අකමැත්තෙන් හෝ මුරලිගේ 800 වැලැක්‌වීමට සිදුවේවි
ඉන්දීය නායක දෝනි

චමිල කරවිට

ලෝක පූජිත පිටදඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්‌ට්‌ තරගයේදී ඔහු සමගින් ක්‍රීඩා කිරීමට ලැබීම විශාල භාග්‍යයක්‌ බව පවසන ඉන්දීය ක්‍රිකට්‌ නායක මහේන්ද්‍ර සිං දෝනි එහිදී ඔහුගේ අභියෝගය වන කඩුළු 800 යේ සීමාව පසු කිරීම නැවැත්වීම වෙනුවෙන් තමා සහ තම කණ්‌ඩායමේ උපරිමය යොදවන බව පැවැසීය.

ලබන 18 දා ගාල්ලේදී ඇරැඹෙන මයික්‍රොමැක්‌ස්‌ කුසලාන ඉන්දු ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ තරගාවලිය වෙනුවෙන් ඊයේ (12 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායකයා එසේ පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහේන්ද්‍ර සිං දෝනි, මුරලි වැනි විශිෂ්ඨ පන්දු යවන්නකුට මෙම තරගයේදී කඩුලු 800 ක්‌ ලබාගැනීම එතරම් අපහසු කටයුත්තක්‌ නොවන නමුත් අකමැත්තෙන් හෝ ඔහුගේ එම ඉලක්‌කය අඩාල කිරිමට තමා ඇතුළු කණ්‌ඩායමට හැකි උපරිමය යෙදීමට සිදුවන බවද පැවැසීය. මුරලිගේ අවසන් ටෙස්‌ට්‌ තරගය වන ලබන 18 දා ගාල්ලේදී ඇරඹෙන ටෙස්‌ට්‌ තරගය වන අතර එහිදී ඔහු කුඩුලු 8 ක්‌ ලබා ගත හොත් ලොව කඩුලු 800 ක්‌ ලබාගත් පළමු හා එකම ක්‍රීඩකයා වීමට මුරලිට හැකි වනු ඇත.

මෙම තරගාවලියේදී තෙවැනි විනිසුරු විමසීමේ ක්‍රමවේදය උපයෝගී කර නොගැනීම පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඉන්දීය නායකයා එය නිසි ක්‍රමවේදයක්‌ යටතේ යොදා ගත්නේ නම් ටෙස්‌ට්‌ තරග සඳහා වඩාත් සුදුසු බව පවසා සිටියේය.

මේ පිළිබඳව හාත්පසින්ම වෙනත් අදහසක්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායක කුමාර සංගක්‌කාර පවසා සිටියේ තෙවන විනිසුරු විමසීමේ ක්‍රමවේදය මෙම තරගාවලියේ යොදා ගැනීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්‌ බවයි.

වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර 2008 වසරේ මෙම ක්‍රමවේදය යොදා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්කර ගැනීමට හැකිවූ බවද සඳහන් කර සිටියේය.

ඉන්දීය කණ්‌ඩායම ක්‍රීඩා කරන එකම තුන් දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට්‌ කණ්‌ඩායම සමගින් කොළඹ කෝල්ස්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.