කහවත්තේ ඡන්ද ගැටුමකින් ස්‌වාධීන අපේක්‍ෂකයකුට වෙඩිවදී

හේමන්ත රන්දුණු

විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක්‌ සහ ප්‍රාදේශීය සභාවට තරගවදින ස්‌වාධීන අපේක්‍ෂකයන් පිරිසක්‌ අතර පෙරේදා (26 වැනිදා) රාත්‍රි කහවත්ත ඇන්දානවත්ත ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ස්‌වාධීන අපේක්‍ෂකයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ස්‌වාධීන අපේක්‍ෂක රවිඳු ලක්‌මිණි විෙ-බණ්‌ඩාර මහතාය. මෙම වෙඩි ප්‍රහාරය විදුලිබල නියෝජ්‍ය ඇමැතිතුමා විසින් කර ඇති බවට කහවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

මේ අතර නියෝජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් ද කහවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක්‌ කරමින් කියා ඇත්තේ තමන්ට සහ තම වාහනවලට ස්‌වාධීන අපේක්‍ෂකයන් කීපදෙනකු ඇතුළු පිරිසක්‌ පහරදී බරපතල හානි කළ බවයි.

මෙම සිද්ධිය සැලවූ වහාම රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ඇන්දානවත්ත ප්‍රදේශයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ මහතාගේ සොහොයුරකු මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට ඉල්ලා ඇත. එහෙත් ජයසිංහ මහතාගේ සොහොයුරාට නාමයෝජනා ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම සිද්ධියෙන් පසු ජයසිංහ මහතාගේ සොහොයුරු ස්‌වාධීනව ප්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කර ඇත.

මේ හේතුව නිසා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දේශපාලනඥයන් ස්‌වාධීන අපේක්‍ෂකයා සමග ආරවුලක්‌ ඇතිකරගෙන තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රි 10.30 ට පමණ ඇන්දානවත්ත ප්‍රදේශයේ පක්‍ෂ කාර්යාලයක්‌ ඉදිකරමින් සිටි ස්‌වාධීන අපේක්‍ෂකයා ඇතුළු පිරිස අසලට පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිසක්‌ ඔවුන් සමග බහින්බස්‌වීමක්‌ ඇති කරගෙන ඇත.

එහිදී බහින්බස්‌වීම ගැටුමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ ඇති අතර වෙඩි ප්‍රහාර කීපයක්‌ද එල්ලවී තිබේ.

නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණි වාහන කීපයකට ද ගල් මුල් ප්‍රහාර එල්ල වී හානි සිදුවී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබූ අතර කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.