දැල්පන්දු පරිපාලනයේ නව තීරණයක්‌
ජාතික මට්‌ටමේ සියලුම දැල්පන්දු ශූරතා කොළඹින් බැහැර


සුසිල් ප්‍රේමලාල්

ඉදිරි මාස පහ ඇතුළත ජාතික මට්‌ටමේ දැල්පන්දු තරගාවලි හතරක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සැලසුම් කොට තිබේ.

අදාළ සියලුම තරගාවලි කොළඹින් බැහැර ප්‍රදේශවලදී පැවැත්වීමට තීරණය වී ඇති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ද මූලික අනුමැතිව හිමිවී ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මිය "දිවයින" ට පැවැසුවාය.

අන්තර් සමාජයීය විවෘත දැල්පන්දු ශූරතාව, ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව, ජාතික දැල්පන්දු ශූරතාව සහ අන්තර් සංගම් දැල්පන්දු ශූරතාව ඉදිරි මාස පහ ඇතුළත පැවැත්වීමට සැලසුම් කොට ඇති ජාතික මට්‌ටමේ දැල්පන්දු තරගාවලි වෙයි.

ඒ අතරින් අන්තර් සමාජයීය විවෘත දැල්පන්දු තරගාවලිය ලබන 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය මැක්‌හෙන්සර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇති ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ජාතික ශූරතා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය මහනුවරදී ද ජාතික දැල්පන්දු ශූරතාව හෝ අන්තර් සංගම් දැල්පන්දු ශූරතාව යාපනයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපති ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය ප්‍රමුඛ දැල්පන්දු විධායක කමිටුවේ අවධානය යොමු වී ඇති බව ජයතිලක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත අන්තර් සමාජයීය දැල්පන්දු තරගාවලිය සඳහා දැල්පන්දු කණ්‌ඩායම් 60 ක සහභාගිත්වය දැල්පන්දු පරිපාලනය අපේක්‍ෂා කරයි.

"ඒ", "බී" සහ "සී" වශයෙන් කොටස්‌ 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා අයෑදුම්පත් බාරගැනීම මෙම 15 දායින් අවසන් වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.