ලිබියාවේ රැකියාලාභීන්ට
මහජන බැංකුවෙන් ණය පහසුකම්


ශ්‍රී ලංකාව හා ලිබියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සවිමත් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට එරට රැකියා අවස්‌ථා සඳහා ඉඩකඩ ලබා දී තිබේ. මේ අනුව ගොඩනැඟිලි ඉදි කිරීමේ කර්මාන්තයට අදාළව මේසන්වරුන්, වඩු බාස්‌ වරුන්, විදුලි කාර්මිකයන්, විදුලි කාර්මික සහයකයන් ආදී මනා වෘත්තිය නිපුණතාවයක්‌ ඇති වෘත්තිකයන්ට ලිබියාවේ රැකියා මාර්ග ගණනාවක්‌ විවර වී ඇත.

මෙසේ ලිබියානු රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ පෙර ගමන් වියදම් සපයා ගැනීම සඳහා මහජන බැංකුව විසින් ණය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ත කාර්යාංශයේ ලියාපදිංචි බලයලත් රැකියා නියොජිත ආයතනයකින් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් ලිබියානු රැකියා සඳහා නිර්දේශ කරනු ලැබු සුදුසුකම් ලත් ඕනෑම පුද්ගලයෙකුට මෙම ණය මුදල සඳහා අයදුම් කළ හැකිය.

මෙහිදී රු 100,000/- ක උපරිමය දක්‌වා සහන පොලී අනුපාත මත ණය පහසුකම් ලබා ගත හැකි අතර ආපසු ගෙවීම සඳහා මාස එකක සහන කාලයක්‌ සමඟ මාස 13 ක කාලයක්‌ ලබා දී තිබීම විශේෂත්වයකි. මෙම ණය මුදල ලබා ගැනීමේදී රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු හෝ පිළිගත් පුද්ගලික ආයතනයක රු. 20,000/-ට වඩා වැඩි වැටුපක්‌ ලබන පුද්ගලයන් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

ලිබියානු රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයන්ගේ මූලික වියදම් ආවරණය කිරීම මෙම ණය යෝජනා ක්‍රමයෙන් බලාපොරොත්තු වේ. ඒ අනුව ගුවන් ටිකට්‌ පත් ගාස්‌තු වීසා ගාස්‌තු, රක්‍ෂණ ගාස්‌තු, හා රැකියා නියෝජිත ආයතනයේ ගාස්‌තු ආදී විවිධ පෙර ගමන් වියදම් අවශ්‍යතා සඳහා මෙමගින් ණය පහසුකම් ලබා දේ.

ලිබියානු රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ට තම විදේශ ගුවන් ප්‍රවේශපත්‍රය මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ ආයතනය මගින් මිලදී ගැනීමට අවස්‌ථාව සලසා තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ පිහිටි මහජන බැංකුවේ විදේශිකා සේවා මධ්‍යස්‌ථානය හරහා බත්තරමුල්ල ශාඛාව මගින් ක්‍රියාත්මක වේ.

වැඩි විස්‌තර සඳහා 011-2885858 දුරකථනය ඔස්‌සේ බත්තරමුල්ල ශාඛාවේ ණය කළමනාකාර, රුවන් විඡේනායක මහතා ඇමතීමෙන් ලබා ගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.