තැපැල් දින සාදේ කෑ මුදල් අපරාදේ

* තැපැල් කලා උළෙලේ සිංහල නිවේදනය වෙනුවෙන්
ගෙවා ඇති මුදල රුපියල් අසූදාහක්‌ වේ. දෙමළ නිවේදනය
වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් තිස්‌දාහකි.

* මේ අනුව ලෝක තැපැල් දිනයට සමගාමීව එලෆින්ස්‌ටන්
රඟහලේ පැවැත්වූ තැපැල් කලා උළෙල සඳහා දැනට අප සතුව
ඇති ලිඛිත සාක්‍ෂි වලට අනුව වැයකර ඇති මුළු මුදල රුපියල්
විසිදෙලක්‍ෂ අනූනවදාස්‌ එකසිය අසූඅටයි ශත හැට දෙකක්‌ වේ.

* ජෙට්‌ ලයිනර් නෞකාවේ පැවති සුපිරි සාදය සඳහා තැපැල්
දෙපාර්තමේන්තුව වැය කර ඇති මුළු මුදල රුපියල් තිස්‌දෙලක්‍ෂ
පහලොස්‌දාස්‌ හාරසිය පනස්‌ හයයි ශත පනස්‌ අටක්‌ වේ.

හොරාට ගණ දෙවියන්ගේ නුවණ ඇතැයි කියමනක්‌ තිබේ. රටටම ලියුම් බෙදන සාංගික දේපළක්‌ බඳු තැපැල් දෙපාර්තමේන්තුවද අද හොර ගුහාවකි. තැපෑලේ ඉන්නේ එසේ මෙසේ හොරු නොවේ කම්බා හොරුය. ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය ආවත් තැපෑලේ හොරු අල්ලන එක ලෙහෙසි පහසු නැත.

අප එසේ කියන්නේ අපේ රටේ පොලිසියටවත් අල්ලස්‌ කොමිසමටවත්, ජනාධිපති විමර්ශන අංශයටවත් තැපෑලේ හාල් මැස්‌සෙක්‌ ඇරෙන්නට තෝරු මෝරු අල්ලා ගැනීමට නොහැකි වී ඇති නිසාය.

අපට හොරු අල්ලන්නට බැරිය. නමුත් හැරෙන තාලෙන් හොරාත් හොරාගේ අම්මාත් හඳුනා ගැනීම අමාරු නැත. මුල මැද අග කිසි අඩුවක්‌ නැතුව සාක්‍ෂි සහිතව හෙළි දරව් කළ හැක. අපි අනාවරණය කරන්නේ රුපියල් එක්‌කෝටි විසිහය ලක්‍ෂ හැත්තෑපන්දාස්‌ තුන්සිය පනස්‌ දෙකයි ශත දහතුනක (රු. 12675352.13) මුදලක්‌ වැයකරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සුපිරි නිලධාරි පැලැන්තිය ලෝක තැපැල් දිනය රජ මඟුලක්‌ ලෙස සැමරූ අන්දමයි.

ලෝක තැපැල් දිනය සෑම වසරකම ඔක්‌තෝබර් මස 9 වෙනිදාට යෙදී තිබේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත විශ්ව තැපැල් සංගමය 1874 ඔක්‌තෝබර් මස නමවැනි සිකුරාදා නිලවශයෙන් ආරම්භ වූ අතර එහි මුළු සාමාජික සංඛ්‍යාව 191 කි. විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන සෑම රටක්‌ම ලෝක තැපැල් දිනය අභිමානවත් ලෙස සැමරීම සිදුකරයි.

විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකාවේ අපට ලෝක තැපැල් දිනය තවත් එක්‌ ජාත්‍යන්තර සමරු දිනයක්‌ පමණි. නමුත් බොරදියේ මාළු බාන්නට උපන් හපන්කම් දක්‌වන තැපැල් දෙපාර්තමේන්තුවේ සුපිරි නිලධාරි පැලැන්තිය ලෝක තැපැල් දිනය රජ මඟුලක්‌ ලෙස සමරන්නට සැලසුම් සකස්‌ කළේ 2010 වර්ෂය ලබන්නටත් පෙර සිටය. ඒ තැපැල් ඇමැතිවරයාටවත් ලෝක තැපැල් දිනයේ සැමරුම් උත්සව වෙනස්‌ කිරීමට නොහැකි පරිදිය. ඒ සඳහා ජාවාරම්කාර තැපෑලේ නිලධාරි පැලැන්තිය ප්‍රබලතම තර්කය හැටියට ඉදිරිපත් කළේ රජයේ මුදල් ශත පහක්‌වත් මේ සඳහා වැය නොකරන බව සපත කරමිනි.

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළියෙ යෑයි කිව්වාසේ ලෝක තැපැල් දින රජ මඟුලේ නිරුවත හෙළිවෙන්නට වැඩි දවසක්‌ ගියේ නැත. රජ මඟුලේ සුවිශේෂි අවස්‌ථා කීපයක්‌ ඒ සඳහා වැය කළ මුදල්ද සමග අප අද මුළු රටටම හෙළිකරන්නේ තැපෑලට ආදරය කරන සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේම දැන ගැනීම සඳහායි.

ලෝක තැපැල් දිනය සැමරීම සඳහා ජාතික මට්‌ටමේ ප්‍රධාන සැමරුම් උත්සව හතරක්‌ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණි.

ඉන් පළමු වැන්න 2010 වසරේ නිකිණි මස 13 වැනි දින එල්ෆින්ස්‌ටන් රඟහලේ පැවැත්වූ තැපැල් කලා උළෙලයි. කලා උළෙලවල් පවත්වා තැපැල් සේවකයන්ගේ කලා කුසලතාවන් අගය කරනවාට අපේ කිසි විරුද්ධත්වයක්‌ නැත. නමුත් කලා උළෙල යන බෝඩ් ලෑල්ලට මුවාවී තැපැල් සේවකයන් විකුණාගෙන කන්නට කාටවත් ඉඩදිය නොහැක.

2010-5-25 වැනි දින තැපැල් කලා උළෙල සඳහා එලෆින්ස්‌ටන් රඟහල වෙන්කිරීම සඳහා චෙක්‌පත් අංක (037532) යටතේ රුපියල් දහඅටදාහක මුදලක්‌ වැයකර ඇත. 2010-8-13 වැනි දින රඟහලේ ඉතිරි ගාස්‌තු පියවීම සඳහා චෙක්‌පත් අංක (044862) යටතේ තවත් රුපියල් විසිපන්දාස්‌ හත්සීයක මුදලක්‌ ගෙවා ඇත. තැපැල් කලා උළෙල සඳහා ආරාධනා පත්‍ර එක්‌දාස්‌ හත්සීයක්‌ මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා චෙක්‌පත් අංක (044925) යටතේ රුපියල් පනස්‌දාස්‌ නවසිය අසූනමයයි ශත දොළහක මුදලක්‌ වැයකර ඇත.

තැපැල් කලා උළෙලේ සිංහල නිවේදනය වෙනුවෙන් චෙක්‌පත් අංක (044858) යටතේ ගෙවා ඇති මුදල රුපියල් අසූදාහක්‌ වේ. දෙමළ නිවේදනය වෙනුවෙන් ගෙවා ඇති මුදල චෙක්‌පත් අංක (044861) රුපියල් තිස්‌දාහකි.

තැපැල් කලා උළෙල සජීවීව රූගතකිරීම සඳහා 2010-8-13 වැනි දින චෙක්‌පත් අංක (044851) යටතේ රුපියල් හාර ලක්‍ෂ හතළිස්‌ පන්දාහක මුදලක්‌ ගෙවා තිබේ. 2010-8-13 වැනි දින වේදිකා ආලෝක කරණය පසුතල නිර්මාණ මල් සැරසිලි, ශබ්ද විකාශන, ශබ්ද පරිපාලනය හා සංගීත උපකරණ සැපයීම සඳහා රුපියල් හත්ලක්‍ෂ හැත්තෑඅටදාහක මුදලක්‌ චෙක්‌පත් අංක (044852) යටතේ ගෙවා ඇත.

2010-7-09 වැනිදින අභිරූපන හා ජන ගායනා විනිශ්චය සඳහා චෙක්‌පත් අංක (037771) යටතේ ගෙවා ඇති මුදල රුපියල් තිස්‌දාහකි. 2010-7-30 වැනි දින අභිරූපන හා ජනගායනා විනිශ්චය මණ්‌ඩලය සඳහා දිවා ආහාරය සැපයීම වෙනුවෙන් චෙක්‌පත් අංක (037772) යටතේ ගෙවා ඇති මුදල රුපියල් එකොලොස්‌ දාස්‌ එකසිය හතළිහකි.

2010-8-06 වැනිදින කථික, විවාද, නැටුම් විනිශ්චය මණ්‌ඩල ගාස්‌තු ලෙස චෙක්‌පත් අංක (037786) යටතේ ගෙවා ඇති මුදල රුපියල් පනස්‌ එක්‌දාහක්‌ වේ. තැපැල් කලා උළෙල සඳහා වාද්‍ය වෘන්දය සැපයීම වෙනුවෙන් චෙක්‌පත් අංක (044856) යටතේ ගෙවා ඇති මුදල රුපියල් එක්‌ලක්‍ෂ විසිපන් දාහක්‌ වේ.

2010-8-13 වැනිදින තැපැල් කලා උළෙලේ ගීත ගායනා වෙනුවෙන් චෙක්‌පත් අංක (044853-855) යටතේ වැයකර ඇති මුදල රුපියල් එක්‌ලක්‍ෂ විසිදාහක්‌ වේ. 2010-8-13 වැනි දින අවසන් තරග සඳහා සංග්‍රහ වියදම් වශයෙන් චෙක්‌පත් අංක (044866) යටතේ රුපියල් හැටහයදාස්‌ අටසිය එකොලහයි ශත හැත්තෑ පහක මුදලක්‌ සහ 2010-8-31 වැනි දින අගෝස්‌තු 5 සිට 8 දක්‌වා තැපැල් කලා උළෙලේ සංග්‍රහ වියදම් වශයෙන් තවත් රුපියල් හතළිස්‌ හත්දාස්‌ නවසිය පනස්‌ දෙකයි ශත හැත්තෑපහක මුදලක්‌ ගෙවා ඇත.

මේ අනුව ලෝක තැපැල් දිනයට සමගාමීව එලෆින්ස්‌ටන් රඟහලේ පැවැත්වූ තැපැල් කලා උළෙල සඳහා දැනට අප සතුව ඇති ලිඛිත සාක්‍ෂි වලට අනුව වැයකර ඇති මුළු මුදල රුපියල් විසිදෙලක්‍ෂ අනූනවදාස්‌ එකසිය අසූඅටයි ශත හැට දෙකක්‌ වේ.

ලෝක තැපැල් දිනය යෙදුණු ඔක්‌තෝබර් නව වැනිදා ප්‍රධාන උත්සව දෙකක්‌ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණි. ඉන් පළමු වැන්න ආග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේ පැවති උත්සවයයි. දෙවැන්න ජෙට්‌ ලයිනර් සුපිරි නෞකාවේ පැවති සුපිරි සාදයයි. අපි මුලින්ම ඔබට කියන්නේ ප්‍රවෘත්තිමය අතින් වැඩි වටිනාකමක්‌ ඇති සුපිරි සාදය පිළිබඳවයි.

2010-5-25 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඡේට්‌ලයිනර් නෞකාව වෙන්කර ගැනීම සඳහා චෙක්‌පත් අංක (037533) යටතේ රුපියල් හතළිස්‌ දාහක මුදලක්‌ ගෙවා තිබේ. ඒවගේම 2010-10-14 වැනි දින කමාන්ඩර් ඔෆ් නේවි වෙස්‌ටර්න් නේවල් කමාන්ඩ් ජෙට්‌ ලයිනර් නැව සඳහා ඉතිරි ගාස්‌තු ලෙස චෙක්‌පත් අංක (045002) යටතේ රුපියල් හාරලක්‍ෂ හාරදාස්‌ හත්සිය විසි පහයි ශත පනහක මුදලක්‌ ඇත. ඊට අමතරව 2010-10-25 වැනි දින ජෙට්‌ලයිනර් නෞකාවේ අනෙකුත් සේවාවන් සැපයීම සඳහා චෙක්‌පත් අංක (045032) යටතේ රුපියල් හයලක්‍ෂ හැත්තෑහත්දාස්‌ හාරසිය පනහක මුදලක්‌ ගෙවා තිබේ.

2010-10-26 වැනි දින ජෙට්‌ ලයිනර් නෞකාවේ තැපැල් දින උළෙල බහු කැමරා ආශ්‍රයෙන් රූගත කිරීම සඳහා චෙක්‌පත් අංක (045031) යටතේ රුපියල් හාරලක්‍ෂ අසූපන්දාහක මුදලක්‌ වැයකර ඇත. 2010-10-13 වැනි දින ජෙට්‌ ලයිනර් නෞකාවේ පැවති ජාතික උත්සවයේ නිවේදන කටයුතු වෙනුවෙන් චෙක්‌පත් අංක (044997-998) යටතේ රුපියල් හතළිස්‌ දාහ බැගින් රුපියල් අසූදාහක මුදලක්‌ දෙදෙනෙකුට ගෙවා තිබේ.

2010-10-26 වැනි දින තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාව විස්‌තරකරමින් ජෙට්‌ ලයිනර් නෞකාවේදී ප්‍රදර්ශනය කළ ටෙලි පුරකය සඳහා චෙක්‌පත් අංක (045033) යටතේ රුපියල් නව ලක්‍ෂ අසූ දාහක මුදලක්‌ එහි නිෂ්පාදකවරයාට ගෙවා ඇත.

ජෙට්‌ ලයිනර් නෞකාවේ පැවති සුපිරි සාදය සඳහා ආරාධනා ලැබ සිටි තැපෑලේ සුපිරි නිලධාරින් ඇතුළු මහත්වරු සහ නෝනලා සියලුම දෙනාටම නාවික හමුදාව මගින් තැපැල් මූලස්‌ථානයේ සිට කොළඹ වරාය වෙත රැගෙන ගිය අතර ඉන් පසු ආරාධනා පත්‍ර පරික්‍ෂාකොට ඔවුන් සියලු දෙනාවම නැවට ඇතුළු කරනු ලැබීය. ඉන්පසු ජෙට්‌ ලයිනර් නැව දෙහිවල දෙසට යාත්‍රා කරන ලදී.

ජෙට්‌ ලයිනර් නෞකාවේ පැවති සුපිරි සාදය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වැය කර ඇති මුළු මුදල රුපියල් තිස්‌දෙලක්‍ෂ පහලොස්‌දාස්‌ හාරසිය පනස්‌ හයයි ශත පනස්‌ අටක්‌ වේ. එනම් රුපියල් මිලියන තුනකට අධික වේ. තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තම රාජකාරිය හරිහැටි ඉටුකරන සාමාන්‍ය තැපැල් සේවකයන් කිසිවෙකුටවත් ජෙට්‌ ලයිනර් නැවට ගොඩවන්නට තියා ඒ අහලකටවත් යන්නට බැරි විය.

අපි මීළඟට හෙළිකරන්නේ ලෝක තැපැල් දින උත්සවයේ තවත් අංගයක්‌ වන තැපැල් ක්‍රීඩා උළෙල පිළිබඳවයි.

2010-8-05 දින අනුරාධපුරයේ රත්නමාලි විශ්‍රාම ශාලාව වෙන්කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් චෙක්‌පත් අංක (037784) යටතේ රුපියල් හැටනමදාස්‌ නවසීයක මුදලක්‌ ගෙවා ඇත.

2010-8-13 වැනිදින අනුරාධපුර මහජන ගෘහස්‌ථ ක්‍රීඩාංගණය වෙන්කිරීම චෙක්‌පත් අංක (037800) යටතේ රුපියල් අටදාස්‌ පන්සිය තිස්‌ හයයි ශත හැට හතරක මුදලක්‌ සහ 2010-8-27 වැනි දින අනුරාධපුර මහජන එළිමහන් ක්‍රීඩාංගණය වෙන් කිරීම සඳහා චෙක්‌පත් අංක (044895) යටතේ තවත් රුපියල් අටදාස්‌ පන්සිය තිස්‌ හයයි ශත හැට හතරක මුදලක්‌ වැයකර ඇත.

2010-10-27 වැනි දින තැපැල් ක්‍රීඩා උළෙල බහු කැමරා ආශ්‍රයෙන් රූගත කිරීම සඳහා චෙක්‌පත් අංක (045036) යටතේ රුපියල් තුන් ලක්‍ෂ අනුහය දාහක්‌ වැයකර තිබේ. 2010-9-24 වැනි දින තැපැල් ක්‍රීඩා උළෙල සඳහා ආරාධනා පත්‍ර 100 මුද්‍රණය කිරීම සඳහා චෙක්‌පත් අංක (044941) යටතේ රුපියල් දහදාහක මුදලක්‌ වැයකර ඇත.

මේ අනුව තැපැල් ක්‍රීඩා උළෙල සඳහා වැයකර ඇති මුළු මුදල රුපියල් හතළිස්‌ පන්ලක්‍ෂ අනූනමදාස්‌ තුන්සිය හයයි ශත අනූ තුනක්‌ වේ.

අපි මීළඟට අනාවරණය කරන්නේ ලෝක තැපැල් දිනය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය දී. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේ පැවති රාජ්‍ය උත්සවය පිළිබඳවයි.

2010-10-13 දින මොරටුවේදී පැවැත්වූ ජාතික තැපැල් උළෙල නිවේදන කටයුතු සඳහා චෙක්‌පත් අංක (044996) යටතේ රුපියල් හතලින් දාහක මුදලක්‌ ගෙවා ඇත. 2010-10-16 වැනි දින මොරටුවේ පැවැත්වූ ජාතික තැපැල් උළෙලේ ශ්‍රවණාගාර පහසුකම් ලබා ගැනීම සඳහා චෙක්‌පත් අංක (045966) යටතේ රුපියල් දාසය දාස්‌ තුන්සිය විසිපහයි ශත හතළිහක මුදලක්‌ වැයකර ඇත.

2010-10-08 වැනි දින මොරටුවේ පැවති ජාතික තැපැල් උළෙල සඳහා සහභාගි වූ අය වෙනුවෙන් සංග්‍රහ කිරීමට චෙක්‌පත් අංක (044982) යටතේ රුපියල් අනූහතර දාස්‌ එකසීයක්‌ වැයකර තිබේ. 2010-10-13 වැනි දින නැවත මොරටුවේ පැවැත්වූ ජාතික තැපැල් උළෙලට සහභාගි වූවන් සඳහා කෙටි ආහාරයෙන් සංග්‍රහ කිරීමට චෙක්‌පත් අංක (045022 / 045023) යටතේ රුපියල් හත්දාස්‌ නවසීයක මුදලක්‌ සහ රුපියල් දාහත්දාස්‌ දෙසිය පනහක මුදලක්‌ වැයකර ඇත.

මේ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේ පැවති ලෝක තැපැල් දින සැමරුම් උත්සවය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වැයකර ඇති මුළු මුදල රුපියලක්‌ අටලක්‍ෂ නවදාස්‌ හාරසිය විසිපහයි ශත හතළිහක්‌ වේ.

තැපැල් මූලස්‌ථානයේද තැපැල් දිනය සැමරීම සඳහා උළෙලක්‌ පවත්වා තිබේ. ඒ සඳහා වියදම් කර ඇති මුදල අනූඅටදාස්‌ හාරසිය අනූපහකි. මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේද තැපැල් දින උත්සවයක්‌ පවත්වා ඇත. ඒ සඳහා 2010-8-30 වැනි දින චෙක්‌පත් අංක (044903) යටතේ රුපියල් පනස්‌දාහක මුදලක්‌ වැයකර ඇත. මීට අමතරව පළාත් මට්‌ටමින්ද විශාල වශයෙන් මුදල් වැයකර උත්සව පවත්වා තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව මෙලෙස මුදල් කාබාසිනියා කරන්නට පටන් ගෙන ඇත්තේ දිගින් දිගටම පාඩු ලබමින් සිටියදීය. 2009 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේත්තුව ලැබූ පාඩුව රුපියල් කෝටි දෙසිය හැටකි. 2010 වසර තුළදීද තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ශත පහකින් වත් වැඩිවී නැත. සිදුවී ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ලම පහතට කඩා වැටීම පමණි.

මුදල් ඇණවුම් කොමිස්‌ ආදායම, ජාතික ඉතිරි කිරීමේ බැංකු ගාස්‌තු ආදායම, මුද්දර ආදායම, දුරකතන ආදායම, තැපැල් ලිපි ද්‍රව්‍ය ආදායම, ෆැක්‌ස්‌ පණිවුඩ ආදායම, විදුලි බිල් කොමිස්‌ මුදල් ආදායම, මින් ප්‍රධාන තැනක්‌ ගනී. මේ අනුව තැපැල් දෙපාර්තමේන්තුව අද යන්නේ රිම් එකෙනි. නමුත් තැපෑලේ මහ පුටුවල රජකරන සුපිරි නිලධාරි පැලැන්තියට මේවා ගැන කිසි ගානක්‌ නැත. කෙටියෙන් කියනවා නම් මේ අයට නැව ගිලුනත් බෑන්චූන්ය.

තැපැල් බලධාරින් පවසන්නේ ලෝක තැපැල් දින උත්සව සඳහා වැයකළේ රජයේ මුදල් නොව පුද්ගලික ආයතන වලින් තැපෑලට ලැබුණ මුදල් බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවට කවුරුවත් පිනට සල්ලි දෙන්නේ නැත. පුද්ගලික ආයතන කීපයකින් මුදල් ලැබී තිබෙන බව සැබෑය. නමුත් එම මුදල් ලබදී ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව සමග හවුල් ව්‍යාපාර කරන ආයතන කීපයකි. තැපෑලට පුද්ගලික ආයතන වලින් පිනට සල්ලි දෙන බව කියන්නේ නම් තැපැල් අමාත්‍යංශය කළ යුත්තේ ලංකාවේ සෑම තැපැල් කාර්යාලයක්‌ ඉදිරිපිටම පිං පෙට්‌ටියක්‌ තැබීමය.

2010 වසරේ ලෝක තැපැල් දිනය සුපිරි ජෙට්‌ ලයිනර් නෞකාවේ පැවැත්වූ තැපැල් දෙපාර්තමේන්තුව 2011 වසරේ ලෝක තැපැල් දින උත්සවය තැපැල් මූලස්‌ථානයට ඉහළ අහසේ සුපිරි ගුවන්යානයක සිට සැමරුවහොත් ඒ පිළිබඳවද පුදුම විය යුතු නැත.

තැපැල් කටයුතු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගෙන් ලෝක තැපැල් දින ගනුදෙනු සම්බන්ධයෙන් විමසූ විට ඇමැතිවරයා පැවසුවේ මෙයයි.

"ලෝක තැපැල් දිනය සැමරීම සඳහා විශාල මුදලක්‌ තැපැල් දෙපාර්තමේන්තුව වියදම් කර ඇති බවට තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් තැපැල් ඇමැතිවරයා හැටියට මට දැනුම් දිලා තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ ප්‍රශ්න රාශියක්‌ තිබෙන ආයතනයක්‌. එමනිසා තැපැල් සේවකයන්ගේ සුබ සාධනයක්‌ වෙනුවෙන් පියවර ගැනීම ගැටලුවක්‌ නොවේ. නමුත් අද ආන්දොaලනයක්‌ ඇතිවෙලා තියෙන්නේ ලෝක තැපැල් දිනයට සමගාමීව විශාල මුදලක්‌ වියදම්කර තිබීම සම්බන්ධයෙනුයි.

තැපැල් ඇමැතිවරයා හැටියට මම අමාත්‍යංශ ලේකම්තුමාට උපදෙස්‌ ලබාදී තිබෙනවා මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරලා අවශ්‍ය පියවර ගන්න කියලා. මම කවදාවත් හොරුන්ව ආරක්‍ෂා කරන්නේ නැහැ යනුවෙන්ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

තැපැල් කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන එකම ආයතනය තැපැල් දෙපාර්තමේන්තුවයි. එමනිසා තැපෑලේ වැඩ ගැන තැපැල් අමාත්‍යංශය සොයා බැලිය යුතුය. තැපෑලේ නිලධාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩදී බලා සිටියහොත් තැපෑලට අනිච්චා වත සංඛාරා කියන්නට වෙන දවස වැඩි ඈතක නොවේ.

ප්‍රියදර්ශන ලියනගේ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.