බෑන් කී මූන්ගේ සටකපට උපාය මාර්ග පරාජය කළ යුතුයි
වාසුදේව නානායක්‌කාර

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන සටකපට උපාය මාර්ග පරාජය කිරීමට පියවර ගත යුතු යෑයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාශිංක පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

බෙදුම්වාදය පරාජය කර රට සංවර්ධනය සඳහා නව ලිබරල්වාදී විවෘත ආර්ථික මාවතින් බැහැර වෙමින් නව මාවතක්‌ ඔස්‌සේ රජය විසින් ගනු ලබන පියවරයන්ට ඇමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් විරුද්ධ වෙමින් ඇත. රට තුළ සාමාකාමි තත්ත්වයක්‌ ඇති වෙමින් ආර්ථික සමෘද්ධියක්‌ කරා ස්‌වාධීන මාවතක්‌ ඔස්‌සේ අප වැනි රවටල් ගමන් කිරීම ගැන ඔවුන්ට ඇත්තේ නොසතුටකි. එයට හේතුව වන්නේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරික මූල්‍ය පද්ධතියටද වෙළෙඳපොළවාදී න්‍යායට හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයටද අප රජයේ ක්‍රියා කලාපයන් නොගැලපෙන නිසා විය හැක. කියුබාවට හා වෙනිසියුලාවට ද මෙබඳු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත.

යුද අපරාධකරුවන් සෙවීමේ හා මානව හිමිකම් ආරක්‌ෂා කිරීමේ මුවාවෙන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේක්‌ම බෑන් කී මූන් මහතා විසින් ආරක්‌ෂක මණ්‌ඩලයේ අනුදැනුමක්‌ හෝ මානව හිමිකම් කොමිසමේ අනුමැතියක්‌ නොමැතිව අත්තනෝමතික ලෙස පත් කර ඇති ත්‍රිපුද්ගල කමිටු ක්‍රියාමාර්ගයේ අරමුණ ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කොට ජාත්‍යන්තර අපවාදයකට ලක්‌ කිරීමය. එමගින් ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව එක්‌සත් ජාතීන්ගේ සංවිධානත්මක බලය මුදාහැරීම සඳහා අනුබලයක්‌ සපයා ගැන්ම මෙහි අවසාන අරමුණ බව සිතිය හැක. යුරෝපා හවුල විසින් ජී.එස්‌. පී. බදු සහනය අවලංගු කිරීම ද ඇමරිකාවට ලංකාවෙන් අපනයනය කරන යම් භාණ්‌ඩ වර්ගවලටදී ඇති ඉඩකඩ ඇහිරීමටද ගනිමින් ඇති පියවර ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදීන් විසින් කරන දේශපාලන ආර්ථික වටලෑමක්‌ ලෙස සිතිය හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.