ශ්‍රී ලංකා බොක්‌සිං පිල අද පිලිපීනයට යයි

ඉන්ද්‍රජිත් සුබසිංහ

පිලිපීනයේ මැනිලා නුවර මෙම 14 වැනිදා සිට 18 වැනිදා දක්‌වා පැවැත්වෙන එන්. පී. පී. කුසලාන ජාත්‍යන්තර බොක්‌සිං තරගාවලියට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ අද (13 දා) අලුයම දිවයිනෙන් බැහැරවීමට නියමිතය.

මෙයට ක්‍රීඩකයන් 5 දෙනකු සහ ක්‍රීඩිකාවන් තිදෙනකු අයත් වන අතර පසුගිය අප්‍රේල් මස පැවැති තෝරාගැනීමේ තරගාවලියක්‌ ඇසුරින් මෙම කණ්‌ඩායම නම් කෙරිණි.

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සහ ලබන සැප්තැම්බර් මස බාබඩෝස්‌ හි පැවැත්වෙන ලෝක ශූරතා කාන්තා බොක්‌සිං තරගාවලිය සඳහා පෙරහුරුවක්‌ ලෙසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා ආධුනික බොක්‌සිං සංගමය ඉන් ඔබ්බට යමින් ලබන ඔක්‌තෝබර් මස ඉන්දියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සූදානමක්‌ ලෙසින් ද මෙම තරගාවලිය යොදා ගැනීමට බලාපොරොත්තු වේ.

මෙහිදී පිරිමි අංශයෙන් ටී. එන්. තෙන්නකෝන් (යුද හමුදාව), සී. එන්. සමරසේකර ස්‌ලිම් ලයින්), මංජු වන්නිආරච්චි (ස්‌ලිම් ලයින්), කමක්‌ සමීර (ස්‌ලිම් ලයින්), ආර්. රාජපක්‍ෂ (ස්‌ලිම් ලයින්) ශ්‍රී ලංකාව නියෝජනය කරති. කාන්තා අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ නිල්මිණි ජයසිංහ (ස්‌ලිම් ලයින්) නිලූකා කරුණාරත්න (යුද හමුදාව) සහ අනුෂා කොඩිතුවක්‌කු (ස්‌ලිම් ලයින්) විසිනි.

මෙම වසරේ සිට කාන්තා කිලෝග්‍රෑම් 46 බර පංතිය ජාත්‍යන්තර තරගවල දී අහෝසි වන බැවින් කිලෝග්‍රෑම් 48 බර පංතියට අදාළව විශේෂ තේරීම් තරගයක්‌ පැවැත්වීමට බොක්‌සිං බලධාරීන් කටයුතු කළේය.

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (11 දා) පැවැති අදාළ තේරීම් තරගය යුද හමුදාවේ එල්. ජී. චන්ද්‍රිකා සහ ස්‌ලිම්ලයින් ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්‌කු අතරේ පැවැත්වුණි. එහිදී පහසු ජයක්‌ ලබමින් අනුශා කොඩිතුවක්‌කු මෙම තරගාවලියට වරම් ලැබුවාය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරුවන් ලෙසින් ටී. බී. හර්ෂ කුමාර සහ කියුබානු ජාතික ෂන්තානු යන මහත්වරු සහභාගි වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.