ජන කොටස්‌ අතර විශ්වසනීයත්වය ගොඩනැගීමේදී
ලේඛකයන්ට මහඟු මෙහෙවරක්‌ කළ හැකියි

සිංහල දෙමළ ලේඛක එකමුතුවේ නියෝජිත හමුවකදී ජනාධිපති කියයි

ජන කොටස්‌ අතර විශ්වසනීයත්වය ගොඩ නැගීමේදී ලේඛකයන්ට මහඟු මෙහෙවරක්‌ කළ හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ සිංහල දෙමළ මුස්‌ලිම් ලේඛක ලේකාවන් කණ්‌ඩායමකින් සුසැදි සිංහල දෙමළ ලේඛක එකමුතුවේ සාමාජිකයන් විසින් මෑත කාලයේ පළකරන ලද සාහිත්‍ය කෘති රැසක්‌ එතුමා වෙත පිරිනැමීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

තරුණ කටයුතු, රැකීරක්‍ෂා හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු සමග ග්‍රන්ථ ප්‍රකාශක දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාද මේ හමුවට සහභාගි වූහ. ග්‍රන්ථ පිළිගැන්වීමට අමතරව සාමය, සුහදත්වය හා සහජීවනය සියලු ජන කොටස්‌ අතර තහවුරු කිරීමෙහි ලා සිංහල දෙමළ ලේඛක එකමුතුව විසින් සැකසුණු යෝජනා මාලාවක්‌ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිතුමා සඳහන් කළේ වසර තිහක ත්‍රස්‌තවාදය නිමා වුවත් එමගින් ලක්‌වැසි ජනයාගේ හදවත් තුළ හටගත් සැක සංකා තවමත් සපුරාම බැහැර වී නැති බවකි. ශේෂව පවතින එබඳු මනෝභාවයන් දුරුකොට ජනතාව අතර අෙන්‍යාaන්‍ය විශ්වාසය තහවුරුකිරීමේදී සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් වැඩි වැඩියෙන් සාහිත්‍ය කෘති පළකිරීමේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේය. රටේ ප්‍රධානතම භාෂා දෙක වන සිංහල හා දෙමළ භාෂා අධ්‍යාපනය කෙරෙහිද ජනාධිපතිතුමාගේ විශේෂ සැලකිල්ල යොමුවිය. භාෂා අධ්‍යාපනය කෙරෙහි එතුමා තුළ පවතින දැඩි සංවේදීත්වය පෙන්නුම් කරමින් ජනාධිපතිතුමා මෙසේ පවසා සිටියේය.

"ජනතාව අතර විශ්වාසය පලුදුවීමට තුඩුදුන් ප්‍රධාන හේතුවක්‌ හැටියට භාෂා ගැටලුව ද මා දකිනවා. වසර තිහක යුද්ධය අපට කියාදෙන තවත් පාඩමක්‌ හැටියට එය සැලකිය යුතුයි. මගේ විශ්වාසය නම් අපේ රටේ අනාගත පරපුරට පෙර පාසල් මට්‌ටමේ සිටම සිංහල - දෙමළ භාෂා ඉගැන්විය යුතු බවයි. සිංහල දරුවන්ට දෙමළ බසත්, දෙමළ දරුවන්ට සිංහල භාෂාවත් ඉගැන්වීමේ ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමේ වැදගත්කම අප තේරුම් ගත යුතුයි. අතීතයේ ඇති වූ ෙ€දවාචකයන් අනාගතයේදී යළි පැනනොගැනීමට අවශ්‍ය සෑම පියවරක්‌ම ගැනීම අපේ වගකීමක්‌. උතුරු නැගෙනහිර ප්‍රදේශවල යෝධ සංවර්ධන ව්‍යාපාර අරඹනවා වගේම සමාජයීය හා සංස්‌කෘතික වශයෙන් ඇති කළ යුතු පුනරුදයන් කෙරෙහිද අපගේ පූර්ණ අවධානය යොමුවෙමින් පවතිනවා. ජනතාව අතර විශේෂයෙන්ම රටේ අනාගත පරපුර අතර පොත පත කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම මීට එක පිළියමක්‌. ඒ කාර්යයේදී සිංහල දෙමළ හා මුස්‌ලිම් ලේඛක ලේකාවන් එක්‌වී කරගෙන යන මේ කටයුතු අප අගය කරනවා. දැන් තිබෙන්නේ සියලු සැක සංකා දුරුකර අප සියලු දෙනාම එක්‌ වී එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගීමේ භාරදූර කාර්යභාරයට උරදීමයි. එම පණිවිඩය සමස්‌ත සමාජයටම රැගෙන යන ලෙස ලේඛකයන් ද ඇතුළු කලාකරුවන්ගෙන් මා ඉතා ලෙන්ගතුව ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමාගේ අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකේය සාහිත්‍යයක්‌ ගොඩනැංවීමේදී රාජ්‍ය අංශයෙන් ලබාදිය යුතු අනුග්‍රහය පිළිබඳවද එම අවස්‌ථාවට සහභාගි වූ ලේඛක ලේකාවෝ කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපතිතුමාට පිළිගන්වන ලද සංදේශයේ එම කරුණු පැහැදිලිවම ඉදිරිපත් කර තිබිණි. විශේෂයෙන්ම ප්‍රධාන යෝජනා පහක්‌ එකමුතුව විසින් ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකර තිබිණි.

ශ්‍රී ලාංකේය ලේඛක මධ්‍යස්‌ථානයක්‌ අගනුවර පිහිටුවීම.

සිංහල හා දෙමළ කෘති පරිවර්තනය කිරීමේ විශේෂ ඒකකයක්‌ පිහිටුවීම.

පොත් මිලට ගෙන බෙදාහැරීමේ ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ ඇරඹීම.

පොත් මුද්‍රණය කිරීම සඳහා විශේෂ කඩදාසියක්‌ හඳුන්වාදීම.

රාජ්‍ය විද්යුත් මාධ්‍යයන්හි සිංහල දෙමළ භාෂා ඒකක පිහිටුවීම.

මෙම යෝජනාවලට අමතරව සිංහල දෙමළ ලේඛක එකමුතුව විසින් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන සිංහල දෙමළ හා මුස්‌ලිම් ලේඛක හමුව පිළිබඳවද ලේඛකයෝ කරුණු දැක්‌වූහ. තරුණ කොටස්‌ හා විවිධ වෘත්තීන්හි නිරතව සිටින්නන්ට සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීමේ වැඩපිළිවෙළක්‌ ඇරඹීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිණි. අදාළ අංශ කෙරෙහි ලේඛක එකමුතුවේ යෝජනා යොමුකිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා සමග පැවැති මේ සුහද හමුවට දෙනගම සිරිවර්ධන, කෙලිවත්තෙහි ජෝසප්, වජිර ප්‍රභාත් විජයසිංහ, ඇන්ටනි ජීවා, ටෙනිසන් පෙරේරා, දික්‌වැල්ලේ කමාල්, අමරසිංහ කුඩගල්ආර, පද්මා සෝමකැන්දන්, එච්. එල්. විදානපතිරණ, මේමන් තවී, උපාලි ලීලාරත්න, රවී රත්නවේල්, එස්‌. ආරියනාදන්, එල්. ඩී. ද. එස්‌. උභයරත්න, මොහොමඩ් රාසුක්‌, කමල් පෙරේරා හා ග්‍රන්ථ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

සිංහල දෙමළ ලේඛක එකමුතුවේ සම්බන්ධීකාරක

කමල් පෙරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.