දානපතියනි කරනවානම් මෙන්න පින්කමක්‌

තවත් දවසක්‌ හෝ ජීවිතය ගෙනයන්ට ජීවිත සටනකට වැදී සිටින පිළිකා රෝගීනට ඇප උපස්‌ථාන කිරීමට පරිත්‍යාගශීලින් හා දානපතියන් ඉදිරිපත් වුවද ඔවුනට උදාවී ඇති ගැටලුවකට මෙතෙක්‌ කිසිවකු තම නෙත් සිත් යොමවා ඇති බවක්‌ පෙනෙන්නට නැති බව කනගාටුවෙන් වුවද මතක්‌ කළ යුතුව ඇත. එසේ වුවද මහරගම තරුණ බෞද්ධ සංගමය මෙම භාරදූර සද්කාර්ය සඳහා උරදීමට ඉදිරිපත්වී සිටීම මෙම රෝගීනට හා ඇප උපස්‌ථාන කරුවනටද මහත් අස්‌වැසිල්ලකි.

මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු එන්නත් හා විකිරණ ප්‍රතිකාර සඳහා සතියකට වරක්‌ දෙකක්‌ දිනපතා උදැසන රෝහලට පැමිණිය යුතුය. මේ සඳහා මහරගම පිළිකා රෝහලේ නේවාසික පහසුකම් නොලැබේ. එමනිසා දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ප්‍රදේශයේ වෙහෙර විහාරවල ඥති මිත්‍රාදීන්ගේ නිවෙස්‌වලත් තවත් සමහරු පෞද්ගලික නිවාස වලත් නවාතැන් ගෙන සිටිති. එම නිවසකට රු. දහසකට අධික මුදලක්‌ ගෙවීමටද සිදුව ඇත. බස්‌ ගාස්‌තුව පවා ගෙවා ගැනීමට නොහැකිව රෝගීව අසරණව සිටින මෙම පිරිස ගැන නෙත් සිත් යෙදවූ මහරගම තරුණ බෞද්ධ සංගමය රජයේ ද ආධාර ඇතිව ලබා ගන්නා ලද බිමේ මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම් ආරම්භ කරනලදී. මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැඟිල්ලේ බිම් මහලේ සම්පූර්ණයෙන්ම පිළිකා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා පසු ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පරිහරණය සඳහා වෙන්කර ඇත. එම රෝගීන් සඳහා අවශ්‍ය වන ආහාර පාන ඇඳ ඇතිරිලි සියලු නේවාසික පහසුකම් ලබා දීමට තරුණ බෞද්ධ සංගම් නිලමඩුල්ල කටයුතු කර තිබීම පැසසිය යුතුය.

මේ වන විට නේවාසික රෝගීන් 65 දෙනෙකු සඳහා අංගසම්පූර්ණ වාට්‌ටුවකට සමාන බිම් මහලේ වැඩ කටයුතු සියල්ල සම්පූර්ණ කර ඇති නමුත් මෙවැනි පිරිසකට අවශ්‍ය වන වැසිකිළි කැසිකිළි පද්ධතියක්‌ ඇතුළු තවත් උපකරණ සඳහා ලක්‍ෂ දහයකට අධික මුදලක්‌ හැකි ඉක්‌මනින් දානපතියන්ගෙන් බලා පොරොත්තු වන බව මහරගම තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. අයි. ඩී. පී. සමරසේකර මහතා "දිවයින"ට පැවැසීය.

මෙම ජුලි මාසය අවසන් වීමට පෙර ඉදිරි මාසයක පමණ කාලයක්‌ තුළ මෙම ගොඩනැඟිල්ල රෝගීන්ගේ සුව පහසුව තකා ජනතා සන්තක කිරීමට මහරගම තරුණ බෞද්ධ සංගමය කටයුතු යොදා ඇති බවද සමරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

සරණපාල පමුණුව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.