ගින්දර තවම නිවිලා නැද්ද යාපනේ!

ශ්‍රී ලංකා ඉතිහාසය ආරම්භ වූ දා පටන් එහි වැසියන් පමණක්‌ නොව මුළු ලෝකයේම වැසියෝ යාපනය ගැන කතා කරති. උතුරු - දකුණු මිත්‍රත්වයේ පාලමකට හා නෑකමකට හොඳම තැන යාපනය වුවත් කාලයේ වැලිතලාවත් සමග වරින්වර මේ මිත්‍රත්වය පලුදු හා කෙණෙහිලිකම් ඇති වීම නිසා යාපනය ගැන කතා කරපු පිරිස තවත් වැඩිවිණි.

යුද්ධය හමාරවීමෙන් පසු වසර ගණනාවක්‌ හුදෙකලා වී තිබුණු යාපනය ඒ - 9 මාර්ගයෙන් දකුණේ ජනතාවට තව තවත් සමීප විණි. ප්‍රදේශ දෙකක්‌ අතර හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන හා වීමත් සමගම ඒ පුද්ගලයන් දෙදෙනාගේ ස්‌වභාවයන් මත සිදුවිය හැකි ගුණ හෝ අගුණ දේ ඉමහත් මෙන්ම දකුණ හා උතුරු එකිනෙකට යාවීමත් සමගම යාපනයේ සිදුවන දෑ වැඩිවන්නට විය.

යුද්ධය හමාර වී වසර දෙකක්‌ ඉක්‌ම යන්නට පෙර යාපනයේ සමස්‌ත ජන ජීවිතයම අවුල් වූ තත්ත්වයක්‌ දක්‌නට ලැබිණි. තැනින් තැන මිනිසුන් මරා දමද්දී තවත් තැන්වල පුද්ගලයන් පැහැර ගන්නට විණි. එසේම මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජන නිසා කොතරම් සාමයක්‌ තිබුණද සාමාන්‍ය වැසියන්ට යාපනයේ ජීවත්වීම එපා විණි.

එක්‌ සතියක්‌ ඇතුළත පුද්ගලයන් හතර දෙනකුම යාපනයේදී ඝාතනය කෙරිණි. එම කාලයේම දෙදෙනකු අතුරු දන් වූ අතර සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 4 කි. කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට සිදු වූ මේ සිදුවීම ගැන යාපනයේ වැසියෝ අප සමග කතා කිරීමට පවා බිය වූහ. උපන්දා සිටම යාපනයේ ජීවත්වන සී. ශිවඥනම් මහතා හැත්තෑ අටවැනි වියේ පසුවන විශ්‍රාමිකයෙකි. ඔහු යාපනයේ සිදුවූ සිදුවීම් ගැන කතා කළේ දැඩි ශෝකයකිනි.

"දැන් යාපනේ මිනිස්‌සුන්ට හැමදාම බය තමයි. කොතනද මරන්නේ කවුද මරන්නේ මොනවටද මරන්නේ කියන්න දන්නෙ නෑ. මරනවා යුද්ධ කාලෙත් මෙහෙම මිනිස්‌සු මැරුණ. දැන් සාම කාලෙනෙ. එතකොටත් මිනිස්‌සු මැරෙනවනම් මොන සාමයක්‌ද?

දේශපාලන හයිය තියන අය ළඟ ආයුධ තියනවා. ආයුධ සංස්‌කෘතියෙන් සේරම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන උදවිය ආයුදේට මුල්තැන දෙනවා. යුද්ධ ඉවරනම් ආයුධ තියෙන්න පුළුවන් ආණ්‌ඩුවෙ ආරක්‍ෂක කටයුතු කරන උදවිය ළඟ විතරයිනෙ. ඒත් වෙන අය ළඟත් ආයුධ තියනවා. මේ ආයුධ සංස්‌කෘතිය යාපනයේ විතරක්‌ නෙමෙයි මුළු ලංකාවෙන්ම තුරන් කරන්න ඕනෙ. එහෙම නැතිනම් ලොකු විනාශයක්‌ වෙනවා.

යාපනයෙ මිනීමරපු උදවිය පොලිසිය අල්ලගෙන තියනවා. ඒවට හමුදාවෙ හිටපු අයත් හවුල්වෙලා තියනවා. දෙමළ අයත් හවුල්වෙලා ඉන්නවා. අපරාධ කරන කොට සිංහල ද දෙමළ ද කියලා නැහැ ඒ අය එකතු වෙනවා. එකතු වෙලා අපරාධ කරනවා. මේ හැම එකකම බය තියෙන්නේ සාමාන්‍ය අහිංසක අපි වගේ මිනිස්‌සුන්ට තමයි.

ඉතිං ආණ්‌ඩුවට දැන් ලොකු වගකීමක්‌ තියනවා. සාමය උදාකළා වගේම මේ වගේ සිද්ධවෙන අපරාධ වළක්‌වන්නත්, ඒකට හේතුව රටේ කොයිතරම් බලගතු අපරාධ සිද්ධවුණත් මිනිස්‌සු ඒ ගැන කතා කරනව වඩා මේ වගේ පළාත්වල සිද්ධ වෙන අපරාධ ගැන තමයි කතා කරන්නෙ. ජාතීන් දෙකක්‌, තුනක්‌ එකට ඉන්නකොට අපරාධවල වගකීම එක්‌ ජාතියක්‌ අනිත් ජාතිය පිට පටවන්න උත්සහ කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්‌. ඒක නිසා ආණ්‌ඩුව මේ යාපනයේ සිද්ධ වෙන අපරාධ රැල්ල ඉදිරියට යන එක නතර කරන්න ඕනෙ".

සී. ශිවඥනම් මහතා ප්‍රකාශ කරන අන්දමට යාපනයේ අපරාධ පිළිබඳ කතා කිරීමට පවා නොහැක. ඊට හේතුව එම අපරාධවලට සම්බන්ධ වී සිටින පුද්ගලයන් කවුදැයි යන්න නිශ්චිතවම නොදන්නා බැවිනි. ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියමවී තිබීම හේතුවෙන් යාපනයේදී ඉදිරි කාලයේ සිදුවන අපරාධ බෙහෙවින් වැඩිවීමටද ඉඩකඩ තිබේ. ශිවඥනම් වැනි ඉතා සාමකාමී දිවියක්‌ ආරක්‍ෂා කරපු යාපනයේ සිsටින බහුතරයක්‌ මේ අපරාධ රැල්ලට කැමති නැහැ.

යාපනයටම ආවේණික සංස්‌කෘතියක්‌ තිබේ. මේ සංස්‌කෘතිය ඉතාම උසස්‌ මට්‌ටමින් පවත්වා ගෙන යැමට යාපනයේ වැසියෝ එදා සිටම උත්සාහ දැරීය. රටේම සිටින දෙමළ පිරිස එක ජාතියක්‌ වුවත් යාපනයේ දෙමළ, දෙමළ භාෂාවේ ඉහළින්ම වැජඹෙයි. කුලවාදය අතින්ද ආගමික නැඹුරුතාව අතින්ද උගත් හා බුද්ධිමත්කම අතින්ද සෙසු පළාත්වල වැසියන්ට වඩා යාපනයේ දෙමළ වැසියෝ ඉතා ඉහළ තැනක වැජඹෙයි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ වැසියන්ට නිවසේ ඇති වැදගත් සෙම්බුවෙන් යාපනයේ වැසියන්ගෙන් බීමට හෝ වතුර නොලැබේ. වංශයෙන් අඩු කුලයෙන් අඩු දෙමළ වැසියන්ට යාපනයේ වංශවත් පවුල්වලින් බීමට ජලය ලැබෙන්නේ වැදගත් පිත්තල සෙම්බුවවෙන් නොව නිකම්ම නිකං සුදුයකඩ සෙම්බුවෙනි.

ඉන්දීය බ්‍රාහ්මණ සම්භවයෙන් බිඳී ආ දෙමළ පුවුල් රැසක්‌ම යාපනයේ වෙසෙති. ඔවුන් දිනපතා වන්දනාමාන කරන කෝවිල්වලට සාමාන්‍ය හින්දූන්ට ඇතුළුවීමට පවා නොහැක. යාපනයේ උසස්‌ම කුලයේ පවුල්වල සිදුවන අවමඟුල්වලට ආගමික වතාවත් ඉටුකිරීමට පූසාරිවරුන් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. ඒ ඔවුන් එතරම් වංශවත් බැවිනි. ප්‍රභාකරන්ගේ යුද්ධයත් ඊළාම් සංකල්පයත් නිසා යාපනයේ මෙම කුලවාදයට හා වංශත්වයට විශාල පහරක්‌ එල්ල වී සාමාන්‍යකරණයට ලක්‌වුවද තවමත් යාපනයේ වංශවත් පවුල්වල හදවත් තුළින් වංශවත් බව හා කුලවාදය තුරන්වී ගොස්‌ නොමැත.

යුද්ධයත් සමගම යාපනයේ වැසියෝ එම පළාත් අතහැර යුරෝපයට සංක්‍රමණය වීම නිසා යාපනයේ නව ආරේ තරුණ තරුණියන් ලන්ඩන් සංස්‌කෘතියේ හෝ ප්‍රංශයේ සංස්‌කෘතියට හැඩ ගැසුණද යාපනයේ කාන්තාව තුළ දක්‌නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණයන් ආරක්‍ෂා කර ගැනීමට යාපනයේ කාන්තාවෝ අදටත් උත්සහ දරති.

යාපනයේ නල්ලුර් පළාතේ පදිංචි තනබාලසිංහම් සන්කුනදේවී මහත්මිය වයස අවුරුදු අසූවට ළංවුවත් යාපනයේ එදා සිටම ජීවත් වන තැනැත්තියකි. ඇය යාපනයේ වත්මන් තත්ත්වය දකින්නේ මේ ආකාරයටයි.

"ඉස්‌සර වගේ නෙමෙයි දැන් යාපනය ගොඩක්‌ හොඳයි. ඒත් අපේ ළමයි ගමනක්‌ ගිහිං ආපහු එනකල් විශ්වාස නෑ. අන්න සුදාපාට වෑන් එකක්‌ ගියා ඒක ළමයි අරගෙන ගියා කියනවා. දවස්‌ දෙකතුනකට පස්‌සේ වෙන කොහෙ හරි බස්‌සලා ගියපු ළමයිනුත් ඉන්නවා. මේ වෙනකල් ආවේ නැති ළමයින් ඉන්නවා. මේ ළමයි අල්ලගෙන යන්නෙ ඇයි කියන එක නම් දන්නේ නෑ. එත් අල්ලගෙන යනවා. යුද්දෙ ඉවරනම් මොනවට ළමයි අල්ලගෙන යනවද කියලා නම් දන්නේ නෑ. ඒත් අලගෙන යනවා.

යුද්ධ කාලෙ අපි ගොඩක්‌ බයෙන් හිටියෙ. නිදාගත්ත දවස්‌වලට වඩා නින්ද නොගිය දවස්‌ තමයි වැඩි. සාමය ආවත් එක්‌කම යාපනයේ හොඳ කාලයක්‌ තිබුණා. එකපාරටම වෙඩි තියන්න මරන්ඩ ගත්තා. සම්පූර්ණයෙන්ම මුළු යාපනේම වෙනස්‌ වෙලා ගියා. හැබැයි මිනී මරපු එකනම් මේ දවස්‌වල නතර වෙලා තියෙනවා. ඒත් මේ ළමයි අරගෙන යන එකයි. තර්ජනය කරන එකයි මංකොල්ල කණ එකයිනම් තවම තියෙනවා.

මේ යාපනේ මිනිස්‌සු පුදුම උත්සාහවන්ත මිනිස්‌සු. ඒ මිනිස්‌සුන්ට එදා ඉඳලා වෙනම රටක්‌ ඕන වුණේ නෑ. පොළව එක්‌ක හැප්පිලා හම්බ කරගන්න දෙයක්‌ තමයි මේ මිනිස්‌සුන්ට තියෙන්නේ. රට සල්ලි ආවේ පස්‌සේනෙ. කොහොම වුණත් දෙමළ මිනිස්‌සු අතරින් යාපනේ දෙමළ මිනිස්‌සු හොඳයි කියලා හැමෝම දන්නවනෙ. දෙමළා කිව්වට හැම දෙමළම එකවගෙත් නෑ. සිංහලයා කිව්වම හැම සිංහලයත් එකවගේ නෑනේ. කවුරු අතරෙත් හොඳ නරක දෙගොල්ලම ඉන්නවා."

සන්කුනදේවී මහත්මියගේ අදහස මෙන්ම යාපනයේ වැසියන් තුළම සැක සංකා පහළවී ඔවුන්ගේ ජීවිත තුළ බිය පැලපදියම් වීමට බලපාන ලද හේතූන් ගණනාවක්‌ම යාපනයේ වත්මන් ජන සමාජය තුළ සිදුවෙමින් පවතී.

යාපනයේ වැසියන් තුළ ඇති බියට වඩා වැඩි බියක්‌ යාපනයේ ආරක්‍ෂක අංශ තුළද වෙයි. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ යළිත් ත්‍රස්‌තවාදයක්‌ හිස එසවීමට තරම් බලවත් පරිසරයක්‌ මේ යාපනය තුළින් ඉස්‌මතු වේද යන සැකයයි. යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසු ගැටුමක්‌ සිදුවුවද ආරක්‍ෂක අංශ බියට පත්වෙයි. ඊට හේතුව වන්නේ එම ගැටුම තවත් අරගලයක ආරම්භයක්‌ විය හැකියෑයි යන අපේක්‍ෂාවම ආරක්‍ෂක අංශවල මනස්‌ තුළ පැලපැදියම් වීමය. යුද්ධය හමාර වී ඇතත් එම සැකය දුරු කර ගැනීමට ආරක්‍ෂක අංශ කැමති නැහැ. එම තත්ත්වය ඔවුන් විසින් ප්‍රගුණ කරනු ලද ආරක්‍ෂක පදනමට අනුකූලව වුවත් සාමාන්‍ය ජනජීවිතයක්‌ අපේක්‍ෂාකරන, එම ජනජීවිතය තුළ විවිධ හැල හැප්පීම්වලට භාජන වීමට කැමැත්තක්‌ දක්‌වන පිරිස්‌වලට නොගැලපේ. යාපනයේ සිදුවන්නේ යෑයි කියන "සුදුවෑන්" කතාවද මීටම යා වූවකි. යුද්ධය අවසන් වුවත් යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක අධිආරක්‍ෂිත කලාපයේ විශාල කොටසක්‌ තවමත් ඉවත් වී ගොස්‌ නොමැත. ධීවර කර්මාන්තයෙන් හා කෘෂිකර්මාන්තයෙන් කල්ගෙවන යාපනයේ වැසියන්ට මේ අධිආරක්‍ෂක කලාපය මහත් හිසරදයකි. අධිආරක්‍ෂිත කලාපය නිසා යාපනයේ ඇතැම් පුද්ගලයන් ඉඩකඩම් හා වෙනත් ව්‍යාපාරික ස්‌ථාන බෙදී වෙන්වී ගොසිනි. සාමය උදාවීමත් සමගම නිදහසේ නටන්නට හැකි වෙතැයි සිතූ විශාල පිරිසකට තවමත් අඬු දඬු හකුළා ගෙන ජීවත්වීමට සිදුව තිබේ. මේ තත්ත්වය යාපනයේ වැසියන්ට සිය අපේක්‍ෂාවන් බිඳ වැටීමක්‌ ලෙස පෙනී ගොස්‌ තිබේ. අපේක්‍ෂා භංගත්වය හා ඉච්ඡාභංගත්වය නිසා අද යාපනයේ වැසියෝ මහත් කලකිරීමකට පත්ව සිටිති.

මේ කලකිරීමට යාපනයේ දේශපාලන තත්ත්වයද යාපනයේ වැසියන් තුළට කා වැදී තිබේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තනි පක්‍ෂයක්‌ ලෙස පැවති කාල වකවානුවේදී යාපනයේ වැසියෝ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට දක්‌වන ලද ආදරය හා ගෞරවය අදටත් යාපනයේ වැසියන් තුළින් ගිළිහී ගොස්‌ නොමැත. යාපනයේ වැසියෝ සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය හඳුන්වන්නේ "අම්මා" යනුවෙනි. ඊට හේතු වූ කරුණු කාරණා බොහෝය.

යාපනයේ වැසියන්ගේ කෘෂිකාර්මික බෝගවලට ඉහළම තැනක්‌ ලබාදුන්නේ සිරිමාවෝ අතිනි. යාපනයේ වැසියන්ට බාධාවකින් තොරව තල් රා මැදීමටත් තල් කර්මාන්තය දියුණු කරගැනීමටත් අතහිත ලැබුණේ ඇයගෙනි. භාෂාමය ප්‍රශ්නයට විසඳුම් වශයෙන් දෙමළ භාෂාව කතා කරන නිලධාරීන් යාපනයේ වැසියන්ට ලැබීම, ඉන්දියාව සමග සබඳකම් දැඩිවීම, සිරිමා - ශාස්‌ත්‍රි ගිවිසුම ක්‍රියාත්මක වීම වැනි කාරණා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියත් යාපනයේ වැඩියෙන්ම මාහැඟි පක්‍ෂයක්‌ හා පුද්ගලයන් බවට පත්විණි.

කාලයාගේ ඇවෑමෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බිහිවීමේදී රජයට පක්‍ෂපාතකම් දක්‌වන හා සහාය පළකරන දෙමළ සංවිධාන ඊට එකතුවීමත් එම සංවිධාන විසින් තුවක්‌කු බලයෙන් හා මැර බලයෙන් ජනතාව පීඩාවට පත්කිරීමත් නිසා යාපනයේ වැසියන්ට එහි දැනට ක්‍රියාත්මක දේශපාලන රටාව එතරම් රුචියක්‌ දනවන තැනකට පැමිණ නොමැත. යාපනය මහ නගර සභා මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන විට වත්මන් රජය යුද්ධය හමාර කළද යුද්ධයෙන් බැට කෑ ජනතාව රජයට සහාය නොදැක්‌වීමට හේතුවද පෙනෙන හා නොපෙනෙන අවි තුළින් රජයට සම්බන්ධ දෙමළ දේශපාලන පක්‍ෂ යාපනයේ ජනතාව ආණ්‌ඩු මට්‌ටු කිරීමට දරන උත්සාහයට යාපනයේ ජනතාව කැමැත්තක්‌ නොදක්‌වන බව පෙන්නුම් කිරීමය.

යාපනයේ නගර ආශ්‍රිතව පවතින තත්ත්වයට වැඩි හාත්පසින්ම වෙනස්‌ හා දැඩි වූ පරිපාලනමය හා දේශපාලනමය තත්ත්වයක්‌ යාපනයේ දූපත් ආශ්‍රිත පළාත්වල දැකගන්නට ලැබේ. යාපන අර්ධද්වීපය වටා ඇති මෙම දූපත්වල බොහෝ තැන්වල සිදුවන දෑ යාපනය දිසාපතිවරියද නොදන්නා තත්ත්වයකට පත්ව තිබේ. යුද සමයේදී දූපත් පළාත්වලින් රට තුළට සිදුවිය හැකි අතුරු ආන්තරා තුරන් කරගැනීමට රජයේ ආරක්‍ෂක අංශ සමග ක්‍රියාකාරීමට වෙනත් වෙනත් ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් එකතු කිරීම නිසා එදා ඔවුන් උපයාගත් අදිසි බලය අද දිනයේද යාපනයේ ක්‍රියාත්මක කිරීමට යැම නිසා යාපනයේ සාමකාමී බවට එය තර්ජනයක්‌ වී තිබේ.

මේ තත්ත්වය නිසා යාපනයේ සිදුවන අපරාධවලට එම කණ්‌ඩායම්වල සාමාජිකයන් මෙන්ම හමුදාව අතහැර ගිය පිරිස්‌ සම්බන්ධවීමද වැළැක්‌විය නොහැකි වී තිබේ. යුද සමයේදී හමුදාවට ඔත්තු ලබා ගැනීම පිණිස හමුදාව විසින් ළංකරගත් පිරිස්‌ අතටද හමුදා වේශයෙන්ම පෙනී සිටීමට යාපනයේ පමණක්‌ නොව සමස්‌ත උතුර නැගෙනහිර පළාත් තුළම උත්සහ දරති. එම කාලවකවානුවේදී ඔවුන් විසින් කෙසේ හෝ සොයා ගන්නා ලද ගිනි අවිවල ආධාරයෙන් මෙදා අපරාධ සිදුකරති.

උතුර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතා රටේ අපරාධ ක්‍ෂෙත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ ඇති පොලිස්‌ නිලධාරියෙකු මෙන්ම එවැනි අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමටද දක්‍ෂ වූ පොලිස්‌ නිලධාරියෙකි. යාපනයේ වාසනාවට මෙන් ඔහු දැනට මුළු උතුර පළාතම බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වී සිටියි. මෑතකදී යාපනයේ සිදු වූ අපරාධවලට අප පෙර කී පිරිස්‌ මෙන්ම ගිනි අවි හවුල් වී ඇති බව ප්‍රකාශ කළ ගාමිණී සිල්වා මහතා යාපනයේ සිදුවූ සිද්ධීන් වල පසුබිමද අපට විස්‌තර කළේය.

"යාපනයේ තිබුණු මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ අනෙකුත් සිද්ධීන්වලට ත්‍රස්‌තවාදයක්‌ හවුල් වී නැහැ. නමුත් දේශීය හා විදේශීය ජනමාධ්‍ය රැසක්‌ මේ තත්ත්වය හුවා දැක්‌වීමට උත්සාහ කළා. යාපනය තුළ අනාරක්‍ෂිත බව වැඩි බවත් ලෝකයට පෙන්නුම් කිරීම තුළින් දෙමළ ඩයස්‌පෝරාවට ලෝක මතයක්‌ ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස්‌ වීම නිසා යාපනයේ සිද්ධීන්වලට මෙවනි ප්‍රචාර ලැබෙන්නට ඇති.

අනෙක්‌ කාරණය ශ්‍රී ලංකාව අතහැර යුරෝපා රටවලට ගොස්‌ සිටින දෙමළ ජනතාවට ආපසු නොපැමිණ සිටීමට කළ හැකි එකම දේ මේ ප්‍රදේශ අනාරක්‍ෂිත බව පෙන්වීමයි. ඒ සඳහා කෙරෙන උත්සහායද යාපනයේ තත්ත්වය විකෘති කිරීමට බලපා තිබෙනවා.

නමුත් යාපනයේ පසුගිය දිනවල සිදුවුණු සියලුම සිදුවීම් ඉඩම් ආරවුල්, පවුල් ආරවුල්, මුදල් හා දේපළ ආරවුල් සහ පෞද්ගලික පලිගැනීම් මත සිදුවූ සිදුවීම් වශයෙන් දැන් ඔප්පු වී තිබෙනවා. ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී ඒ බව හෙළිවී තිබෙනවා.

යුද්ධය හමාර වුණත් ඒ යුද සමයේදී සඟවන ලද අවි ආයුධ, වගේම අඳුරු සෙවනැලි තවමත් යාපනයේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බොහෝ දේ සිදුවන්නට පුළුවන්. ඒ තත්ත්වය වැළැක්‌වීම පිණිස පොලිස්‌පතිතුමා පෞද්ගලිකවම යාපනයට පැමිණ යාපනය තුළ සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්, මුර සංචාර, පරීක්‍ෂාකිරීම්, යුදහමුදාවේද සහාය ඇතිව වැඩි කොට තිබෙනවා. ඒ වගේම යාපනයේ ආරක්‍ෂක ව්‍යqහය තුළ පැහැදිලි හා නව වෙනස්‌කම් ඇතිකොට තිබෙනවා. මේ නිසා දැන් යාපනය ඉතාමත්ම සාමකාමී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් හොඳ වනවාට කිසිදු සැකයක්‌ නැහැ.

රටේ සෙසු පළාත්වල සිදුවන අපරාධ දෙස බලන විට එම තත්ත්වයේ දරුණු සහ නිහීන අපරාධ යාපනයේ සිදු නොවන බවද ගාමිණී සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් මා සමග පැවැසීය.

ගාමිණී සිල්වා මහතා ප්‍රමුඛ පොලිසිය හා යාපනයේ ආරක්‍ෂාවට යොදවා සිටින යුදහමුදාව යාපනයේ ආරක්‍ෂාව දැඩි කොට තැබීමටත් අපරාධ හෝ වෙනත් නීති විරෝ`ධී ක්‍රියාවන් සිදු නොවීමට වගබලා ගැනීමත් යම් යම් උපක්‍රම යොදති. මේ උපක්‍රමවලට එහි සිටින දේශපාලන බලවේගද හවුල් වීමට යැම කෙරෙහි යාපනයේ වැසියන් තුළ එතරම් කැමැත්තක්‌ නොමැත.

පොලිසියේ බැටන් පොල්ලෙන් පහර කන්නට යාපනයේ වැසියෝ කැමති නමුත් දේශපාලනය කිරීමට යෑයි කියමින් යාපනයට ගොස්‌ තම ව්‍යාපාර සරුසාර කරගන්නා ඊනියා දේශපාලඥයන් ඔවුන්ගේ එම කූට සහ අසාධාරණ ව්‍යාපාරවලට එරෙහි වන්නන් මර්දනය කිරීමට ගෙන යන සැහැසිකම්වලට කැමති නැහැ. එම සැහැසිකම් අපරාධ බවට පත්වන විට දේශපාලන හයිහත්තිය මත රට කරවන මෙන්ම රට රකින උදවියටද නිහඬවීමට සිදුව තිබීම යාපනයේ වැසියන්ට පමණක්‌ නොව උතුර නැගෙනහිර සෙසු පළාත්වල වැසියන්ටද උරුම වූ පොදු ධර්මතාවකි.

මෙසේ සිදුවන්නාවූ අපරාධවලින් යාපනයේ වැසියන් බේරා ගැනීමට රජය කටයුතු කරන අතරතුර යුද්ධය නිමාවීමෙන් පසු යාපනයේ වැසියන්ට සාමයේ අරුනලු කිසිදු අපහසුතාවකින් තොරව භුක්‌ති විඳීමටද අවකාශ සලසා දිය යුතුව ඇත.

යාපනය සහ කොළඹ අතර දුර ප්‍රමාණය සැතපුම් 247 කි. මාර්ග පද්ධතියේ ඇති අබලන්කම හා දුම්රිය ධාවනය වව්නියාවට පමණක්‌ සීමා වීම නිසා යාපනයේ වැසියෝ කොළඹ ඒමට දරන උත්සාහය කොළඹ වැසියෙකු මැඩගස්‌කරයට යැමට දරන උත්සාහයටත් වඩා දැඩි වූත්, සංකීර්ණ වූත් එකකි. මේ නිසා යාපනයේ වැසියන්ගේ ගමනාගමන පහසුවට රජය යම් වැපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුයි. මාර්ග පද්ධතිය සකස්‌ වන තුරු පලාලි ගුවන් තොටුපල කේන්ද්‍ර කරගෙන සහන මිලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම හා කන්කසන්තුරය වරාය කේන්ද්‍ර කරගෙන නැව් සේවාවක්‌ පවත්වාගෙන යැම කළ හැකියි. මීට පෙර යුද සමයේදී මෙම පහසුකම් යාපනයේ වැසියන්ට තිබුණු නමුත් රටේ වාණිජ සමාගම් මේ ක්‍රියාදාමයට අත ගැසීම නිසා සමාගම් විසින් නියම කරන ලද ගුවන් ගමන් වියදම් හා නැව් ගාස්‌තු යාපනයේ වැසියන්ට දරා ගැනීමට හැකි තත්ත්වයක නොතිබිණි. මේ නිසා රජය මීට මැදිහත්වී ඔවුන්ට සහන සැලසිය යුතුය. ඉන්දීය රජය මේ වනවිට ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ශාඛාවක්‌ යාපනයට රැගෙන ගොස්‌ තිබේ. මේ නිසා යාපනයේ වැසියන්ට ඉන්දියාවට යැමට වීසා ලබාගැනීම ඇතුළු සියලූම දේ එම කාර්යාලයෙන් සිදුකර ගැනීමට අවකාශ සැලසී තිබේ. නමුත් වීසා ලබාගැනීමට අවශ්‍ය වන උප්පැන්න සහතිකය ලබාගැනීමට ඇතැම්විට යාපනයේ වැසියන්ට කොළඹ මාලිගාවත්තට පැමිණීමට සිදුවනු ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලයක්‌ අනුරාධපුරයේ පිහිටුවා ඇතත් යාපනයේ එවැනි කාර්යාලයක්‌ නොමැත. මෙය එක්‌ උදාහරණයක්‌ පමණි. යාපනයේ වැසියන්ට එදිනෙදා රාජ්‍ය තන්ත්‍රය තුළින් ඉටුකරගැනීමට අවශ්‍ය දේ ඉතා පහසුවෙන් යාපනයේ සිටම කරගැනීමට හැකිවන පරිදි බලය විමධ්‍යගත වීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව දැන් යාපනයටද අවශ්‍ය වී තිබේ. එවිට යාපනයේ වැසියන්ට තමන් රට තුළ දුරස්‌ වූ පිරිසක්‌ය යන ආකල්පය ඇති නොවනවා පමණක්‌ නොව යාපනයට ආසන්නයේ පිහිටි මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, හා වව්නියාව යන දිස්‌ත්‍රික්‌කවල වැසියන්ටද එම ප්‍රතිලාභ භුක්‌ති විඳීමට හැකියාව ලැබෙනු ඇත.

කන්කසන්තුරේ වරාය මෙන්ම පලාලි ගුවන් තොටුපල ද අන්තර් ජාතික මට්‌ටමේ වරායක්‌ හා ගුවන් තොටුපළක්‌ බවට සංවර්ධනය කිරීම තුළින් මේ රටේ දෙමළ ජනතාව සංවර්ධනය දකුණට සීමා වූවක්‌ ලෙස නඟන චෝදනාවට රජය පිළිතුරු දිය යුතුය. සමානාත්මතාව ක්‍රියාත්මක වීම රටේ අනාගතයේදී අරගලයක්‌ ඇති නොවීමට විශාල රුකුලක්‌ වනු ඇත. ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර දෙමළ ජනතාව වසර තිහක්‌ම නතු කරගැනීමට හැකියාව ලැබුණෙත් ඔහුගේ අවි බලය මෙන්ම සංවර්ධනයේ තිබූ අසමතුලිතභාවය දෙමළ ජනතාවට ඉස්‌මතු කොට පෙන්වීමට ඉඩ ප්‍රස්‌තාව තිබුණු නිසාය. රජය මෙම අසමතුලිතාව තුරන් කොට පළාත් දෙක අතර රික්‌තකයක්‌ ඇති නොවන සේ සංවර්ධන කටයුතු රැකියා සේවා සලසා දීම්, දේශපාලනය ක්‍රියාත්මක කිරීම, උත්සව සංවිධානය කිරීම ඇතුළු සියලු දේ සිදුකිරීමට සැලසුම් සැකසිය යුතුය. එසේ නොවන්නට යාපනය අපේ රටට තවත් දුරස්‌ථ නගරයක්‌ විය හැකිය. එහි වෙසෙන ජනතාවද රටෙන් දුරස්‌ විය හැකියි.

දිනසේන රතුගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.