විමල්ගේ විකට රංගනයෙන් සිදු වුණේ
රටට අපකීර්තියක්‌ අත්වීම පමණයි
එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

පියසේන දිසානායක

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය අභියස පසුගිය දින කිහිපය තුළ විමල් වීරවංශ රඟ දැක්‌වූ විකට රංගනයෙන් සිදු වූයේ රටට අපකීර්තියක්‌ ගෙන දීම පමණක්‌ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පෙරේදා (11 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

විපක්‌ෂ නායක කාර්යාලයේ පෙරේදා (11 දා) දහවල් පැවැති මෙම පුවත්පත් සාකච්ඡාවේදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද කීය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු ලබා ගැනීම සඳහා කමිටුවක්‌ පත්කර ඇති බව අද මේ රටේ කවුරුත් දන්නා කාරණයක්‌ බව විය යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂය හා අනෙකුත් දේශපාලන පක්‍ෂත් රටේ සමස්‌ත ජනතාවත් එවැනි ජාත්‍යන්තර අත පෙවීමක්‌ අපේ රටට සිදුවීම පිළිබඳව කිසිසේත්ම ප්‍රසාදයක්‌ හා කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ.

මෙම කමිටුව සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය දිගින් දිගටම ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් අපි කවුරුත් අකැමැති මෙවැනි ජාත්‍යන්තර අත පෙවීම් සිදුවීමට මූලික හේතු සාධක වූයේ රජයේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසයි.

1947 නිදහස දිනාගැනීමෙන් පසු ව්‍යවස්‌ථාදායක හරහා රටේ ව්‍යවස්‌ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවතීරණය වුණා. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමට, තානාපති සේවාවන් කිරීමට, විදේශ රටවල් සමග ගනුදෙනු කිරීමට, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමග, පොදු රාජ්‍ය සංගමය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය, සාක්‌ සංවිධානය වැනි ලෝ පිළිගත් සංවිධාන සමග ක්‍රියා කිරීමටත් ඇතැම් අවස්‌ථාවල එම සංවිධානවල සභාපති ධුර දැරීමටත් අපට හැකියාව ලැබුණා.

එපමණක්‌ නොවේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ජාත්‍යන්තර ආයතන සමග ක්‍රියා කිරීමට අපට හැකි වුණා. නමුත් මෑතක සිට රටට අවාසනාවන්ත තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ආයතන බොහෝමයක්‌ අපේ රටට අත පෙවීමට පටන් ගෙන තිsබෙනවා.

මේ තත්ත්වය ඇති වුණේ රටට සුවිශේෂ ජයග්‍රහණ අත්පත්කර දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝදාර රණවිරුවන් නිසා නොවේ. එසේත් නැත්නම් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් විශාල කැපවීමක්‌ කළ රටේ සාමාන්‍ය ජනතාව නිසාවත් නොවේ. විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නිසා නොවේ. මෙවැනි තත්ත්වයක්‌ ඇති වුණේ රජයේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හා රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමටත් රටේ ව්‍යවස්‌ථාවට අනුව යහපාලනයක්‌ ඇති කිරීමටත් අසමත් වූ නිසයි.

රජය 17 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම, ව්‍යවස්‌ථාදායක සභාව පත් නොකිරීම, ස්‌වාධීන කොමිසන් සභා අක්‍රිය කර තැබීම, මානව හිමිකම් ආරක්‍ෂා නොකිරීම, යහපාලනයක්‌ නොමැති වීම වැනි කාරණා නිසා ජාත්‍යන්තර රටවල් මෙරටට අතපෙවීමට උත්සාහ ගන්නවා.

මෙවැනි තත්ත්වයක්‌ උදාවනු ඇති බවට අපි දිගින් දිගටම රජයට කරුණු පැහැදිලි කර දුන්නත් ඒවා ගැන කිසිදු අවදානයක්‌ යොමු කිරීමට රජය කාරුණික වුණේ නැහැ.

ශ්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා ලැබුණු ජී. එස්‌. පී. ප්ලස්‌ තීරු බදු සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය මේ වන විට තීරණය කොට තිබෙනවා. මේ නිසා ඇඟළුම් ක්‍ෂේත්‍රය හා ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලැබූ අනෙකුත් ක්‍ෂේත්‍රවල ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමිවීමේ අනතුරක්‌ දැන් අප හමුවේ තිබෙනවා. එමෙන්ම විදේශ විනිමය බහුල වශයෙන් අහිමි වෙනවා. මේවායේ අනිසි ප්‍රතිඵල බුක්‌ති විඳීමට සිදුවන්නේ රටේ මැති ඇමැතිවරුන්ට නොවේ අහිංසක ජනතාවටයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් මහතා පසුගිය කාලයේ ලංකාවට පැමිණ ආණ්‌ඩුවේ නායකයන් මුණගැසී සාකච්ඡා කළ බව අපි දන්නවා. එදා බෑන් කී මූන් මේ රජයට චූන් පාට්‌ එකක්‌ බවට පත්ව තිබුණා. රටට අපකීර්තියක්‌ ගෙන දෙමින් නර නාටක පෙන්නපු විකට ඇමැතිවරු ඒ අවස්‌ථාවේ දී නිහඬව බලා සිටියා. ඒ අවස්‌ථාවල ඔවුන් පඹයෝ පුච්චන්න හෝ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ දෙවොල් නටන්න, පෙළපාළි යන්න, උපවාස කරන්න ඔවුන් ක්‍රියා කළේ නැහැ.

මෙවැනි කරුණුවලදී රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය එක්‌සත් ජාතික පක්‍ෂය රජයට පෙන්වා දුන්නා. රට ගැන සිතා රජය රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරනවා නම් වගකිව යුතු දේශපාලන පක්‍ෂය ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය රට වෙනුවෙන් ලබාදීමට සූදානම් බව අප කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ප්‍රශ්න රාජ්‍යතාන්ත්‍රිකව විස¹ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශ කොට තිබුණා. නමුත් ආණ්‌ඩුව රාජ්‍යතාන්ත්‍රිකව ක්‍රියා නොකරන බව පසුගිය කාලයේ ඇති වූ සිද්ධීන්ගෙන් ඔප්පු වෙනවා.

බෑන් කී මූන් චූන් නාට්‍යයක්‌ රට හමුවේ රඟ දැක්‌වීමට ආණ්‌ඩුව උත්සාහ කළා. මේ ජවනිකාව පිළිබඳව රටේ අවධානය යොමු වුණා. සෑම ක්‍ෂේත්‍රයකම ඒ පිළිබඳව කතා බහට ලක්‌ වුණා. ඒ නාටකය ආරම්භයත් එහි නිමාවට පත් කරන ආකාරයත් කවුරුත් දැන සිටියා. ජනතාව තුළ කිසිදු කුතුහලයක්‌ ඇති නොවන ආකාරයට ජනතාව අපේක්‍ෂා කළ පරිදිම ඒ නාට්‍යය අවසන් වුණා.

විමල් වීරවංශ ඇමැතිවරයා යොදාගෙන ආණ්‌ඩුව රඟ දැක්‌වූ මේ නාටකයෙන් කිසිදු වාසියක්‌ රටට අත් වුණේ නැහැ. ඉන් සිදු වුණේ රට අපකීර්තියට පත්වීම පමණයි.

මේ නාට්‍යයේ අධ්‍යක්‍ෂණය, තිර රචනය හා ප්‍රධාන විකට රංගනයත් සිදු කළේ ඒක පුද්ගලයෙකි. අවසානයේ නාට්‍ය නිෂ්පාදකවරයා විකට නළුවා ළඟට පැමිණ

දණගසා වතුර වීදුරුවක්‌ දුන් විගසම සියලු අතීත කතා අමතක කොට කිසිදු ප්‍රතිඵලයකින් තොරව රටට අපකීර්තියක්‌ පමණක්‌ ඇති කරමින් රටටම හාස්‍යයක්‌ ගෙන දෙමින් විකට නළුවා නාට්‍ය අවසන් කළා.

රජය මෙවැනි විකට නාට්‍ය රඟ දක්‌වන්නේ කුමන අරමුණකින් ද කියා අද මුළු රටේම කතා බහට ලක්‌ව තිබෙනවා. ජනතාව ගොනාට ඇන්දවීමේ අරමුණින් මෙවැනි හාස්‍ය ජනක විකට නාට්‍ය රඟ දැක්‌වීමට ආණ්‌ඩුව සැලසුම් කළත් මෙවර ආණ්‌ඩුවට වඩා ඉදිරියෙන් සිටිමින් ජනතාව ඒ පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත්තා.

ඉතිහාසයේ මාරාන්තික උපවාසවල නිතර වූ අය විවිධ දුක්‌ ගැහැට මධ්‍යයේ එම උපවාස ගෙන ගියා. නමුත් මෙවර සමනල ඇඳක සුවපහසුව ගත කරන ආකාරය රටටම දැකගැනීමට හැකි වුණා. එමෙන්ම මොහොතින් මොහොත විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂාවට ලක්‌ කරමින් කටයුතු කරන ආකාරය දකින්නට ලැබුණා. දේශපාලන උප්පර වැට්‌ටියක්‌ සඳහා රඟපාමින් මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වන ආකාරය අපට ඒ මාරාන්තික උපවාසකරුවා හරහා දකින්නට ලැබිණි.

මේ රංගනය නිෂ්පාදකවරයා පැමිණ අවසන් කළත්, උපදේශක කමිටුව තවමත් ඒ අයුරින්ම තිබෙනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්වරයාගේ ස්‌ථාවරයේ කිසිදු වෙනසක්‌ සිදු වී නැහැ. මෙයින් අපට අහිමි වූණේ ජාත්‍යන්තර තිබුණ කීර්තිය තමයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යාලය වැසී ගියා. එය මගින් රජයට සෘජු බලපෑමක්‌ කළ බව එම සංවිධානය ප්‍රකාශ කළා.

අප රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාද වී හෝ සියඹලා ආණ්‌ඩු සංකල්පයෙන් මිදී යහපාලනයක්‌ ඇති රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙසයි.

ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඊට සහභාගිවීමට පක්‍ෂයේ නියෝජ්‍ය නායක දේශ බන්දු කරු ජයසූරිය, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා සහ එක්‌සත් ජාතික පෙරමුණ සමග කටයුතු කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරු විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි අපේ නියෝජිතයන් ලෙස පත්කර තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව ද මේ වන විට කතා බහට ලක්‌ව තිබෙනවා. එම ප්‍රතිසංවිධාන පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ද පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා. ඉදිරි දින කීහිපය තුළ ඒ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීන්දු තීරණවලට එළඹීමේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වීමට නියමිතයි. ඉන් අනතුරුව එම නිර්දේශ පක්‍ෂයේ මහ සම්මේලනයට ඉදිරිපත් කිරීමට ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා වන අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.