කොමසාරිස්‌ සතු බලතල ක්‍රියාවට නංවන්නැයි ජවිපෙ කියයි

අජිත් අලහකෝන්

මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ඇති බලතල ක්‍රියාවට නංවන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමක්‌ කිරීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී්‍ර අනුර කුමාර දිසානායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමසාරිස්‌ සතු බලතල ක්‍රියාවට නංවමින් ඒ අනුව පොලිසියට උපදෙස්‌ ලබා දෙන ලෙසද මෙම 22 වැනිදා මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවේ ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසුවේය. පනවන මතිවරණ නීතීන් කිසිසේත් නොසලකා හැරීමට ආණ්‌ඩුව කටයුතු කරන බවද පොලිසිය යොදවා ගනිමින් එම නීති විපක්‍ෂයට පමණක්‌ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව ක්‍රියාකරමින් සිටින බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය සභා අපේක්‍ෂයකුට සිය නිවසේ මෙන්ම ඉන් පිටත තවත් එක්‌ කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට පමණක්‌ ඉඩදී ඇත. එහෙත් ආණ්‌ඩුවේ අපේක්‍ෂකයන් මැතිවරණ කාර්යාල දෙකකට වඩා පවත්වාගෙන යන බව ද පොලිසිය ඉවත් කරනුයේ විපක්‍ෂය දෙකකට වඩා වැඩියෙන් පවත්වාගෙන යන කාර්යාල පමණක්‌ බවද අනුර කුමාර දිසානායක මහතා කීය.

මේ එක්‌ උදාහරණයක්‌ පමණක්‌ බව කී දිසානායක මහතා මැතිවරණ නීති ක්‍රියාත්මක නොකිරීමෙන් විපක්‍ෂයට අගතියක්‌ සිදුව ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.