ඓතිහාසික ජාතික වගකීම

"බලය බෙදාහැරීම හා දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම" සඳහා රජය හා දෙමළ ජාතික සන්ධානය අතර මේ වන විට සාකච්ඡා වට දෙකක්‌ පවත්වා අවසන් බවත් එම සාකච්ඡා තව දුරටත් ඉදිරියට ගෙන යැම සඳහා දෙපාර්ශ්වයෙන් කමිටු දෙකක්‌ පත්කර තිබෙන බවත් අපගේ දිනපතා "දිවයින" ඇතුළු වෙනත් මාධ්‍ය කීපයක්‌ ද වාර්තා කර තිබිණි. එසේම එම සාකච්ඡා පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දැනුවත් කිරීමට එම පක්‌ෂයේම විශේෂ නියෝජිත පිරිසක්‌ ඉන්දියාවට ගොස්‌ ඇති බවද එහි සඳහන් විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ එකම නායකයා ලෙස පෙනී සිටීමේ පරම බලය පවරා ගෙන සිටි ප්‍රභාකරන් මෙන්ම ඔහුගේ ෆැසිස්‌ට්‌වාදී සංවිධානය ද දැන් පරාජය කර වසර දෙකකට ආසන්න කාලයක්‌ද ඉකුත් වී තිබේ. ඒ කාලය තුළ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම හා ඔවුන්ගේ මානුෂික හා වෙනත් මූලික වුවමනාවන් සඳහා ද කළ යුතු දේවල් තිබුණු බව ද අප කිවයුතුය. තවමත් ඒවා පිළිබඳ විවේචනද වේ.

කෙසේ හෝ දැන් තව දුරටත් මේ ප්‍රශ්නය පමා කළ යුතු නැත. බලය බෙදාහැරීම හා දේශපාලන විසඳුමක්‌ යන යෙදුම් අපි පසුගිය ගැටුම් පැවැති දසක තුනකට වැඩි කාලයක්‌ තිස්‌සේ ද අසා ඇත්තෙමු. මේ යෙදුම් තුළ මොන මොනවා අඩංගු වී තිබේදැයි තවමත් සැක මුසුව, කුහුල් සිතින් බලන අය ද සිටිති.

බලය බෙදීම වුවමනා කාට ද? දේශපාලන විසඳුම කුමක්‌ද? යන්න පිළිබඳව ද සිදුවූ වාද විවාද කාණ්‌ඩ කීපයකින් සමන්විත පොත් පෙළකට වුවද ප්‍රමාණවත් බවද නිසැකය. එහෙත් ඒ බොහෝ අදහස්‌ ඉතා පැහැදිලිවම අන්ත දෙකක්‌ නියෝජනය කළ බව අපගේ අදහසය. එක්‌ පිලකට වුවමනා වූයේ මේ රට බෙදා වෙන් කර පසුකාලීනව ඊළමක්‌ නිර්මාණය කිරීමට පසුබිමක්‌ සැකසීමය. අනෙක්‌ පිල ඒ සියල්ලට එරෙහිව ඒකීයත්වය සඳහාම පෙනී සිටියහ.

මේ දෙපිලටම අයත් නැති එසේම ජාතික සමගිය ගොඩ නගා ගත යුතු යෑයි අවංකවම කී පිරිසක්‌ ද වූහ. එහෙත් අවාසනාවකට මෙන් රට ඇදී ගියේ බෙදුම්වාදය නමැති අගාධය වෙතටය. එහි දුෂ්ට මෙහෙයුම්කරු ලෙස රට භීතියට පත් කළ ප්‍රභාකරන් ඒ වෙනුවෙන් කළ විනාශය අමුතුවෙන් විස්‌තර කළ යුතුද නැත.

සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු ජනතාව ඒ භීෂණයට ගොදුරු වූ අතර මුළු රටම ලේ ගංගාවක්‌ නොව සාගරයක්‌ බවට පත්ව තිබිණි. ප්‍රභාකරන් නිහඬ කරවීම හැර එයට වෙන විසඳුමක්‌ නොමැති බව මහින්ද රාජපක්‍ෂ රජය ප්‍රත්‍යක්‌ෂවම දැන ගත්තේය. මේ එහි යහපත අයහපත, හෝ අඳුරු වේදනා පිළිබඳ විග්‍රහ කළ යුතු වේලාවක්‌ නොවේ. එහෙත් තවමත් ඒ ගැටුම් පිළිබඳව හෝ මානව හිමිකම් කඩවීම් පිළිබඳව හෝ ඝෝෂා කරන්නෝ ද සිටිති.

මේ ඝෝෂකයන් අතරද විවිධ චරිත මෙන්ම විවිධ අරමුණු ද තිබෙන බව පමණක්‌ අපි කියමු. එහෙත් දෙමළ ජාතික සන්ධානයට එබඳු පටු අරමුණු ඇතැයි අපි නොසිතමු. සත්තකින්ම ඔවුහු අද සිය ජනතාවගේ හෘදය සාක්‌ෂිය නිවැරැදිව කියවා මේ ප්‍රශ්නයට පිවිසිය යුතු වෙති. ඔවුන්ට ඒ සඳහා තිබුණු ප්‍රධානම බාධකය ද දැන් ඉවත්ව තිබීම නිසා ඒ කාර්ය අසීරු නොවන බවද අපගේ විශ්වාසයයි.

මේ ප්‍රශ්නය විස¹ ගැනීමේදී ඉන්දියාව මැදිහත් වන්නේ විශේෂයෙන් තමිල්නාඩුවේ බලපෑම හා කරදර ඉවසන්නට බැරිම තැනදී බවද අපගේ අදහසය. අපේ දිගු කාලීන සංස්‌කෘතික නෑයා අපට එරෙහිව මේ රටට නපුරක්‌ කරනු ඇතැයිද අපි නොසිතමු. එහෙත් තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වන ජරපත් වර්ගවාදී විෂබීජ සහිත දුෂ්ටයන්ගෙන් ඉන්දියාව මෙන්ම අපි ද ප්‍රවේශම් විය යුතු වෙමු.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වරක්‌ ප්‍රකාශ කළේද මේ ප්‍රශ්නයට අපගේ විසඳුමක්‌ සොයා ගත යුතු බවය. ඉන්දියාව අපේ හිස මත තැබූ පළාත් සභා පොදියේ නිෂ්ඵල බර විනා එයින් මේ ප්‍රශ්නයට තඹ දොයිතුවක ඵලක්‌ වී නැත. සැබැවින්ම අප කර ඇත්තේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. ඒ උතුරට දිය යුතුව තිබුණු පළාත් සභා දකුණට දීමකි.

කෙසේ හෝ දැන් අපට මේ අර්බුදය දෙස සන්සුන් මනසකින් බැලීමට හැකිය. දෙමළ ජාතික සන්ධානයට වුවද එදා තිබුණු පීඩනය හෝ භීතිය අද නැත. අප හැම දෙනෙක්‌ම මේ ප්‍රශ්නයට ඕනෑවටත් වඩා වන්දි ගෙවා ඇත්තෙමු. විඳවා ඇත්තෙමු. දැන් අප කළ යුත්තේ ඒ වේදනාබර ඉතිහාසය පෑරවීම හෝ එකිනෙකාට දොස්‌ පැවරීම හෝ නොව මේ කුඩා දිවයින තුළ අපගේ සියලු ජනතාවට එක්‌ව නිදහසේ ජීවත්විය හැකි හෙට දවසක්‌ නිර්මාණය කර දීමය.

රජයේ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ අපේක්‌ෂාව විය යුත්තේ එකම රටක එක්‌සත් ජාතියක්‌ ලෙස නැගී සිටීමට උචිත වාතාවරණයක්‌ ගොඩ නැංවීමය. එකිනෙකාගේ ජාතික හා සංස්‌කෘතික අනන්‍යතාව ගරු කරන, එකිනෙකා දෙස සැකයෙන් නොබලන සමාජයක්‌ ගොඩ නැංවීමේ මූලික වගකීම අප හැම දෙනකුටම තිබේ. ඒ සඳහා ජන මනස සූදානම් කළ යුත්තේ රජයත් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ සියලු දේශපාලන නායකයන් බව අපි අවධාරණය කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.