මහනුවර දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවට
නොඑන නිලධාරීන් පොලිසිය යවා ගේනවා
නි. ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියයි

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්‌ථා ප්‍රධානීන්ගේ සහභාගිත්වය අනිවාර්ය කර තිබියදී සහභාගි නොවන නිලධාරීන් පොලිසිය යවා කැඳවාගෙන එන බව මහනුවර දිස්‌ත්‍රික්‌ සම්න්ධීකරණ කමිටුවේ සම සභාපති තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කමිටු රැස්‌වීමේදී ඊයේ (12 දා) පැවැසීය.

අදාළ නිලධාරීන් කැඳවාගෙන ඒම සඳහා පොලිසිය සූදානමින් තබන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා සහ මහනුවර පොලිසියේ මූලස්‌ථාන ප්‍ර. පො. ප. අනුරුද්ධ බණ්‌ඩාරනායක මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ රැස්‌වීමට සහභාගි වී සිටියහ.

දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම කමිටුවේ සම සභාපතිවරුන් වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල රැස්‌වීම් ශාලාවේදී පැවැත්විණි.

දෙපාර්තමේන්තු කීපයක ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම සඳහාත් පැනනැගුණු ගැටලු කීපයක්‌ නිරාකරණය කර ගැනීම සඳහාත් දෙපාර්තමේන්තු නිලධාරීන් අවශ්‍ය වූ විට ඔවුන් රැස්‌වීමට පැමිණ නොසිටියෙන් ඉදිරියේදී පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම්වලට නොපැමිණෙන අදාළ නිලධාරීන් පොලිසිය මගින් මෙලෙස කැඳවාගෙන ඒමට පියවර ගන්නා බව නියෝජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දන්වා සිටියේය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ආරක්‌ෂක තත්ත්වය පැහැදිලි කරමින් නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසුවේ උතුරේ පුනරුත්ථාපන කඳවුරුවලින් පැන යන ඇතැම් පුද්ගලයන් මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇතුළුවන බවට ලැබෙන තොරතුරු නිසා කඳුකරය විශේෂ අවධානයට යොමු වී තිබෙන බවකි.

විදේශ අධ්‍යාපන පහසුකම් සහ විදේශ රැකියා ලබාදීමේ පොරොන්දු මත මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව කටයුතු කරමින් මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ද ගෙන ඇතැයිද පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

මහනුවර ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධ තොරතුරු ගැන සොයන්න පොලිසිය සාර්ථක ලෙස පියවර ගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසීය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක, මහනුවර මහා දිසාපති ගෝඨාභය ජයරත්න, මහනුවර පුරපති සුමින්ද වික්‍රමසිංහ යන මහත්වරුද මධ්‍යම පළාත් සභා මැති ඇමැතිවරු, ප්‍රාදේශීය සභාපතිවරුන්, මන්ත්‍රීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැස්‌වීමට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.