව විද්‍යාලයන්හි සියලුම ආචාර්යවරු ලබන 27 වැනිදා වැඩ වර්ජනයක නිරත වෙති.

මේ බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයට ඊයේ (12 වැනිදා) ලිතව දැනුම් දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13 වැනිදා) සියලුම උපකුලපතිවරුන්ට තම වෘත්තීය ක්‍රියාමාර්ගය දැනුම් දීමට නියමිතය.

අධ්‍යයන දීමනාව වැඩි කරන තෙක්‌ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරුන්ට මසකට රුපියල් දසදහසක සහ ආධුනික කථිකාචාර්යවරුන්ට මසකට රුපියල් හයදහසක දීමනා ලබා දීමේ යෝජනාවක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය රජයට ඉදිරිපත් කර තිබිණි. මෙම යෝජනාව අමාත්‍යංශය රජයට ඉදිරිපත් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.

එහෙත් එම යෝජනාවට ද කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු හෙයින් එක්‌ දින වැඩ වර්ජනයක්‌ පැවැත්වීමට තීරණය කළ බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා "දිවයින"ට ඊයේ පැවැසීය.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ජයන්ත නවරත්න මහතාට ඊයේ (12 වැනිදා) ලිතව ම දැනුම් දුන් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.