කඩිනමින් බිහි වී කඩිනමින් ම කඩා වැටුණු
මහවැලියේ අරමුණු


අතීත ලාංකිකයෝ සමුදුරු පරයන වැව් අමුණු බිහි කළේ පරිසරයේ සමතුලිතතාව රැක ගනිමින් මිසෙක නවීන තාක්‍ෂණය හා විද්‍යාත්මක දියුණුව වර්ධනය නොවූ සමයකය. වියළි කලාපීය කපොලු අතරින් රිංගා යන ඇළ දොළ හරස්‌ කොට කුඩා වැවේ සිට සත් සමුදුර පරයන මහාවැව් ඉදිකළහ. එමඟින් කෙත්වතු සරුසාර කොට මෙරට අටුකොටු පුරවා අතිරික්‌තය පිටරට පවා යෑවූහ. එබැවින් මෙරටට "පෙරදිග ධාන්‍යාගාරය" යන නමද ලැබිණි.

විවිධ වූ අභ්‍යන්තරික ගැටලු හමුවේ බිඳවැටුණු වැව් බැඳි රාජ්‍යයේ ශිෂ්ඨාචාරයේ වැව් අමුණු වල්බිහි විය. රටේ සංවර්ධනය ඇනහිටින. රජරට වාරි කර්මාන්තය දෙස නැවත අවධානය යොමු වූයේ 1931 දී ඩී. එස්‌. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ යුගයේ ය. එතුමා වියළිs කලාපීය ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරමින් කැඩී බිඳී විනාශව තිබුණු වැව් අමුණු පිළිසකර කර කෙත්වතු සරුසාර කිරීමට පියවර ගත්තේය.

ඉඩම් හිඟයට පිළියමක්‌ ලෙස මහවැලි බහු කාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට 1964 වසරේදී එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ආධාර සැපයීමට ඉදිරිපත් විය. ඒ 1958 දී එක්‌සත් ජාතීන්ගේ මහ සභාවේදී කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

1970 දී බිහි වූ සමඟි පෙරමුණු රජයේ ඉඩම් හා කෘෂිකර්ම ඇමැතිවරයා වූ සී. බී. ද සිල්වා මහතා 1970 පෙබරවාරි 25 වැනිදා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ මගින් වියළි කලාපීය නොදියුණු ප්‍රදේශ සංවර්ධනය කළ යුතු බවත්, එය සිදුකරන ආකාරය පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී අදහස්‌ දැක්‌වීය. ඒ තුළින් සමස්‌ත ආර්ථික දේහයම ශක්‌තිමත් කිරීමේ අරමුණින් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වසර තිහකින් නිම කරනවා වෙනුවට වසර පහ හයකින් නිමකිරීම වඩා යෝග්‍ය යෑයි කල්පනා කළ 1977 දී බලයට පත් වූ රජය "කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය" ආරම්භ කළේය.

ඒ මගින් "සප්ත මහා මහවැලි කලාප" ඇරඹිණි. මේ කලාප අතුරින් මුලින්ම වැඩ ආරම්භ කළේ මහවැලි "එච්" කලාපයෙනි. මහවැලි "එච්" කලාපයේ පදිංචි කරවා ඇති මුළු පවුල් සංඛ්‍යාව 35,000 කි. ගොවි පවුලකට අක්‌කර 2 1/2 ක කුඹුරු ඉඩම් කැබැල්ල බැගින් ලබා දුනි. කලාපය තුළ අක්‌කර 8000 ක්‌ ජනතාවට කුඹුරු ඉඩම් ලෙස ලබා දුනි. වාරිමාර්ග, විදුලි බලය, පාසල්, රෝහල්, පොලිසි, වාණිජ ආයතන, ක්‍රීඩාංගන ආදී යටිතල පහසුකම් ආරම්භ කිරීමට එවකට රුපියල් කෝටි 18,000 ක්‌ වැය කොට ඇත.

මහවැලි "එච්" කලාපය තුළ ප්‍රධාන මහවැලි කොට්‌ඨාස නවයකි. නොච්චියාගම, තලාව, තඹුත්තේගම, එප්පාවල, මහඉලුප්පල්ලම, ගල්නෑව, ගල්කිරියාගම, මඩාටුගම හා මීගලෑව ඒ කොට්‌ඨාසයි. මේ මහවැලි කොට්‌ඨාස අතුරින් "මීගලෑව" කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් එකම මහවැලි කොට්‌ඨාසයයි. එබැවින් "එච්" කලාපයට මීගලෑව සුවිශේෂී මහවැලි කොට්‌ඨාසයකි. අද වන විට මීගලෑව ජනතාවට සංවර්ධන ප්‍රතිලාභ උදා වී ඇද්ද යන්න සොයා බැලීමටත්, මීගලෑව මහවැලි කාර්යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමටත් අපි මීගලෑව කලාපයේ සංචාරයක යෙදුණෙමු.

ටී. එම්. කරුණාරත්න මහතා - මම මීගලෑවට ඇවිත් දැනට අවුරුදු විස්‌සකට වැඩියි. මේකෙ මූලික සැලැස්‌ම අවුරුද්දකට කන්න තුනක්‌ වගා කරන එකයි. ඒ හින්දා ගොඩක්‌ බලාපොරොත්තුවෙන් තමයි මහවැලියට ආවේ. ඒත් දැන් මාස්‌ කන්නය පවා කුඹුරු පස්‌සවා ගන්නෙ අමාරුවෙන්. ඒ වගේම අපි ආපු දවස්‌වල මහවැලියේ හැම ගොඩනැඟිල්ලක්‌ම මොකක්‌ හරි ප්‍රයෝජනයකට ගත්තා. ඒත් අද එහෙම නෑ. සමහර ගොඩනැඟිලිවල දොරවල්, උළුවහු, වහළ නෑ. ඔක්‌කොම හොරු ගලවාගෙන ගිහිල්ලා. ඒත් ඒවා වළක්‌වාගන්න බලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක්‌ ගන්නෙ නෑ. අඩුම තරමෙ මහවැලි ජාතික පාසලේ ගුරු නේවාසිකාගාර සඳහාවත් මේ ගොඩනැඟිලි ලබා දුන්න නම් ඒකත් එකක්‌. එහෙම කරලත් නෑ. මේ අපේ සල්ලි. ඇයි ඒවා එහෙම විනාශ වෙන්න ඉඩ ඇරල තියෙන්නේ?

තිලක්‌ ධර්මසිරි කිටෝ

දැනට මීගලෑව මහවැලි කාර්යාලයේ කිසිම පිරිසිදු බවක්‌ නෑ. පසුගිය දිනක එස්‌. එම්. චන්ද්‍රසේන ඇමැතිතුමා මීගලෑව මහවැලි කාර්යාලයට ආපු අවස්‌ථාවේ මේ බව ඔප්පු වුණා. අත ඇරල දාල තියෙන ගොඩනැඟිලිවල තියෙන වැහිපීලිවලයි, ටැංකිවලයි වතුර පිරිල තියෙනවා. ඇත්තටම මීගලෑව මහවැලි කාර්යාලය අකාර්යක්‍ෂම තැනක්‌ බවට දැන් පත්වෙලා තියෙනවා. බහුතරයක්‌ ජනතාව මහවැලිය කෙරෙහි අප්‍රසාදයක්‌ පළ කරනවා. විශේෂයෙන්ම මීගලෑව මහවැලි කාර්යාලයේ නිලධාරියෙක්‌ කොන්ත්‍රාත් වැඩවලට මහවැලියේ ට්‍රැක්‌ටරය යොදා ගත්තා. ඒ වගේම ඒ ට්‍රැක්‌ටරයේ කොටස්‌ වගයක්‌ දැනට පදවිගම ප්‍රදේශයේ නිවසක දාල තියෙනවා. අපි මේ පිළිබඳව විවෘත පරීක්‍ෂණයක්‌ කරන්න කියලා වගකිවයුතු පුද්ගලයන්ගෙන් ඉල්ලීමක්‌ කළා. ඒත් කිසිම පරීක්‍ෂණයක්‌ නෑ. මහවැලියේ ගොඩක්‌ ගොඩනැඟිලිවල දොර උළුවහු නෑ. විදුලි පංකා නෑ. මේ ඔක්‌කොම හොරු ගලවලා. ඇයි අපේ සල්ලි මෙහෙම විනාශ වෙන්න ඉඩ අරින්නේ. මහවැලියේ ඉන්න නිලධාරියෝ මේකට වගකියන්න ඕනෙ ගොවියන්ගෙ දරුවන් හැටියට අපි මහවැලියෙන් බලාපොරොත්තු වෙන්නෙ සේවයක්‌. උදේ 8..30 ට වැඩට එන්න ඕන නිලධාරීන් එන්නේ 9.30 - 10.00 විතර. එතකොට කොහොමද මේ අය ජනතාවට සේවය කරන්නේ. ගොවියෙක්‌ මොකක්‌ හරි දැන ගන්න ආවොත් නිලධාරීන් කීයට හරි එනකන් ඉන්න ඕනේ. ඒ වගේම දැනට අනවසර ඉඩම් මැනීම සිදු කරනවා. ඒකට රුපියල් තුන්දහසක්‌ ඉල්ලනවා. ඒක ඇත්තටම අසාධාරණයක්‌. දුප්පත් මහවැලි ජනතාවට අසාධාරණයක්‌. ඇත්තටම අද මහවැලිය මේ විදිහට අකාර්යක්‍ෂම වෙලා තියෙන්නේ නිලධාරීන්ගේ වරද නිසා. අපිට අපේ මහවැලිය ආරක්‍ෂා කරලා දෙන්න.

ඩී. ඒ. යූ. දසනායක

අපි මහවැලියට ආවේ 77 අවුරුද්දේ. එදා මහවැලිය හොඳටම හොඳයි. ගොඩනැඟිලි නඩත්තුව එහෙමත් හොඳටම වුණා. දැන් කිසිම නඩත්තුවක්‌ නෑ. ඒ හින්දා දැන් මහවැලිය ජරාජීර්ණ වෙලා තියෙන්නේ. ඉස්‌සර මහවැලියෙන් එක එක අංශවලට විවිධ නිලධාරීන් පත් කරල තිබුණා. ඒත් අද එහෙම නෑ. ගොවියො එක්‌ක මහවැලිය සම්බන්ධතා පවත්වන්නෑ. මහවැලියෙ නිවාස 05 - 06 ක්‌ හැරෙන්න අනිත් ඒවා විනාශ වෙන්න ඇරලා. අපි කියන්නේ ඒවා අලුත්වැඩියා කරල ජාතික පාසලේ නේවාසිකාගාර සඳහා දෙන්න කියන එකයි. අද වෙනකොට මේ අබලන් නිවාස විවිධ අපචාරී ක්‍රියාකාරකම් පවත්වන ස්‌ථාන බවට පත්වෙලා තියෙනවා. මුරකාරයෝ හිටියට වැඩක්‌ නෑ. මහවැලියෙ තියෙන වී ගබඩා මහ දවල් හොරු කඩලා වී අරන් යනවා. එහෙම වෙනකොට මුරකාරයො මොකටද? මීගලෑවේ ආයුර්වේද රෝහල විවෘත කරපු දා ඖෂධ උයනකට බිම් කොටසක්‌ දෙන්න නෙරංජන් වික්‍රමසිංහ හිටපු පළාත් සභා ඇමැතිතුමා පොරොන්දු වුණා. ඊට සතියකට විතර පස්‌සෙ ප්‍රදේශයේ වෙනත් දේශපාලකයෙක්‌ මල් වත්තකට කියලා ඒ ඖෂධ උයනකට වෙන් කරන්න හදපු බිම් කැබැල්ලට කම්බි ගැහුවා. දැන් ඒකේ වැඩ නැතුව දෙන්නෙක්‌ රජයෙන් පඩි ගන්නවා. ඒ විතරක්‌ නෙමේ මේ අත ඇරල දාල තියන මහවැලි නිවාස තමයි මීගලෑවෙ ඩෙංගු උල්පත්. ඒත් ඒ ගැන කිසිම නිලධාරියෙක්‌ හොයල බලන් නෑ. අපි වගකිව යුතු නිලධාරීන්ට කියන්නේ මේ පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරන්න කියන එකයි.

ආර්. එම්. කේ. බී. රත්නායක - මහවැලි සංවර්ධන ව්‍යාපාරයේදී මහවැලි නිවාස මහවැලි සංවර්ධන අධිකාරියෙන් මණ්‌ඩලයෙන් ඉදිකළා. ඒ සියලු දේ පසුව මහවැලි සංවර්ධන අධිකාරියට ගත්තා. ඊට පස්‌සේ එහි නිලධාරීන් විශාල පිරිසක්‌ ම. ස. අ. එක්‌ක වෙනත් ප්‍රදේශවල සේවයට ගියා. නිවාස හිස්‌ වුණා. එවකට පැවති රජය කුලී පදනම මත ඒ නිවාස රජයේ සේවකයන්ට ලබා දුන්නා. ඒ රජයේ සේවකයන් අතර නිවාස අහිමි සාමාන්‍ය ජනතාවත් හිටියා. ඒ නිවාසවල නඩත්තු කටයුතු කුලීකරුවන් (පදිංචි) මගින් සිදු වුණා. පසුව සිදුවුණු ආණ්‌ඩු මාරුව සමඟම කුලියට සිටි පිරිස්‌ ඉවත් කළා. ඒ අතරේ පසුගිය මහවැලියෙ නිලධාරීන් අඩු කළා. දැනට නිලධාරීන් දහයක්‌වත් මේ නිවාසවල නෑ. ඒ ඉන්න අයත් සති අන්තවලදී ගම්බිම් වලට යන කට්‌ටිය. නඩත්තුවක්‌ නැති නිසා ලක්‍ෂ ගාණක්‌ වටිනා පළමු දෙවන ශ්‍රේණිවල හා යුගල නිවාස විනාශයට ලක්‌වෙලා තියෙනවා. ඒ අතරේ පසුගිය කාලෙ විවිධ වූ අපචාර ක්‍රියා සඳහා මේ නිවාස යොදාගෙන තියෙනවා. ඇත්තටම දැන් මීගලෑවෙ මහවැලි කාර්යාලයෙනුත් ජනතාවට වෙන සේවය අඩු වෙලා. ඇයි එහෙම වුණේ කියලා හිතාගන්න බෑ. මෙහෙම කොහොමද ජනතාවාදී රාජ්‍ය සේවයක්‌ බිහි කරන්නේ?

ඩී. එම්. කරුණාරත්න - ඇත්තම කියනවා නම් මහවැලියෙ ජල කළමනාකරණය බිංදුවයි. අර බලන්ඩ පදවිගම සුදු පාලම මෙහා තියෙන ලොකු වැව් කොටුව වගේ කෑල්ල. එතන වතුර කොච්චර නං අපතේ යනවද? කලට වේලාවට වතුර දෙන්නෙ නෑ. විශේෂයෙන් ම මහවැලි ගොඩනැඟිලි අද ජරාජීර්ණ වෙලා. ඇයි ඒවා විනාශ වෙන්න දාලා තියෙන්නේ? මහවැලියෙ ඉඩම් කෑල්ලක්‌ දේශපාලකයෙක්‌ කම්බි ගහල වෙන්කරගෙන. එහෙම කරන්න තියෙන නීතිමය තත්ත්වය මොකක්‌ද? ඇත්ත කීවට පස්‌සෙ අපි මැරුවත් කමක්‌ නෑ. අද මහවැලියයි ගොවියොයි අතර සම්බන්ධතාවක්‌ නෑ. අද මහවැලිය ජනතා සල්ලි විනාශ කරන "සුදු අලියෙක්‌" වෙලා තියෙනවා.

කේ. සේනානායක (වාරි ඉංජිනේරු - මහවැලි කාර්යාලය - මීගලෑව)

අපිට දැනට ගොඩනැඟිලි දෙකක්‌ ගලවා ඉවත් කරන්න අවසර ලැබිල තියෙනවා. ඒවා අපි ගලවා ඉවත් කරනවා. ඉතිරි නිවාස අපේ නිලධාරීන් පාවිච්චි කරනවා. තව එක නිවාසයක්‌ ගබඩාවක්‌ විදියට පාවිච්චි කරනවා. ඒකත් අබලන්. තව නිවාස දෙකක්‌ බාහිරින් මෙහි එන සේවකයන්ට ලබා දෙන්න තියල තියෙනවා. ඒවත් අබලන්.

මහවැලි "එච්" කලාපයේ පිහිටි කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් එකම මහවැලි කොට්‌ඨාසය අද මෙලෙස විවිධ හැලහැප්පිලි රැසක්‌ සඳහා පාදක වී තිබේ. එසේම අභ්‍යන්තර මාර්ග අබලන් වීම, අසාධාරණ ලෙස බදු මුදල් අය කිරීම, ව්‍යාපාර කටයුතු බිඳ වැටීම. රැහැන් සහිත දුරකථන පද්ධතිය ඉවත් කිරීම, වැනි ගැටලු රැසක්‌ ද පවතී.

දරිද්‍රතාව, ණය බරිත බව, දෙවැනි පරපුරට ඉඩම් හිඟය, ජල හිඟය, සදාචාර පරිහානිය, ඉඩම් වලට ඔප්පු ලබා නොදීම, යටිතල පහසුකම්වල දුර්වලතාව, ලබාදී ඇති පහසුකම් නඩත්තු නොකිරීම ආදී දහසක්‌ වූ පොදු ගැටලු රැසක්‌ පවතී. සැබවින්ම එය සමස්‌ත මහවැලියේම යථාර්ථය නොවේද?

දිලංක ප්‍රියදර්ශන
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.