සංවර්ධන ව්‍යාපෘතිවල වියදම අඩු කරන්න
සිවිල් ආරක්‍ෂක සෙබළු සූදානමින් සිටිනවා

අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌

චමින්ද සිල්වා

රටේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති අඩු වියදමකින් නිමාකර දීමේ වැඩපිළිවෙළක්‌ සිවිල් ආරක්‍ෂක සෙබළු හරහා සිදුකර දීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා යෑයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ 09 වැනිදා කැබිතිගොල්ලෑව සිවිල් ආරක්‍ෂක සාමාජිකයන්ගේ පවුල්වල ප්‍රයෝජනය සඳහා විවෘත කරනු ලැබූ සුබසාධක වෙළෙඳසල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතා මෙසේද පැවසීය.

කැබිතිගොල්ලෑව ප්‍රදේශය ඉතා දුෂ්කර ගම්මානයක්‌ ලෙස දැනගෙන හිටියා. මේ ගමට ත්‍රස්‌තවාදය නිසා තවත් දුක්‌ගැහැට විඳිමින් විශාල විනාශයක්‌ වුණා. අපිට කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බයෙන් මියගිය පිරිස කිසිදා අමතක කරන්න බැහැ. දැන් ත්‍රස්‌තවාදය අවසන් වී ඇති නිසා ගමේ පිරිස්‌ බයෙන් සැකෙන් තොරව ජීවත්වීම පිළිබඳ අපිට ලොකු සතුටක්‌ දැනෙනවා.

ත්‍රස්‌තවාදය පැවති සමයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග ගම් රැක ගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළු විශාල කැප කිරීමක්‌ කළා. එම කැපවීම දුටු නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මඟපෙන්වීමෙන් සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවක්‌ ඇති කර එA යටතට සිවිල් ආරක්‍ෂක සෙබළු දායක කර තිබෙනවා.

සිවිල් ආරක්‍ෂක සෙබළු ගම ආරක්‍ෂා කර ගැනීමේදී තම නිවසේ සිට මුරකුටියේ රාජකාරියට පැමිණ නැවත නිවසට ගොස්‌ එහි සිට ගම ආරක්‍ෂා කිරීමට විශාල කැප කිරීමක්‌ කළා. මෙම කාර්ය වෙනත් අංශයකින් කිරීමට ගියේ නම් කඳවුරු ඉදිකිරීමේ සිට වෙනත් අවශ්‍යතා ඉටුකර දීමට රජයට විශාල වියදමක්‌ දැරීමට සිදු වෙනවා. කැබිතිගොල්ලෑව සිද්ධියත් සමගයි ගම් ආරක්‍ෂා කර ගැනීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇති වුණේ.

මේ වන විට අපේ දෙපාර්තමේන්තුව යටතේ 41,000 ක්‌ පමණ රාජකාරි කරනවා. ඉන් 18,000 ක්‌ 19,000 ක්‌ පමණ පොලිස්‌ ස්‌ථානවල රාජකාරියේ යෙදී සිටිනවා. ත්‍රස්‌තවාදය අවසන් වී ඇති නිසා රටේ සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අපිට අවස්‌ථාව ලැබී තිබෙනවා. රජයේ ඇතැම් ආයතන මූල්‍ය ප්‍රතිපාදන ලැබී නැතැයි පවසමින් සංවර්ධන කටයුතු සඳහා අවම දායකත්වයක්‌ දැක්‌ වුවත් අපිට සංවර්ධන කටයුතු සඳහා ශ්‍රමදායකත්වය විශාල ලෙස ලබාදීමේ හැකියාව මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

දැනටමත් එA සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගෙන උතුර නැගෙනහිර පුරාවස්‌තු සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියක නියෑළී සිටිනවා. එහිදී අපේ දෙපාර්තමේන්තුව හරහා අමුද්‍රව්‍ය සොයා දීම, ශ්‍රමදායකත්වය ලබාදීම වැනි කාර්යයන් සිදු කිරීම නිසා විශාල වියදමක්‌ දරා සිදු කළ යුතු ව්‍යාපෘති අවම වියදමකින් කිරීමේ හැකියාව පවතින බව කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය පුරාණ දාගැබ සංරක්‍ෂණ කිරීම වැනි කටයුතු තුළින් පෙන්වාදීමේ හැකියාව අප සතුව පවතිනවා.

එA වගේම මේ වන විට සිවිල් ආරක්‍ෂක සෙබළු විසින් රිටිගල ආසන්නයේ සහ තල්ගස්‌වැව ප්‍රදේශවල ගොවිපළවල් සකස්‌ කර පවත්වාගෙන යනවා. එම ගොවිපළවල් අලි ඇතුන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා ඔවුන් විශාල ලෙස වෙහෙස මහන්සිවී කටයුතු කරනවා. මෙවැනි ගොවිපළවල් තවත් ප්‍රදේශ කිහිපයක ආරම්භ කිරීමට ද දෙපාර්තමේන්තුව අදහස්‌ කර තිබෙනවා.

ගම්පහ ලංකාවේ ආදර්ශම නගරය බවට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට දායක කරගැනීමට සිවිල් ආරක්‍ෂක බළකායේ 5000 ක්‌ පමණ පිරිසක්‌ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කර තිබෙනවා.

මෙම උත්සව අවස්‌ථාවට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල මහතා ඇතුළු ආරාධිතයන් රැසක්‌ සමග ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ බලධාරීහු ද සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.