සංස්‌කරණය : නාරද නිශ්ශංක

"මතක ලොවේ දොර අගුළු ඇරේ අද.... "
හරුන් ලන්ත්‍රාගේ අද දුක්‌බර ජීවිතය දෙස නෙත් යොමමු

 

මීට ටික කලකට පෙර "දිවයින" කාර්යාලයට පැමිණි හරුන් ලන්ත්‍රා නම් ප්‍රතිභාසම්පන්න ගායන ශිල්පියා තමන්ගේ වේදනාබර ජීවිතය ගැන පැවැසූ වදන් මට තවමත් මතකය. රජයෙන් ලැබෙන රුපියල් දෙදහසක පුංචි ආධාර මුදලින් තමන් හා තම බිරිඳ ජීවිතය ගැටගසා ගන්නා අන්දම ප්‍රකාශ කළේ "ජීවිතය යනු එහෙම තමා" යනුවෙන් ඔහු ඔහුටම පවසා ගනිමිනි. එදා ඔහුගේ දුක්‌බර කතාව අපි "දිවයින" පුවත්පතේ පළ කළෙමු. අද මේ කතාව ලියන්නට පෙර අපි හරුන් ලන්ත්‍රාට කතා කරන්නට ප්‍රයත්න ගතිමු. එහෙත් එදා ප්‍රසංග වේදිකාවේ ලක්‍ෂ සංඛ්‍යාත රසිකයන්ට ආදරණීයව ගී ගැයූ ඔහුට අද කිසිවක්‌ කතා කරන්නට නොහැක. ඔහු තමාගේ ජීවිතයේ ලොකුම ශක්‌තිය ලෙස සැලකූ බිරිඳට ද අද ඇස්‌ පෙනෙන්නේ නැත. පුරුද්දට මෙන් නිවසේ ඔබමොබ ඇවිද යමින් ඇය ඉවුම් පිහුම් කරමින් තියෙන දෙයක්‌ කෑමට ගෙන කැලණිය පොල්හේනවත්ත නිවසේ ඔවුන් දෙදෙනා ගතකරන දුක්‌බර දිවිය දකින කාහට වුවද දැනෙනුයේ දැරිය නොහැකි වේදනාවකි. (හරුන් ලන්ත්‍රාගේ ජීවිතය ගැන අපට සැළකර සිටි ඔහුව රැකගැනීමට වෙහෙසෙන තිස්‌ස ඩයස්‌ කලා ශිල්පියාට අපේ කෘතඥතාව හිමිවේ.)

මිතුරන් අතරේ මිත්‍ර සමාගමයේ යෙදෙමින් විහිළු තහළු කරමින් වරෙක මධුවිත තොලගාමින් ඔහු සමඟ ගතකළ යහළුවන් වැනි අය අද ඔහු ළඟ දකින්නට නැත. මට ඒ දසුන විටින් විට මතක්‌ වනුයේ මධුවිත තොලගෑමෙන් පසු ඉතිරිවන දෙයක්‌ නැතැයි කියමින් ත්‍රිරෝද රථයක පිටුපස වරෙක මා දුටු සටහනකි. "සල්ලිත් නෑ. සනීපත් නැහැ. අන්තිමේ යහළුවොත් නැහැ" මෙය හරුන් ලන්ත්‍රාව විතරක්‌ නොව අප කාටත් පොදු සත්‍යතාවක්‌ නොවන්නේද?

එදා අප හමුවන්නට හරුන් ලන්ත්‍රා පැමිණ කලකට පසු ඔහුගේ වචන උච්චාරණය කිරීමේ හැකියාව නැති වූ බව දැනගත් අප යළි ඔහුව දකින්නට ගිය විට ඔහුගේ බිරිඳ කීවේ මෙවන් කතාවකි. "සුළු සැත්කමක්‌ කරලා ඔහුට කතා කිරීමේ හැකියාව ලබාගත හැකි බව ඇතැම් වෛද්‍යවරු පැවැසුවත් එවැනි සැත්කමක්‌ කරගන්නට ආර්ථික ශක්‌තියක්‌ නැතිකම නිසා එය කරගත නොහැකි වී ඇතිවග ඇය එදා අපට පළකර සිටියාය. "එයාට කටහඬ තිබුණා නම් සින්දුවක්‌ කියලා හරි අපිට ජීවත්වෙන්න තිබුණා. ඒත් මොනව කරන්නද?" ටවර් හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 2000 න් තමයි මාසෙම ජීවත් වෙන්නේ. සනත් ගුණතිලක මහත්තයට පිංසිදු වෙන්න මේ ඉන්න තැන අපට ලැබුණා. දැන් මටත් ඇස්‌ පෙනීම දුර්වල වේගෙන යනවා. අපිට ජීවත් වෙන්න උදව් කරන්න. එදා හරුන්ගේ බිරිඳ අපිට එලෙස පැවැසූ අන්දම මට මතකය.

ආයාසයකින් මෙන් පෙර මෙන් මුවඟට සිනා පොදක්‌ නගමින් අප හා දොඩමළු වන්නට හරුන්ට උවමනාව ඇති වග පෙනේ. එහෙත් දෛවය ඊට ඔහුට අද ඉඩ නොදේ.

හරුන් ලන්ත්‍රා 1953 තිරගත වූ "ප්‍රේම තරගය" චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්‌විය. ඉන්පසු "අශෝකා", "මා ආලය කළ තරුණිය" වැනි සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපටවල මෙන්ම "හැංගිහොරා," "ගොපළු හඬ", "හිතට හිත", "රන්රසි", "සීගිරි කාශ්‍යප", "සෝබන සිත", "පුංචි බබා", "වීදුරු ගෙවල්", "සුදු දුව" ඇතුළු චිත්‍රපට රාශියකට පසුබිම් ගී ගැයුවේය.

1966 තිරගත වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නම් වූ ප්‍රවීණ සිනමාවේදියා එදා අධ්‍යක්‍ෂණය කළ "සැනසුම කොතැනද" චිත්‍රපටයට ගැයූ (ධර්මසිරි ගමගේ පදරචනය කළ ආචාර්ය පේමසිරි කේමදාසයන් සංගීතවත් කළ) "සුළං කුරුල්ලෝ" ගීතය හරුන් ලන්ත්‍රාගේ මධුර මනෝහර ගී හඬෙහි අමරණීය සිහිවටනයක්‌ වැන්න. "හංසරාණී", "මගේ නාමලී", "චන්ද්‍රයා පායා", "හද මල් පඳුරේ", "පිරුණා හද සන්තානේ" සමන් ගිරෙන් පායා.... ගංගාවේ නීල ජලේ.... ලොවේ සැමා.... රත්තරං කූඩුවේ වීණාවේ සත්සර රාවේ... හඳපානේ මල් පිපිලා..... මැව්වාද කවුරු ප්‍රේමේ ආනන්ද මේ මේ රැයේ සාගරේ සිහිලැල්... ජීවිතේ යෞවන යාමේ ආදී ඔහු ගැයූ අමරණීය ගීත අප අදත් රස විඳිමු. ආර්. මුත්තුසාමි, ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, එම්. කේ. රොක්‌සාමි, සිසිර සේනාරත්න, පී. එල්. ඒ. සෝමපාල වැනි සංගීතවේදීහු ඔහුගේ ගීතවලට සංගීතය නිර්මාණය කළහ. එපමණක්‌ නොව ශ්‍රී නිහාල් ජයසිංහ, කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, සරත් විමලවීර, ආටිගල සරත්චන්ද්‍ර, හර්බට්‌ එම්. සෙනෙවිරත්න, සිරිල් ඒ. සීලවිමල, විමලවීර පෙරේරා, ජෝර්ඡ් ලෙස්‌ලි රණසිංහ වැනි අතිදක්‍ෂ ගේය පද රචකයන් ලියූ ගීත ගයන්නට ඔහුට අවස්‌ථාව ලැබිණි. එදා ආදරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගෙන් වරෙක තමා ප්‍රියකරන ගායකයා කවුදැයි විමසූ විට ඔහු හරුන් ලන්ත්‍රා බව පැවසූ අයුරු අපට මතකය.

දේශීය සිනමාවේ ප්‍රථම දශකයේදී සිනමාවට පිවිස සිනමා කලාවට විශිෂ්ට දායකත්වයක්‌ ලබාදුන් දැනට ජීවතුන් අතර සිටින කලාකරුවන් 25 දෙනකුට 1997 ජාතික චිත්‍රපට සංස්‌ථාවෙන් පිරිනැමුණු ජනාධිපති පුරෝගාමී සම්මානයට ද පාත්‍ර වූ හරුන් ලන්ත්‍රා 1991 මුස්‌ලිම් සංස්‌කෘතික අමාත්‍යාංශයේ සම්මානය 1993 ජාතික කතෝලික සිනමා පර්ෂද සම්මානය, සිංහල සිනමාවට දෙන ලද දායකත්වය උදෙසා සරසවි සම්මානය සිංහල චිත්‍රපට සංගීතයේ ප්‍රවර්ධනය උදෙසා තම ප්‍රතිභාව මුසු කිරීම අගයමින් පිරිනැමුණු උපහාර සම්මානය හා සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් කලාභූෂණ සම්මානය ද ආදී සම්මාන රැසකින් පිදුම් ලැබුවේය.

හරුන් ලන්ත්‍රා කලාකරුවාට මෙන්ම ඔහුට ජීවිත අත්වැල සැලසූ බිරිඳගේ ද අද දෑස්‌ නොපෙනුණත් ජීවත්වන්නට දරන වෙහෙස කොපමණ කීවත් මදි යෑයි මට සිතුණේ ඒ දුක්‌බර දසුන ඔවුනට උපකාර කළ හැකි වගකිවයුත්තන්ට පියවි ඇසින් දැකිය යුතුම නිසාවෙනි. පත්‍රය මුද්‍රණය වන අවස්‌ථාව වන විට හරුන් ලන්ත්‍රා රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිව්වැනි මහලේ 11 වැනි තට්‌ටුවට ඇතුළත් කර සිටියේය. පෙරේදා අපි එහි යන විට රංගන ශිල්පී සනත් ගුණතිලකයන්,රෝහණ වික්‍රමනායක සමග හරුන් ලන්ත්‍රා ගේ සුවදුක්‌ බැලීමට එහි ගොස්‌ සිටියේය.

හරුන් ලන්ත්‍රා, චිර ජීවනය පතමින් මේ පුංචි සටහන ඔහු එදා ඇන්ජලින් සමග ගැයූ ජනප්‍රිය සුළං කුරුල්ලෝ ගීතය සමගින්ම මෙලෙස නිමා කරමු.

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

ආදර උයනේ දොරටුව හැරගෙන

ඔච්චම් කරමින් පියඹන්නේ...

සිහින පොතේ පිටුවක්‌ පෙරළේ අද

මොනවද එහි ලියවී ඇත්තේ

ආදරේ... ආදරේ... ආදරේ...

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

ආදර ලෝකෙට පාර කියන්නයි

ගඟ සුදු වැලි තල මතු වෙන්නේ

මතක ලොවේ දොර අගළු ඇරේ අද

මොනවද එහි සිරවී ඇත්තේ

ආදරේ....

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට

මේ පොඩි ඔරුවේ පාවෙන්නේ...

සුළං කුරුල්ලෝ....

එදා ඡායාරූප අනුග්‍රහය විජිත පරණවිතාන
වත්මන් ඡායාරූප බණ්‌ඩාර කඳුරුගමුව

නාරද නිශ්ශංක
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.