අපේ කේන්දරවල පොඩි ප්‍රශ්නයක්‌ විවාහය ප්‍රමාදයි
චතුරිකා

ජීවිතේ බේරගත්තේ ගලක්‌ උඩ නැගලා
ස්‌වංයජාත රූගැන්වීමේදී චරිතුකාට අබැද්දියක්‌

ඇය කලාවට පැමිණෙන්නටත් පෙර සිටම ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ ඇය ගැන දැන සිටියා. ඒ ඇය කලා ක්‍ෂේත්‍රයට බොහෝ සබඳිකම් ඇති පවුලක සාමාජිකාවක්‌ නිසා. ඇය කලා ක්‍ෂේත්‍රයට පැමිණ වැඩි කලක්‌ යන්නට මත්තෙන් රසික රසිකාවියන් අතර නමක්‌ දිනා ගත්තා. ඒ ඈ සතු සිත් අලවන නිරූපන හැකියාව නිසා. නොලීවාට නම, ඔබ ඇය හොඳින් හඳුනනවා. ඒ තරමටම, චතුරිකා රොෂාන් අතර ඇති ආදර සබඳතා නොදන්නා කෙනෙක්‌ නැති තරම්. දන්නවද... ඒ ආදරයට අරුතක්‌ එකතුවන දවස වැඩි ඈතක නොවෙයි. චතුරිකාට අපි කතා කළේ මේ ආරංචියත් එක්‌ක ඇගේ අලුත් තොරතුරු දැනගන්න. බලමු ඇය ඒ සියල්ල ඔබට කියාවිද?

කොහොමද වාසෙ දේසෙ?
වරදක්‌ නෑ. සැපෙන් සනීපෙන් ඉන්නවා.

රොෂාන් එක්‌ක විවාහ ගිවිසගෙන බොහොම කල් වෙනව නේද?

ඔව්. දැන් ටික කාලයක්‌ වෙනවා.

වෙඩින් එක පරක්‌කු වෙන්නෙ ඇයි? රසික රසිකාවියන් හැමෝම බලා ඉන්නෙ වෙඩින් එක ගන්නකන්.?

ඇයි මම මීට කලිනුත් කියල ඇතිනෙ. 2011 වසර වෙනකන් අපිට වෙඩින් එක ගන්න විදිහක්‌ නෑ. කේන්දර ප්‍රශ්නයක්‌. රොෂාන්ගෙයි මගෙයි කේන්දරවලට ගැලපෙන නැකතක්‌ 2011 වසර වෙනකන් තිබුණෙ නෑ. ඒකයි අපි කලින් විවාහය ගිවිසගෙන වෙඩින් එක පරක්‌කු කළේ. වෙඩින් එක කියන්න කොහොමත් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයිනෙ. බොහොම චාරිත්‍රාණුකූලව සිදුවෙන්න ඕන දෙයක්‌ ඒක.

රොෂානුයි ඔබයි නැකත් කේන්දර ගැන ගොඩක්‌ විශ්වාස කරනවද?

ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. නමුත් ඒවා ගැන අවිශ්වාස කරන්නෙත් නෑ. ගෙදරින් තමයි ඒවා ගැන ලොකුවට අවධානය යොමු කරන්නෙ.

රොෂාන්ට වඩා ඔබට වැඩියෙන් කේන්ති යනව කියන්නෙ ඇත්තද?

ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්‌. නමුත් සමහරු හිතන්නෙ මම කුකුල් කේන්ති කාරියක්‌ කියලා තමයි. ඒත් මට එහෙම ලෙහෙසියෙන් කේන්ති යන්නෙ නැහැ.

ඒත් ඔබ ගැන කතා කරන සමහරු කියන්නෙ චතුරිකා හරිම කේන්ති කාරියක්‌ කියලයි.?

සමහර විට ඒ මගේ පෙනුම නිසා වෙන්න ඇති. නමුත් පෙනුමෙන් මිනිස්‌සු ගැන තීරණ ගන්න එක නම් බොහොම වැරදියි.

නමුත් ගින්නක්‌ නැතිව දුමක්‌ ඇතිවෙන්නෙ නෑනෙ?

ඕකට මම මෙහෙම පිළිතුරක්‌ දෙන්නම්. මම මුලින්ම නිර්මාණයක වැඩ කළේ නාලන් මෙන්ඩිස්‌ නමැති ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයා එක්‌ක. ඔහුගේ වැඩ හරිම පිළිවෙළයි. කියන වෙලාවට වැඩේ සිද්ධ වෙනවා. අපිත් එතනට වැඩ කරන්න යන්න හරියට පාසලකට යනව වගේ. සමහර විට අපි පාසලකට යනකොට විනාඩි පහක්‌ දහයක්‌ පරක්‌කු වෙනවා. ඔහුත් එක්‌ක වැඩ කරද්දි එහෙම වත් වෙන්නෙ නෑ. ඉතින් එතැනින් පස්‌සෙ වෙනත් නිර්මාණවලට සම්බන්ධ වුණාට පසු මම ඒ දේ බලාපොරොත්තු වුණා. එහෙම නොවෙනකොට, වෙලාවට කියපු විදියට වැඩ නොවෙනකොට නම් තරහ යනවා.

ස්‌වයංජාත රූගත කිරීම් කරද්දී ගඟ මැද තියෙන ගලක්‌ උඩට වෙලා බලා හිටියෙ ඇයි?

ජීවිතෙ බේරගන්න ගලක්‌ නොවෙයි උලක්‌ උඩට වෙලා හරි ඉන්න වෙනවනෙ. හැබැයි එදා තරම් ජීවිතේ ගැන බයක්‌ දැනුන තවත් දවසක්‌ නම් නෑ. අපි ගඟ මැද රූ ගත කිරීම්වලට එකතු වෙලා ඉඳිද්ඳි එකපාරටම ගඟේ වතුර වැඩිවෙලා ගඟ පිටාර ගලන්න ගත්තා. අන්තිමේදී ජීවිතෙ බේරගන්තෙ ගඟ මැද තියෙන ගලකට ගොඩවෙලයි. එක සහය අධ්‍යක්‍ෂවරයෙක්‌ වතුර පාරකට ගහගෙන ගිහින් යන්තම් බේරුණේ පීනන්න දන්න නිසයි. එදා නම් මට රඟපෑමත් එපා වුණා. කඹ දාලා තමයි අපිව ගොඩ ගන්තෙ. මම ගොඩට ආවෙ දෙවන සහය අධ්‍යක්‍ෂවරයාගේ කරපිටින්.

ඔබේ නංගි රංගනයට පැමිණීම ඔබට ලොකු අභියෝගයක්‌ද?

අපොයි නෑ.. මම තමයි එයාව ගේන්න උත්සාහ කළේ. හැම සැරේම එයා බෑ කිව්වා. ලංකාවෙ හොඳ නිර්මාණ කරන දක්‍ෂ අධ්‍යක්‍ෂවරු ඉන්නවනෙ. කොහොමහරි එයාව කැමැති කරවගත්තෙත් මමයි.

නංගිට වඩා ලස්‌සන වෙන්න ඩයට්‌ කරනව කියන්නෙ ඇත්තද?

කව්ද ඔය බොරු කියන්නෙ මම දවසට කෑම වේල් පහක්‌ කන කෙනෙක්‌.

තිස්‌ස ගුණතිලක
ඡායා - දිනේෂ් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.