ශ්‍රී ලාංකික තරුණයන්ට මාස 6ක්‌
ඊශ්‍රායලයේ කෘෂිකර්ම රැකියා


ශිරාන් රණසිංහ

මාස හයක කාලයක්‌ සඳහා ශ්‍රී ලාංකික තරුණයින් ඊශ්‍රායලයේ කෘෂිකර්ම කම්කරු තනතුර සඳහා යෑවීමේ වැඩසටහන ආරම්භ කරමින් ලබන ඔක්‌තෝබර් මාසයේදී මෙරට තරුණයින් තුන්සියයක්‌ එරටට යෑවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතා පවසයි.

ඊශ්‍රායලයේ අදාළ රැකියාව වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂයට මඳක්‌ වැඩි වැටුපක්‌ (ඇමරිකන් ඩොලර් 1000 ක්‌) හිමිවන අතර මාස හයක කාලයක්‌ සාර්ථකව රාජකාරි ඉටුකර එන විට ඩොලර් 750 ක (රුපියල් 75,000 කට වැඩි මුදලක්‌) වැඩිපුර මුදලක්‌ ලෙස ගෙවීමට නියමිත බවද සභාපතිවරයා කීවේය.

මෙම රැකියා වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරි ඊටේ ටැන්aගර් මහතා සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්‌ද කාර්යාංශයේ දී පසුගියදා පවත්වා තිබේ.

ඊශ්‍රායාල් රජය මගින් මෙම රැකියා වැඩපිළිවෙළ යටතේ එරටට එන ශ්‍රමිකයන්ට යැමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්‌පත්ද ලබාදීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය සමග පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙරට තරුණයින්ට එරට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියා ලබාදීමට ඊශ්‍රායල් රජය එකඟ වී තිබේ.

ඊශ්‍රායලය සහ තායිලන්තය අතර වසර විස්‌සක්‌ තිස්‌සේ මෙම ගිවිසුම ක්‍රියාත්මක වන අතර ඒ යටතේ තායිලන්තයේ තරුණයින් තිස්‌දහසක්‌ පමණ මාස හයක සේවා කාලයක්‌ සඳහා ඊශ්‍රායලයේ රැකියාවලට යන බවද කිංස්‌ලි රණවක මහතා පැවසීය. මෙම රැකියා වැඩපිළිවෙළ රජයේ රැකියා ඒජන්සිය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.