හමුදාවට ආධ්‍යාත්මික ශක්‌තිය
ලබාදුන් යතිවරයාණෝ


ගැමුණු කුමරු එළාර රජු පැරැදවීමට ගියේ යුද්ධ හමුදාවක්‌ පමණක්‌ සමග නොවේ. එතුමා පන්සියයක්‌ මහරහතන් වහන්සේ ද හමුදාව සමග වැඩම කිරීමට කටයුතු කළ බව පොතපතෙහි සඳහන් වෙයි. එහෙත් බොහෝ දෙනා නොදන්නා එමෙන් ම පොතපතෙහි සඳහන් නොවන කරුණක්‌ නම් එතුමා දෙවරක්‌ ම යුද්ධයට ගොස්‌ පැරැදුණු බවත් තුන්වැනි වර යුද්ධයට යැමට පෙර රටේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් යුත් පිරිසක්‌ ඇතිකරගත් බවත් ය. මහරහතන් වහන්සේ හමුදාව සමග වැඩම කරවන ලද්දේ හුදෙක්‌ දන් පිරිනැමීමට නොවන බව පැහැදිලි ය. ගැමුණු කුමරුට දන් පිරිනැමීම සඳහා භික්‍ෂූන් වහන්සේ, විශේෂයෙන් ම මහවැලි ගඟෙන් නැගෙනහිර, වැඩම නොසිටියේ යෑයි සිතීමට නොහැකිය. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ම ශක්‌තිය ආධ්‍යාත්මික ශක්‌තිය වෙයි. අපේ දැනුමේ ද පදනමෙහි ඇත්තේ ආධ්‍යාත්මික ශක්‌තිය බව අපි දනිමු. අපි අධ්‍යයනයට වඩා ධ්‍යානයට මුල්තැන දුනිමු. අප කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිසුන්ගේ ආධ්‍යාත්මික ශක්‌තිය නගා සිටුවීමට මෛත්‍රී බෝසතාණන් වහන්සේ මුල්කරගෙන භාවනා වැඩසටහනක්‌ ඇරැඹූ විට හා ඒ සමග සිංහල බෞද්ධ විද්‍යාවක්‌ ඉගැන්වීමට කටයුතු කළ විට සකල විධ සිංහල බෞද්ධ විරෝධීහු එයට විරුද්ධව අවි අමෝරා ගෙන සටන් වදිති. ඔවුන් අතර සිංහල විරෝධී ඕල්කට්‌ බෞද්ධ එ. ජා. පාක්‍ෂිකයන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද, පසුබාගොස්‌ ඇති නන්නත්තාර වූ ජ. වි. පෙ. අනුගාමිකයන් මෙන් ම තනතුරු ලබාගැනීමේ ෙච්තනාවෙන් ශ්‍රී ල. නි. පක්‍ෂය සමග සම්බන්ධ වී ඇති ආචාර්යවරු ද ආචාර්යවරියෝ ද වෙති. මෛත්‍රී බෝසතාණන් වහන්සේ යනු නාථ දෙවියන් බව නොදන්නා මුග්ධයෝ අප විශ්වවිද්‍යාලයෙහි නාථ දේවාලයක්‌ ඉදිකර ඇතැයි මැසිවිලි නගති. කැලණිය විශ්වවිද්‍යාලයෙහි නම් දේවාලයක්‌ නැත. එහෙත් සිංහල බුද්ධාගමෙහි දේවාල ඇත.

කලකට ඉහත ප්‍රභාකරන් සමග ඊනියා සාම සාකච්ඡා අවශ්‍ය නැතැයි දෙසූ බුද්ධ පුත්‍රයන්ට විශ්වවිද්‍යාලවල, රාජ්‍ය නොවන සංවිධානවල හා වෙනත් ආයතනවල පඬියෝ යුද්ධ පුත්‍රයන් යෑයි අපහාස කළහ. ගැමුණු රජතුමන් හමුදාව සමග රහතන් වහන්සේ වැඩම කරවීම ඔවුන්ගේ නින්දා අපහාසවලට භාජන විය. බෞද්ධ සළු පිළි පොරවා ගෙන සකල කලා විභූෂණ ලෙස රඟපාන එක්‌ කතෝලික වෛද්‍ය පඬියෙක්‌ සිංහලයන් තෝරාගත් ජාතියක්‌ යෑයි කියමින් පහර දුන්නේ ය. ඒ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී විෂ්ණු දෙවිඳුට ලංකාව භාරකිරීමේ කතාව පදනම් කරගනිමිනි. මේ තකතීරු පඬියන් ගැන මම දනිමි. විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙහි ද භෞතික විද්‍යාවෙන් අසමත් ඉහත කී පඬියා අද ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතාකිරීමට පෙළඹෙන්නේ එහි නිර්මාතෘවරුන්ගේ ජීවන චරිත කියවීමෙනි. මෙවැනි පඬියෝ විෂය නොදනිති. ඔවුන් දන්නේ විෂය ගැන ය. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. ඇතැම් ඇමැතිවරු ද ජනප්‍රිය පොතපත පමණක්‌ කියවා ක්‌වොන්ටම් භෞතිකය ගැන කතාකරති. බටහිර විද්‍යාවේ යුදෙව් ක්‍රිස්‌තියානි සංකල්පයක්‌ වූ ශක්‌ති සංස්‌තිථි නියමය ගලා එන්නේ දේව නිර්මාණයෙන් බව මා කිහිප වතාවක්‌ කියා ඇත. සංස්‌තිථිs නියම බටහිර විද්‍යාවෙහි උපකල්පන නොවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසූහු ද උගනිති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ හා බටහිර ඉංජිනේරු විද්‍යාවේ ඇතැම් උපාධිධාරීහු එය බටහිර විද්‍යාවේ උපකල්පනයන් නොවන බව නොදනිති.

ඉහත කී පඬියන්ගේ සියලු චෝදනාවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. ගැමුණු කුමරු අපට සිංහල බෞද්ධයන් යුද්ධ කරන්නේ කෙසේදැයි කියා දුන් බවත් එතුමා තරම් සතුරනට සාධාරණය ඉටුකළ, යුද්ධයේ දී මියගිය අය ගැන කනගාටු වූ රජකු ගැන ලෝක ඉතිහාසයේ සඳහන් නොවන බවත් අපි කීවෙමු. එතුමා මගේ වීරයා බව මා කියා ඇත්තේ එක්‌වරක්‌ දෙවරක්‌ නො වේ. පඬියන් අතර කෙසේ වෙතත් සිංහල බෞද්ධ ජනසමාජයේ එතුමාණෝ මෛත්‍රී බෝසතුන් වහන්සේ ලෙස සැලකෙති. සතුරු ආක්‍රමණ හමුවේ නවගුණ වැල අතට ගැනීම සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය නොවන බවත් ද්වේෂයෙන් තොරව යුද්ධ කිරීම නිවන් දැකීමට බාධාවක්‌ නොවන බවත් අංගුලිමාල තෙරුන් වහන්සේ ගැන දන්නා ඕනෑම කුඩා එකකු එය දන්නා බවත් පඬියෝ නොදනිති. ඒ ගැන දැනගත හැක්‌කේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ජීවත්වන්නන්ට මිස රසල්, මාක්‌ස්‌, නිව්ටන්, වේබර්, ඩෙරිඩා හෝ වෙනත් එවැන්නකු හෝ පසුපස යන ඊනියා යථාර්ථවාදීන්ට, ද්‍රව්‍යවාදීන්ට ආදී විවිධවාදීන්ට නො වේ. යුද්දෙට නැති කඩුව කොස්‌ කොටන්ට ද යන පිරුළ සිංහල බෞද්ධ සමාජයේ නිර්මාණය වූවක්‌ බව පඬියෝ නොදනිත් ද? අප පඬියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ සෛද්ධාන්තිකව ය. ඒවාට ඉතා සාර්ථක ව ප්‍රායෝගිකව පිළිතුරු දුන් හිමි නමක්‌ අප අතර වෙසෙයි. ඒ පූජ්‍යපාද බෙංගමුවේ නාලක හිමියෝ ය. මම උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙන ගතිමි. අවුරුදු දහහතරේ දී පමණ බටහිර විද්‍යාව ඉගෙනීමත් සමග සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් ඈත් වූ මා නැවත සිංහල බෞද්ධ සංස්‌කෘතිය වෙත ඇදී ආවේ වයස තිස්‌පහේ දී පමණය. ඉන් පසු ගත වූ අවුරුදු තිහක පමණ කාලයෙන් ඉතා වැඩි කොටසක්‌ මම නාලක හිමියන් ඇසුරු කර ඇත්තෙමි. මගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, භාර්යාව, දරුවන් හා ළඟ නෑයන් හැරුණු විට මා සුහදව අඛණ්‌ඩව වැඩි කලක්‌ ඇසුරු කර ඇත්තේ නාලක හිමියන්ය.

උන්වහන්සේ මෙරට සංස්‌කෘතිය හඳුනති. උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය ගැන දන්නේ ඒ පිළිබඳ බටහිර ගැති ආචාර්ය උපාධි නිබන්ධයන් ලියා නො වේ. උන්වහන්සේ ජීවිතයෙන් ම ඒ හඳුනති. නාලක හිමිපාණන් වහන්සේ තරම් සිංහල ජාතිය වෙනුවෙන් ගමන් කළ (පයින් රියෙන්, නැවෙන්, ගුවනෙන්) භික්‍ෂූන් වහන්සේ නමක්‌ තවත් ඇතැයි නො සිතමි. උන්වහන්සේ නොවැඩි හමුදා කඳවුරක්‌, බංකරයක්‌ නැතැයි කීම අතිශයොක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ රණවිරුවන් සමග පැවැත් වූ සම්බන්ධතා අළලා ලියන ලද "විරුවන් ඇසුරේ සුවිසිවසරක්‌" නම් කෘතිය පසුගිය දා එළිදැක්‌විණි. ඒ පොත ජනාධිපතිතුමාට පිළිගැන්වූ අවස්‌ථාවෙහි මට එයට සහභාගි වීමට අවස්‌ථාව ලැබුණු නමුත් එය ජනතාවට පිළිගැන්වූ දින මගේ පදිංචිය තාවකාලික ව වෙනස්‌වීම හේතුවෙන් එයට සහභාගි වීමට නොහැකි වීම ගැන අතිශයින් කනගාටු වෙමි. මේ ලිපිය එම කෘතිය හඳුන්වාදීම සඳහා කරන කෙටි සටහනක්‌ පමණකි. ගැමුණු කුමරුගේ හමුදාවට දිනපතා දැකගැනීමට, වන්දනාමාන කිරීමට ආශිර්වාද ලබාගැනීමට, ආධ්‍යාත්මික ශක්‌තිය ලබාගැනීමට රහතන් වහන්සේලා වැඩම කළහ. අපේ වත්මන් හමුදාවට නිතිපතා ආධ්‍යාත්මික ශක්‌තිය ලබාදුන්නෝ නාලක හිමිපාණෝ ය. උන්වහන්සේ සමග බොහෝ අවස්‌ථාවල දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධම්ම හිමියන් ද වැඩම කළ බව මෙහි දී සඳහන් කළ යුතු ය. නාලක හිමිපාණන් වහන්සේ ජාතිය වෙනුවෙන් කරන ලද සේවයෙන් බිඳක්‌ පමණක්‌ පොතෙහි සඳහන් වෙයි. රණවිරුවන් සමග සමබන්ධකම් පැවැත්වීම හැරෙන්නට කරන ලද අනෙක්‌ සේවාවන් පිළිබඳ එහි සඳහන් නො වේ.

බෙංගමුවේ නාලක හිමියෝ තමන්වහන්සේගේ ගම වූ බෙංගමුව යක්‍ෂයන්ගේ ගම ලෙස අභිමානයෙන් හඳුන්වති, ඒ උන්වහන්සේ මෙරට ඉතිහාසය හා සංස්‌කෘතිය දන්නා බැවිනි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයෙන් උගත් දෙයක්‌ නැති බවත් තමන්වහන්සේගේ දෙමව්පියන්ගෙන් විශේෂයෙන් මවගෙන් උගත් බවත් පවසති, විශ්වවිද්‍යාලයේ දී උන්වහන්සේට ත්‍රිපිටකය කියවීමේ අවස්‌ථාව නම් ලැබී ඇත. උන්වහන්සේ 1982 දී ඉටාගෙන ඇත්තේ භික්‍ෂුවක විසින් කෙරෙන සම්මත කාර්යයට වඩා ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ කාර්යයට මුල්තැන දිය යුතු බව ය. උන්වහන්සේ පන්සලේ දියුණුවට වඩා ජාතියේ දියුණුවට කටයුතු කළහ. කනගාටුවෙන් වුවත් කිව යුත්තේ ඇතැම් ප්‍රධාන යෑයි සම්මත භික්‍ෂූන් වහන්සේ තමන්වහන්සේගේ වැඩ කටයුතු වලින් නොව ප්‍රභූ පන්සලක කීර්තියෙන් බැබළෙන බව ය. නාලක හිමිපාණන් වහන්සේගේ පන්සල බැබළෙන්නේ උන්වහන්සේගේ කාර්යයන්ගේ කීර්තියෙනි. නාලක හිමියෝ දිනාපතා පැයක්‌ පමණ භාවනාවෙහි යෙදෙති. උන්වහන්සේ පොතෙහි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඒ ඔස්‌සේ තමන් වහන්සේට ඇතැම් දේ සිතෙන බව ය. සිරිමා බෝ සමිඳුන් සමීපයෙහි දී උන්වහන්සේට සිතී ඇති දෑ බොහෝය. සිංහල භාෂාවේ සිතනවා හා සිතෙනවා යනුවෙන් වචන දෙකක්‌ ඇත. මේ ගැන මා ලියා ඇතිමුත් ඒ සෛද්ධාන්තිකව ය. ඇතැම් මහාචාර්යවරියන්ට නොතේරුණත් නාලක හිමියන් පොතෙහි සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දැනුම ලබාගන්නා ප්‍රධාන ම ආකාරය ගැන ය. යකුන්ට වැඩ භාරදීම ගැන හා තේනුවර මහත්මියගේ විෂ්ණු පහන ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ ඒ සංස්‌කෘතික දැනුම ඔස්‌සේය.

නාලක හිමියෝ සෙන්පති කොබ්බෑකඩුව මහතා ඉතා කිට්‌ටුවෙන් ඇසුරු කළහ. එතුමාගේ එක්‌ කියමනක්‌ වී ඇත්තේ යුද්ධය දිනුවාට මදි දිනාගන්නා බිම්වල මිනිසුන් පදිංචි කිරීම ඊටත් හොඳින් කළ යුතුය යන්නය. යාපනයේ දෙමළ ජනයා ආණ්‌ඩුව සමග තවමත් එතරම් සුහද නැතිවා විය හැකිය. දෙමළ ජාතිවාදී මතවාද පරාජය කිරීමට හැකිවුවත්, ත්‍රස්‌තවාදය පරාජය කර ඇති නමුත් දෙමළ ජනයාගේ සිත්සතන්වලට දෙමළ ජාතිවාදීන් ඇතුල්කළ හැඟීම් තවමත් පහ වී නැත. එහෙත් ....... කෙසේ වුවත් දෙමළ ජනයා හමුදාවට කැමැති වෙති. ඒ හමුදාවේ ක්‍රියාකාරකම් නිසා බව නාලක හිමියෝ පවසති. ආණ්‌ඩුව අද කළ යුත්තේ දෙමළ ජනයාගේ ඊළඟ පරම්පරාවේ හැඟීම් වෙනස්‌ කිරීම ය. ඒ සඳහා උපදෙස්‌ ගැනීමට නාලක හිමිපාණන් වහන්සේට වඩා සුදුස්‌සකු ඇතැයි නොසිතමි. කොටි පරාජය කිරීමේ දී ජනාධිපතිතුමා දේශපාලන නායකත්වය දුන්නේ ය. රණවිරුවෝ ජීවිත පූජාවෙන් තම යුතුකම වීරත්වයෙන් ඉටුකළහ. එයට ආධ්‍යාත්මික ශක්‌තිය ද එක්‌කළ යුතුව තිබිණි. මාවිල්ආරු මෙහෙයුම ඇරැඹුණේ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ ද, නාලක හිමියන්ගේද ආධ්‍යාත්මික ශක්‌තිය එකතු කරමිනි. ඒ මෙහෙයුම් ඇරැඹි දිනවල බුදුපිළිමවලින් බුදුරැස්‌ විහිදුවීම මගින් දෙවියෝ තමන්ගේ හා මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්‌තිය ද එකතු කළහ. නාලක හිමියන් ද ඒ බව දන්නේ යෑයි සිතමි. පොත කියවීමෙන් නාලක හිමියන්ගේ රණවිරු ඇසුර පිළිබඳ තවත් කරුණු දැනගත හැකි ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.