චූටි පුතා - කිරිකැටියා

ගල්කිස්‌ස උසාවියෙන් පිනූ "චූටි පුතා" බන්ධනාගාර නිලධාරීන් විසින් පන්න පන්නා වෙඩි තබනු ලබද්දීත් නිරුපද්‍රිතව පලා යැමේ පුවත ඊයේ (27 දා) පුවත්පත්වල පළ විය. වරෙන්තු 80 ක්‌ ඇති මේ චූටි පුතා ලංකා ඉතිහාසයේ පහළ වූ කදිමතම චූටිපුතා විය යුතු ය. බන්ධනාගාර නිලධාරීන් පන්න පන්නා වෙඩි තබද්දීත්, ඉන් ගැලවී ගත් චූටි පුතා වාහන සහ මහ සෙනඟ මැදින් අතුරුදන් වූ අතර, ඔහුට තැබූ වෙඩි වැදුනේ පාරේ ගිය මිනිසුන්ට සහ නීතිඥයකුගේ මෝටෝ රියට ය. ගල්කිස්‌සේ පොලිස්‌ කූඩුවේ රඳවා සිටියදී මොහු මීට පෙර ද බිත්තියේ ගල් ගලවා ගෙන පැන ගිය බව දැන ගන්නට තිබේ. සිරගෙවල් බිඳගෙන අපරාධකරුවන් පැන යැම පරණ කතාවකි. උසාවියට ගෙන එන අපරාධකරුවන් පැන යැම ද පරණ කතාවකි. ආරක්‍ෂාව, අවි තාක්‍ෂණය, ඔත්තු සේවා යනාදිය දියුණු වී ඇති මෙකල මේ පරණ කතාව නැවත නැවතත් අසන්නට ලැබීම අවාසනාවකි. උසාවියට ගෙනෙන සිරකරුවන් හෝ සැකකරුවන් උසාවි පරිශ්‍රයට ඇතුළු කළ සැනින් ඔවුන්ගේ මාංචු ගලවනු ලැබේ. චූටි පුතා පනින්නට ඇත්තේ මෙවිට විය යුතු ය. එහෙත් අප කල්පනාවට ගත යුතු වැදගත් ම කාරණය වන්නේ මාංචු පිටින් ද සිරකරුවන් සිරෙන් පැන ගොස්‌ ඇති බව ය. කෙසේ වුව ද අප අද ලියන්නට අදහස්‌ කරන්නේ අනුරාධපුරයේ හිරගෙදර හටගෙන ඇති නොසන්සුන්තාව ගැන ය. පසුගිය 24 වැනිදා ඇරඹි මේ නොසන්සුතාව අද වන විට ජනප්‍රිය සිවුවන දිනය පසුකරමින් සිටී. ආරවුල හටගත්තේ රැඳවියන් බැලීමට ඥාතීන්ට හා මිතුරන්ට ඉඩ නොදීමට අනුරාධපුර බන්ධනාගාර පාලකයන් තීරණය කිරීම නිසා ය. එයට එරෙහි වූ රැඳවියෝ හිරගෙදර වහළයට නැඟ, ඥාතීන්ට ඉඩ දෙන බව බන්ධනාගාර පාලකයන් පැවසීම නිසා වහළයෙන් බැස පොරොන්දු ඉටු නොවූ නිසා ආපසු වහළයට නැංගා හ. දැන් ප්‍රදර්ශනය කෙරෙන්නේ එකී තුන්වැනි අවස්‌ථාව ය.

හිරගෙයක්‌ ඇරෙන විට පාසලක්‌ වැහෙන බවට කියමනක්‌ තිබේ. ලංකාවේ පාසල් බර ගණනක්‌ පසුගිය සමයේදී වැසුණු අතර ඒ නිමිත්තෙන් සිරගෙවල් නම් අලුතින් ඇරුණේ නැත. මේ නිසා දෝ ලංකාවේ හිරගෙවල තදබදය එන්ට එන්ට ම ඉහළ යයි. හිරගෙදර තුළ හැම ආකාරයේ ම මිනිස්‌සු සිටිති. රිමාන්ඩ් සිරගෙදරක්‌ තුළ ද සෑම ආකාරයකම මිනිස්‌සු සිටිති. චීවරධාරියාගේ සිට උපාසක මහතා දක්‌වා ද දෙවියන් සිට යක්‍ෂයන් දක්‌වා ද අය මෙහි වෙති. මුදල් ඇතොත් සිරගෙදර තුළට ගෙන්වා ගත නො හැකි දෙයක්‌ නැත. සියලු ආකාරයේ සුර සැප මෙහි තිබේ. සිරගෙයක්‌ යනු වෙනම ආණ්‌ඩුවකි. සාමාන්‍යයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා තනිවම සිරගෙදර "වාට්‌ටු" හෙවත් රැඳවියන් තියන 'WARD' තුළට නො යන අවස්‌ථා තිබේ. හිරකරුවන් ප්‍රකෝපව සිටින විටෙක ඔවුන් එහි ගියොත් ආපසු එන්නට සිදුවන්නේ එක්‌කෝ නිරුවතිනි, නැතහොත් සිහි නැතිව ය.

ලංකාවේ හා ඉන්දියාවේ සිරගෙවල තුළ විශාල තදබදයක්‌ පවතී. එවිට සිරකරුවන් තුළ සෞඛ්‍ය සහ මානසික ප්‍රශ්න හටගනී. මේ නිසා සිරකරුවන් සිටින්නේ කාට හෝ පහර දීමේ සහ කාගෙන් හෝ පහර කෑමේ දැඩි අපේක්‍ෂාවෙනි. ඒ බැවින් තදබය නැති කරනු පිණිස රට තුළ අලුතින් හිරගෙවල් ඉදිකළ යුතු ය. අපරාධකාරයා යනු සතකු නොවේ. හේ අපරාධය කළ අවස්‌ථාවේදී සතකුව සිට යළි මිනිසකු බවට පත්වන්නෙකි. කළ වරදට දඬුවම් ලැබෙන තුරු ඔහුගේ චර්යාව යහපත් මට්‌ටමින් පවත්වා ගෙන නො ගියහොත් දඬුවම් විඳ එළියට එන්නේ දෙගුණයක අපරාධකාරයෙකි. ඔහුගේ අපරාධ චිත්තය ඇමීබාවකු මෙන් බෙදෙන්නට පටන් ගනී. වරෙන්තු 80 ක්‌ ඇති "චූටි පුතා" ද නිතර හිරේ ආ ගිය කෙනෙකි. එසේ ආ ගිය ගමන් වලදී යහපත් පාඩම් ලද්දේ නම් මේ චූටි පුතා "කිරි කැටියකු" තරම් අහිංසක වන්නට ඉඩ තිබිණ. එහෙත් අද මේකා අන් අයට වෙඩි වද්දවමින් පිස්‌සකු මෙන් පාරේ දිවෙයි. අහෝ!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.