මේ වසර අවසානයේ BPO පුහුණුව
ලැබූවන් දාහක්‌ බිහිකරනවා

බී.පී.ඕ. ඇකඩමි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
යසස්‌ විශුද්ධි අබේවික්‍රම


ව්‍යාපාරික බාහිරකරණය BPO - Business process Outsourcing) සහ දැනුම් සැකසුම් බාහිරකරණය (KPO - Knowledge Process Outsourcing) යන සංකල්ප අපට අලුත් සංකල්ප වුවද මේවා අපේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයන් තුළ අඩු වැඩි වශයෙන් අවිධිමත්ව භාවිත වූ අවස්‌ථා දැකිය හැක. අද වනවිට මෙම සංකල්ප ඔස්‌සේ මෙරට තරුණ පෙළට රැකියා අවස්‌ථා පුළුල්වීමේ තත්ත්වයක්‌ දැකිය හැකි හෙයින් ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපි ලංකා බී. පී. ඕ. ඇකඩමි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යසස්‌ විශුද්ධි අබේවික්‍රම මහතා මුණගැසුනෙමි. ඒ සාකච්ඡාවේ සටහන පහතින් පෙළගැසෙයි.

ප්‍රශ්නය - ව්‍යාපාරික ක්‍රියා බාහිරකරණය හෙවත් BPO යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද?

පිළිතුර(- එක්‌ ආයතනයක ව්‍යාපාරික කටයුතුවල යම් යම් කොටස්‌ තවත් ආයතනයක්‌ ලවා කිරීම බාහිරකරණය කියා හඳුන්වන්න පුළුවන්. ඕනෑම ආයතනයක්‌ කිසියම් කාර්යයක්‌ සඳහා විශේෂීකරණය වී සිටින්නට පුළුවන්. එවන් විටකදී ආයතනයේ ප්‍රධාන කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමට දායක වන අනෙකුත් කටයුතු ඒ සඳහා විශේෂීකරණය වූ වෙනත් ආයතන ලවා ඉටුකරවා ගැනීම ආයතනික පරිපාලනයට පවා පහසුවක්‌ . සරල උදාහරණයක්‌ දැක්‌වුවහොත් අද බොහෝ ව්‍යාපාරික ආයතන තමන්ගේ ව්‍යාපාර ගිණුම් කටයුතු අවශ්‍යතා ඒ සඳහාම වූ ආයතනවලින් සපුරා ගැනීම දැක්‌විය හැකියි. මෙය රට තුළ හෝ රටවල් දෙකක්‌ හෝ කීපයක්‌ අතර වුවත් කළ හැකියි. මේ සංකල්පය නිසා ව්‍යාපාරික ආයතනවලට වියදම අඩුවීම, වැඩ පහසුවීම වැනි වාසි අත්විඳිය හැකිවනවා මෙන්ම ඇතැම් බටහිර රටවල මානව සම්පත් හිඟකමට ද ඉතා හොඳ පිළිතුරක්‌ වනවා.

ප්‍රශ්නය- KPO හෙවත් දැනුම් සැකසුම් බාහිරකරණය නමින් හඳුන්වන්නේ කුමක්‌ද?

පිළිතුර(- මුලදී කතා කළ පරිදි ඉතා පැහැදිලි ව්‍යාපාරික ක්‍රියා බාහිරකරණය කිරීම BPO මගින් සිදු වෙනවා. KPO (Knowledge process Outsourcing) හෙවත් දැනුම මත පදනම්ව බාහිරකරණය කරනවා කියන්නේ එතරම් පැහැදිලි නැති දේවල් බාහිරකරණයෙන් ඉටුකර ගැනීමයි. උදාහරණයකට යම් ව්‍යාපාරික ආයතනයකට වෙළෙඳපල පිළිබඳ තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය නම් එය එතරම් පැහැදිලිs නැති කාරණයක්‌. එබඳු අවස්‌ථාවක ඒ සඳහා විශේෂීකරණය වුණු සමීක්‍ෂණ ආයතනයකින් ඒ කාර්ය ඉටුකර ගැනීම වැනි දෙයක්‌ දක්‌වන්නට පුළුවන්. එබඳු දෙයක්‌ දැනුම මතයි පදනම් වෙලා තියෙන්නේ. විශ්ලේෂණ වාර්තා, ගිණුම් විශ්ලේෂණ වාර්තා, ඉදිරි දැක්‌මවල් නිර්මාණය වගේ දේවල් ණඡධ ලෙස හඳුන්වන්න පුළුවන්. තොරතුරු තාක්‌ෂණය මත පදනම්ව සිදුකෙරෙන බොහෝ දේ ඇතුළත් වන්නේ ණඡධ වලට.

ප්‍රශ්නය(- මෙබඳු අංශයක්‌ පිළිබඳ පාඨමාලා පවත්වාගෙන යැමේ අරමුණ පැහැදිළි කරන්න.?

පිළිතුර(- ලංකා බී. පී. ඕ. ඇකඩමිය ආරම්භ කරනතුරු, ලංකාවේ එම ක්‌ෂේත්‍රය පිළිබඳ හැදෑරීමට ආයතනයක්‌ තිබුණේ නැහැ. බොහෝ දුරට සිදුවුණේ ඒ ඒ ආයතන මගින්ම තමන්ම පුහුණු කරගෙන පිරිසක්‌ සමගිනුයි ඒ කාර්යයන් ඉටුකර ගත්තේ. නමුත් ලංකාවට මහා පරිමාණ ව්‍යාපෘති ගෙන එන්න නම් මෙබඳු ක්‍ෂේත්‍ර පිළිබඳ පුහුණු ශ්‍රමිකයන් සිටීම අවශ්‍ය වනවා. රැකියාවලට යොමු කිරීමට මානව සම්පතේ අඩුවක්‌ අපට නැතත් පුහුණු ශ්‍රමයේ අඩුවක්‌ තිබෙනවා. ඒත් ඉන්දියාව වැනි රටවල් එබඳු ක්‍ෂේත්‍රවලට ශ්‍රමිකයන් පුහුණුකර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නවා. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලංකාවට පැමිණි බොහෝ ආයෝජකයන් හැරිලා ගියේ ඔවුන්ට අවශ්‍ය තරම් පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමට නොහැකි වූ නිසයි. මේ තත්ත්වය නිසා බොහෝ ආයතනවලින් අපෙන් ඉල්ලීම් කර සිටිනවා තමන්ගේ ශ්‍රමිකයන් පුහුණුකර දෙන ලෙස. අපේ බලාපොරොත්තුව වන්නේත් 2011 වසර අවසන් වන විට ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරික ක්‍රියා බාහිරකරණය පිළිබඳ නිපුනයන් 1000 ක්‌ බිහිකිරීමටයි.

ප්‍රශ්නය (- මේ සඳහා ලංකා බී. පී. ඕ. ඇකඩමි ආයතනය දායක වෙන්නේ කොයි ආකාරයෙන්ද?

පිළිතුර(- අපේ මූලික කාර්ය ඊඡධ ක්‌ෂේත්‍රය සඳහා පුහුණු කිරීම් සිදු කිරීමයි. BPO සඳහා ලොව පිළිගත් අන්තර්ජාතික ආයතනය තමයි බී. පී. ඕ. සහතිකපත් ආයතනය (BPO Certification lnstitute) අපි ඔවුන් සමඟ සම්බන්ධ වුණා. ඔවුන් විසිනුයි අපේ ආයතනයේ පුහුණුව අවසන් කරන්නන් සඳහා සහතිකපත්‍ර නිකුත් කරන්නේ. මේ ජාත්‍යන්තර BCI ආයතනය ලොව පුරා රටවල් 40 ක, මධ්‍යස්‌ථාන 450 ක්‌ පුරා විසිරී පවතිනවා. BPO ප්‍රවීණත්වය, සේවා සැපයීමේ ගුණාත්මක භාවය සහ නිපුනතා කළමනාකරණය, ගුණාත්මක භාවය සඳහා වන ප්‍රමිතීන් නිර්මාණ සඳහා වන ලොව ප්‍රථම සහ එකම ආයතනය BCI ආයතනය ලෙස හැඳින්විය හැකියි.

ප්‍රශ්නය(-BPO පාඨමාලාව හැදෑරීම සඳහා වන මූලික සුදුසුකම් තිබෙනවාද?

පිළිතුර(- පාඨමාලා ආරම්භක තලයේ සිට ඉහළ තලය දක්‌වා තිබෙනවා. යම් ආයතනයක සේවය කර වෘත්තීය අත්දැකීම් ලැබූ අයට ඉහළ තලයේ පාඨමාලා සඳහා ප්‍රවේශ විය හැකියි. ආරම්භක තලයට උසස්‌ පෙළ සමත්, ඉංග්‍රීසි සහ ගණිතය සමත් අයට ඇතුළත් විය හැකියි. නමුත් මේ මූලික සුදුසුකම් තදින් බලන්නේ නැහැ. ඒ අයට මේ ක්‌ෂේත්‍ර සුදුසු ද කියා අපි මුලින් අවබෝධ කර ගන්නවා. පාඨමාලාව සාර්ථකව හැදෑරීමට නොහැකියි කියා හැඟෙන අයට අපි කරුණු අවබෝධ කර දෙනවා. BPO ක්‌ෂේත්‍රය පිළිබඳ අදහස නම් හොඳින් පුහුණුවක්‌ ලබා දුන්නොත් ඕනෑම අයකුට මේ ක්‌ෂේත්‍රයේ සාර්ථකව යෙදෙන්න පුළුවන් බවයි.

ප්‍රශ්නය(- පාඨමාලාවන් සඳහා වන විෂය නිර්දේශයක්‌ හෝ තෝරාගත හැකි විෂය ප්‍රභේද තිබෙනවාද?

පිළිතුර(- පාඨමාලා පූර්ණකාලීනව හා අර්ධකාලීනව පවත්වාගෙන යනවා. මෙහිදී ප්‍රධාන අංශ හතරක්‌ තිබෙනවා. එකක්‌ කෝල් සෙන්ටර් හෙවත් ඇමතුම් සේවා මධ්‍යස්‌ථාන දෙවැන්න දත්ත ඇතුළු කිරීමේ සේවා. තෙවැන්න ගිණුම් සම්බන්ධ සේවා, හතරවැන්න තාක්‌ෂණික සහයෝගි සේවා මේ අතරින් ගිණුම් සම්බන්ධ අංශය ලංකාවේ ඉතා ජනප්‍රියයි. මෙය අධ්‍යාපනික පාඨමාලාවක්‌ නොවේ. නමුත් ක්‍ෂේත්‍රය තුළ ඉහළට යන්නට අවශ්‍ය වෘත්තීය පහසුකම් ලබා දෙන්න පුළුවන්. මේ පාඨමාලාව අවසානයේ රැකියාවක්‌ සොයා ගැනීම ඉතාමත් පහසුයි. අප ආයතනය සමඟ සම්බන්ධ වී සිටින බොහෝ ව්‍යාපාරික ආයතන වෙත පුහුණුව ලැබූවන් යොමු කිරීමටද අප පියවර ගන්නවා. ඊට අමතර මෙම සහතිකයට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති නිසා විදේශ රැකියාවකට වුවත් පහසුවෙන් යොමුවන්නට පුළුවන්.

ප්‍රශ්නය(- මේ පාඨමාලා සඳහා යොමුවන්නකුට ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැක්‌කේ කෙසේද?

පිළිතුර(- හයිලෙවල් පාර නුගේගොඩ අංක. 141/1 දරණ ස්‌ථානයේ පිහිටි ගොඩනැඟිල්ලේ පළමු මහළට පැමිණ හෝ 0714 - 877899 අංකයෙන් හෝ yasas@
acmail.net.au ලිපිනයෙන් හෝ තොරතුරු දැනගත හැකියි.

සාකච්ඡා සටහන - නිරෝෂන් හැඳලගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.