සිංහල ගීතය, සංගීතය හා අසහාය සෞන්දර්යාලෝකය



පෙබරවාරි මස 24 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන චමත්කාර ප්‍රාසංගික උලෙළේදී වික්‌ටර් රත්නායක සංගීතවේදීයාණන්ගේ හතළිස්‌ පස්‌ වසරක සංගීත සේවාවට උපහාර ප්‍රණාම පිරිනැමේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අදින් අඩසියවසකට ප්‍රථම කන්ද උඩරට කඩුගන්නාවේ නුවර කොළඹ මාර්ගයට මුහුණ ලා පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු නිවාස පේළියේ එක්‌තරා නිවසක සංගීත සාඡ්ජයක්‌ පැවැත්විණ. සර්පිනා, බටනළා, තබ්ලා, මැන්ඩලීන් වැනි සංගීත භාණ්‌ඩවලින් මුසු වූ සිංහල, දෙමළ හිනදි ගීත නාදයට වහ වැටී හුන් නව යොවුන් තරුණයෙක්‌ හීන් සීරුවේ එතැනට රිංගා ගත්තේය. සාඡ්ජකරුවන් මධුවිතකින් තොල කට තෙමා ගන්ට ගිය ඇසිල්ලේ මේ තරුණයා තම සිත ඇදී ගිය සංගීත භාණ්‌ඩයට ළං වූයේය. ඒ වූකලී දෙපයින් පාගමින් වාදනය කළ ෆුට්‌ බෙලෝ ස්‌ර්පිනාවකි. පුටුවේ වාඩි ගෙන බෙලෝ දෙක පාගමින් සරපුවරුවේ සිය ඇඟිලි ඔබ මොබ යවමින් සිටි ඔහුට සිය මන දොළ සපුරා ගන්ට ලැබුණු කාලය මොහොතකින් නැවතිණ. කවුරුන් හෝ කන තදින් මිරිකූ අතර හිසට ටොකු පහරක්‌ද නොමදව ලැබිණ. ඔහු එතැනින් පිටමං කෙරුණේ සැර පරුෂ බැණ වැදීමක්‌ද සමගය.

එදා එසේ එළවා ගනු ලැබූ තරුණයා තවත් කලක්‌ ඇවෑමෙන් රසික ජන හදවත් අලළවා සසලවා ඔවුන් අනන්තානන්දයෙන් මුසපත් කරවීමේ දුර්ලභ වාසනා ගුණ පරිපූර්ණ මහා කලාකරුවෙක්‌ වූයේය. ඒ, නිසර්ග සිද්ධ වශයෙන් උරුම කරගත් අසාමාන්‍ය කර්ණාමෘත මධුර ලලිත ස්‌වරයත්, සංගීත කලා නිර්මාණ විෂයක අතුල්‍ය ප්‍රතිභා ශක්‌තියත් හේතු කොට ගෙනය. මෙකී තරුණයා අද වන විට මෙරට ගීත සංගීත ක්‍ෂේත්‍රයේ අභ්‍යාදය පිළිබඳ කථා ප්‍රවෘත්තිය තුළ අප්‍රමාණ මිනිසෙකි. පුරා පන් සාළිස්‌ වසක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකේය සංගීත කලා ක්‍ෂේත්‍රය භාව පූර්ණ රස පූර්ණ නිර්මාණ පල සම්පතින් සුපෝෂණය කළ මහා සංගීතවේදී වික්‌ටර් රත්නායක මේ අප්‍රමාණ මිනිසාය.

ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සිය ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔහුට අවස්‌ථාව ලැබිණ. ඒ, එක්‌දහස්‌ නවසිය හැටපහේදීය. ප්‍රථම ගීතය වූයේ අරිසෙන් අහුබුදු රචනා කළ "සිඳ බිඳ මොහඳුරු පාප නමැති ගීතයයි. එකී ප්‍රථම සරල ගී වැඩසටහනට අහුබුදු ලියූ ගොළු මුහුදේ මුතු ඇටය යන ගීතයත්, පුණ්‍යසිරි මහවත්ත ලියූ ඈත පෙනෙනා හිමව් කඳු මත යන ගීතයත් ඇතුළත් විය. මේ ගීත ත්‍රිත්වයම වික්‌ටර් රත්නායක විසින් නිර්මිත තනු රචනාය. වෙළෙඳ සේවය සඳහා ඉදිරිපත් කළ ප්‍රථම සරල ගී වැඩසටහනට ඇතුළත් වූ හේම ශ්‍රී අල්විස්‌ රචනා කළ "මයුරාසන මත වැඩ හිඳිනා" යන ගීතයත් සුජාතා අත්තනායක යුග ගායනයෙන් දායක ව "ඔබෙ සෙවණැල්ල වාගේ එමි" යන ගීතයත් ජනප්‍රියත්වයට පත් විය. ඉනික්‌බිතිව සිංහල ගීත ශ්‍රාවකයන් අතර වික්‌ටර් රත්නායක යන නාමය ප්‍රචලිත වූයේ මීගොඩ විල්සන් රචනා කළ මර්වින් පෙරේරා ගී තනු නිර්මාණය කළ පාවේ වලා, සෝක සැනසුම් වේදනා යන ගීත යුග්මයත් සෙන් වීරසේකර රචනා කළ සිහිල් සුළං රැල්ලේ ගීතයත් සමඟිනි. සිහිල් සුළං රැල්ලේ ගීතය ඔහු ගායනා කළේ සරල ගී වැඩසටහනක්‌ සඳහාය.

වික්‌ටර් රත්නායක ගායන ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රාගමනය කරද්දී රසඥතා ස්‌ථල දෙකක්‌ පැහැදිලිව හඳුනාගත හැකි වූයේය. ඉහළ ගණයේ කලා කෘති සේවනය කළ සුළුතරය හා ජනප්‍රිය - බොහෝ විට මධ්‍යම හා අවර ගණයේ නිෂ්පාදන මගින් තෘප්තියට පත් වූ බහුතරයයි. වික්‌ටර් රත්නායක මේ දෙපාර්ශ්වයම ආමන්ත්‍රණය කිරීමේ ප්‍රබල එමෙන්ම බහුජන ගෝචර, කාලයෝග්‍ය ශක්‍යතාවලින් සමෘද්ධව සිටියේය. ඔහුගේ භාග්‍යය තවත් ආකාරයකින් ජවසම්පන්නව තිබිණ. එනම්, එවක ප්‍රවීණ නවීන උභය ස්‌තරයෙහිම වඩාත් ප්‍රතිභාපූර්ණ වූ ගීත රචකයන් ඔහු වටා ඒකරාශී වීමයි. විශේෂයෙන් හැත්තෑව දශකයේදී සිය රචනා චාතූර්යය උරගා බැලූ අභිනව ප්‍රබන්ධකයෝ සිය නිර්මාණ වික්‌ටර්ගේ හඬින් අසන්ට රුචි කළහ. ඔවුන්ගේ අර්ථ සම්පන්න ප්‍රිය සමාගමය ද වික්‌ටර්ගේ සංගීත කලා චර්යාව සරුසාර කරන්ට හේතු විණ.

වික්‌ටර් රත්නායක ගායනා කළ ගීත අති බහුතරය ඔහු විසින්ම නිර්මිත තනු රචනාය. මෙයද ඔහුගේ ගායනවේද භූමිකාව තුළ ප්‍රකට වන විශේෂ ලක්‍ෂණයකි. ගායනය සඳහා උචිත සාහිත්යික රචනා තෝරා බේරා ගැනීමත් ඒ රචනා තනු සම්පාදනය කොට සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමත් මධුර චාරුතර ස්‌වරයෙන් රසිකයා හමුවට පැමිණවීමත් යන සෑම අදියරකදීම වික්‌ටර් රත්නායක ප්‍රකට කර ඇති කෞශල්‍යය ගායනය හා සංගීත නිර්මාණය යන උභයාංශයෙහිම ප§පාක පත් සංගීතවේදියෙකුගේ අනන්‍යතාව පිළිඹිබු කරන කැඩපතකි. වික්‌ටර් රත්නායක අමරදේව ඇතුළු ප්‍රබුද්ධ ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු සඳහා ගීත නිර්මාණය කොට දී තිබේ. එම ගීත බහුතරය "ගීත සේ කටපුරා හැඳින්විය හැකි අර්ථ පූර්ණ, රස පූර්ණ සාහිත්යික ගුණයෙන් අනූන රචනාය. එම රචනා සඳහා වික්‌ටර් නිර්මාණය කළ ගී තනු ගීතයේ සංචිත භාවාර්ථ කුළුගැන්වීමෙහිලා ඉවහල් වූයේ මතු නොව සංගීතඥයාගේ නාදමය ආමන්ත්‍රණයෙහි මාධූර්යයත් සාහිත්‍ය සංගීත සමායෝගයෙහි අත්‍යන්ත සෞන්දර්යයත් ඉතා මැනවින් ප්‍රකට කළ නිර්මාණ වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමන්ත හේරත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.