පුස්‌සැල්ලාව වතුයායක ගැබිනි මවක්‌ ලොරියකින්
රෝහලට ගෙනයද්දී ප්‍රසූත කළ දරුවා මියයයි
ඊට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක්‌


හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

පුස්‌සැල්ලාව වතුයායක සේවය කරන ගැබිනි කාන්තාවක්‌ ලොරි රථයකින් රෝහල කරා ගෙන යමින් සිටියදී එම ලොරිය තුළදීම දරු ප්‍රසූතිය සිදුවූ එකී බිළිදා මියගොස්‌ ඇත. එයට විරෝධය දක්‌වමින් වැවිලි කර්මාන්ත සමාජ සංසදය මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක්‌ ඊයේ හැටන් නගරයේදී පැවැත්විණි. වතුකරයේ වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධාන කීපයකින් සැදුම්ලත් මෙම වැවිලි කර්මාන්ත සමාජ සංසදය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සඳහා වතුකරයේ කාන්තාවන් මෙන්ම ළමයි ද එක්‌ව සිටියහ.

ගැබිනි කාන්තාවන් රෝහල් කරා ගෙන යැමේදී වතුවල ඇති ගිලන් රථ භාවිත නොකර ලොරි රථයකින් මෙම ගැබිනි කාන්තාව මෙසේ රෝහල වෙත ගෙන යැම හේතුවෙන් එම බිළිදා මියගිය බවට චෝදනා කරන මෙම උද්ඝෝෂකයෝ මෙම තත්ත්වය හමුවේ වතුකරයේ ජීවත්වන ගැබිනි මවුවරුන්ගේ ජීවිත අවදානමක පවතින බවද පවසති. එමෙන්ම ගැබිනි මවක්‌ යනු හරකකු, එළුවකු නොවන බවත් වතුවල පාලනාධිකාරිය විසින් එම වතුවල ජීවත්වන ගැබිනි මවුවරුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.