පළාත් පාලන ඡන්දය මාර්තු 17 වැනිදා
පක්‍ෂ තුනකම නාම යෝජනා
ලැයිස්‌තු 46ක්‌ ප්‍රතික්‍ෂේප වේ
එජනිස ලැයිස්‌තු 36 ක්‌
එජාප ලැයිස්‌තු 8 ක්‌
ජවිපෙ ලැයිස්‌තු 2 ක්‌


රනිල් ධර්මසේන - චමින්ද සිල්වා

පළාත් පාලන මැතිවරණය මෙම මාර්තු මස 17 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා ඊයේ (27 වැනිදා) නිවේදනය කළේය.

ඒ අනුව මහ නගර සභා 04 ක්‌ නගර සභා 39 ක්‌ හා ප්‍රාදේශීය සභා 258 ක්‌ ඇතුළු පළාත් පාලන ආයතන 301 කට සභිකයන් 3931 දෙනකු තෝරා ගැනීමට ඡන්ද දායකයන් එක්‌කෝටි විසිහත් ලක්‍ෂ හැත්තෑ හත්දහස්‌ එකසිය දහතුන් (1,27,73,113) දෙනෙකු ඡන්ද මධ්‍යස්‌ථාන 9618 කදී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම දිස්‌ත්‍රික්‌ කච්ෙච්රිවලදී ඉකුත් 20 වැනිදා ආරම්භ වූ අතර එය ඊයේ (27 වැනිදා) දහවල් 12.00 ට අවසන් විය. ඉන්පසුව එළැඹි නාම යෝජනා පිළිබඳ විරෝධතා පළ කිරීමේ කාලයෙන් පසුව ප්‍රතික්‍ෂේපිත හා පිළිගත් නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ යන ප්‍රධාන පක්‍ෂ තුනෙන් නාම යෝජනා පත්‍ර 46 ක්‌ ප්‍රතික්‍ෂේප වී තිබේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නාම යෝජනා පත්‍ර 36 ක්‌ද එක්‌සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා පත්‍ර 08 ක්‌ද ජනතා විමුක්‌ති පෙරමුණේ නාම යෝජනා පත්‍ර 02 ක්‌ ද ප්‍රතික්‍ෂේප විය.

ලිඳුල, තලවකැලේ, අක්‌මීමන, පල්ලෙපොල, විල්ගමුව, බලංගොඩ, සියඹලාණ්‌ඩුව, මොනරාගල, හිඟුරක්‌ගොඩ, යටිනුවර, ගල්නෑව, රාජාංගනය, පොල්ගහවෙල, නුවරඑළිය, වෙන්නප්පුව, නවගත්තේගම යන ප්‍රාදේශීය සභා හා හලාවත, ඇඹිලිපිටිය නගර සභා සඳහාත් යාපනය හා කිලිනොච්චිය පළාත් පාලන ආයතන 16 ක්‌ සඳහාත් එජනිස ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්‍ෂේප විය.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂය හෝමාගම, බද්දේගම, වරකාපොල, වැලිගෙපොල, ඇලහැර, වැලිකන්ද යන ප්‍රාදේශීය සභා සඳහාත් ඇඹිලිපිටිය, එරාවුර් යන නගර සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රත් ජනතා විමුක්‌ති පෙරමුණ විල්ගමුව හා නාත්තණ්‌ඩිය ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාත් ප්‍රතික්‍ෂේප වී ඇත.

තවද මාවතගම මධ්‍යම නුවරගම් පළාත, බණ්‌ඩාරගම, අත්තනගල්ල, අකුරණ, හලාවත උකුවෙල යන ප්‍රාදේශීය සභාවලට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයෙන් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්‍ෂේප වී තිබේ.

මෙයට අමතරව ජනසෙත පෙරමුණ, දේශප්‍රේමි ජනතා පක්‍ෂය, ලිබරල් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්‍ෂය ඇතුළු පක්‍ෂ කිහිපයක නාම යෝජනා ද පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රතික්‍ෂේප වී ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, නව සිහල උරුමය, ජනසෙත පෙරමුණ, එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී සංධානය, නව සම සමාජ පක්‍ෂය, ඔක්‌කොම වැසියෝ ඔක්‌කොම රජවරු පක්‍ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්‌සත් සමාජවාදී පක්‍ෂය, එක්‌සත් ලංකා මහා සභාව, අකිල ඉලංකෙයි ද්‍රවිඩ එක්‌සත් පෙරමුණ, ටී. එම්. වී. පී., ලිබරල් පක්‍ෂය, කඳුරට ජනතා පක්‍ෂය, එක්‌සත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ රැසක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම් 914 ක්‌ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා පත්‍ර භාර දී තිබිණි.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වීමෙන් පසුව පැමිණි දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් අදාළ කච්ෙච්රිවලින් පිටව යන අවස්‌ථාවේදී ආධාරකරුවන් විසින් පිළිගෙන නගර පුරා පෙළපාලි යනු දක්‌නට ලැබිණි. මැති ඇමැතිවරුන් හා පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්‌ද මෙම අවස්‌ථාවන්ට එක්‌ වූහ.

කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර යන දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල අතර ඊයේ (27 වැනිදා) දහවල් දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක්‌ ඇති වූ අතර මේ නිසා පිළිගත් නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීමද ප්‍රමාද විය.

පසුබිම් වාර්තා

සිරිල් විමලසුරේන්ද්‍ර, දිනසේන රතුගමගේ, කළුතර සමූහ විජයසිරි විද්‍යාසේකර, අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු, රත්නපුර ධර්මප්‍රිය ලියනාරච්චි, හම්බන්තොට බන්දුල මානවඩු, මහනුවර තිවංක අබේරත්න, ගාල්ල ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි, මාතලේ විශේෂ නිමල් ගුණතිලක, වරකාපොල විශේෂ සරත් ආනන්ද, කොටියාකුඹුර රම්‍යපාල, කෑගල්ල එම්. බී. පහළවත්ත, දේවාලේගම ඡේ. ඒ. විඡේසිංහ, ගම්පහ අධිකරණ විල්සන් පළිහවඩන, ඉඹුල්ගොඩ සුසිල් රණමුක, මිනුවන්ගොඩ ටෝනි කරුණානායක, සියඹලාණ්‌ඩුව මාපා තිලකසූරිය, මොනරාගල නයන ඉහළගෙදර, වැල්ලවාය ප්‍රේමතිලක උඩංගොඩ, දෙනගම ධම්මික රණවීර, බෝගොඩ රත්නායක. නුවරඑළිය - ඩග්ලස්‌ නානායක්‌කාර, ලුණුගල - සිරිල් ජයසිංහ, නමුණුකුල - යූ. බී. පල්ලේගෙදර, සොරණාතොට - ජනක විඡේනායක, බණ්‌ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම, ඇටම්පිටිය - එස්‌. එම්. ජයසුන්දර, බදුල්ල - එස්‌. රත්නායක. මඩකලපුව ජවුෆර් කාන්, ත්‍රිකුණාමලය - සමන් මල්ලවාරච්චි, පුත්තලම - නලින් හෙන්දුරුගොඩ, පොළොන්නරුව - කරුණාරත්න ගමගේ, කුරුණෑගල - ආර්. එම්. බණ්‌ඩාර.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.