තමිල්නාඩු දේශපාලනයට ලංකාවෙන් කටගැස්‌මක්‌
ඉන්දීය ධීවර ප්‍රශ්නය ඡන්දයට වෙන්දේසි වේ


හේමන්ත රන්දුණු

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් තමිල්නාඩු දේශපාලනඥයන් සිය ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමේ ප්‍රධානම අවිය ලෙස යොදා ගනිමින් සිටින බව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ධීවරයන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවක්‌ බව පවසන බුද්ධි අංශ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණ උණුසුම මේ දිනවල ඉහළ ගොස්‌ ඇති බැවින් ප්‍රාන්ත ඡන්ද සටනට සහභාගි වී සිටින ප්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් තමන් වෙත ධීවර ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය ප්‍රධානම ප්‍රචාරක කටයුත්ත ලෙස යොදා ගනිමින් සිටින බව ද සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමිල්නාඩු දේශපාලනඥයන්ට වෙනත් කිසිදු මාතෘකාවක්‌ නොමැති අතර මෙම තත්ත්වය ඔවුන් ඉතාම හොඳ අවස්‌ථාවක්‌ කර ගෙන සිටින බව ද ආරක්‍ෂක බුද්ධි අංශ කියා සිටියි.

ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ධීවරයන් නිදහස්‌ කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරයට එක්‌ව සිටි තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි මහතාගේ දියණිය වන එම්. කේ. කණිමෝලි ඇතුළු දෙසීයකට ආසන්න පිරිසක්‌ ඉන්දීය පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

තමිල්නාඩු දේශපාලනඥයන්ට අවශ්‍ය වී ඇත්තේ ධීවර ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවට ඒත්තු ගන්වා තම ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම බව ද බුද්ධි අංශ පවසයි.

මුහුදු සීමාවන් උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් මෙන්ම ශ්‍රී ලාංකික ධීවරයන් ද ඒ ඒ රටවල නාවික හමුදාවන් මගින් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය නීතියට අනුව ක්‍රියාත්මක වන්නකි. ඉන්දීය මුහුදු සීමාවන් උල්ලංඝනය කළ ශ්‍රී ලාංකික ධීවරයන් විශාල පිරිසක්‌ මේ වනතුරු ඉන්දීය පොලිස්‌ අත්අඩංගුවේ පසුවෙති.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 160 දෙනකු පසුගිය දින කීපයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.